ශ්‍රී ලංකාව විසින් නිකුත් කරපු ඩොලර් බිලියන 12.72ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලට ගත්ත අයව හොයාගෙන, ඒ අයව හඳුනාගැනීම සඳහා ගෝලීය විශේෂඥ උපදේශන සමාගමක් (ෆර්ම් එකක්) වන මොරොව් සොඩලි සමාගම පත් කරලා තියෙනවා.
ඒ අය අතර බිලියන ගාණක බැඳුම්කර ගත්ත ලාංකිකයනුත් ඉන්නවා.
මෙම වටිනාකම රුපියල්වලින් ගත්තොත් මිලියනයේ ඒවා 4,663,959ක්. එනම් 4,663,959,720,000ක්.
හැබැයි අපේ රටේ සාමාන්‍ය ජනතාවට ‘කවුද අප්පා මේ තරම් දැවැන්ත විදියට ලංකාවත් ණය කරපු, ලාංකික ණය හිමියෝ?, මෙයාලා බදු එහෙම හරියට ගෙවලාද?‘ කියලා දැනගන්න ඔබට හෝ මට ඉඩ ලැබෙන්නෑ. හෙලි කරගන්නා තොරතුරු එළියට දාන්නෑ. තොරතුරු සැඟවීමට යම්කිසි සාධාරණ පදනමකුත් තියෙන නිසා මේ වෙලාවේ මොනාවත් කියන්න විදියකුත් නෑ.
මෙම පත් කිරීමේදී හඳුනාගන්නා බැඳුම්කර ණය හිමියන්ගේ අනන්‍යතා රටට, ලෝකයට ප්‍රසිද්ධ නොකරන බවත්, තමන්ගේ අනන්‍යතා සමග ආණ්ඩුව වෙත ඉදිරිපත් වෙන ලෙසත් දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකාව ඩොලර් නැතිව ඉතා අසීරු තත්වයක සිටියදි ණය ප්‍රතිව්‍යුහගතකරණයට නොගොස් 2022 ජනවාරි 18 වැනිදා ඩොලර් මිලියන 500ක හෙවත් අද ඩොලරයේ වටිනාකම අනුව රුපියල් 183,331,750,000 ස්වෛරීත්ව බැඳුම්කර වාරික ගෙව්වා. අද රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් පොහොට්ටු ආණ්ඩුව එදා එසේ සිදු කළේ පැය ගණන් විදුලිය කප්පාදු කරමින්, ඉන්ධන පෝළිම් ඇති කරමින් සාමාන්‍ය ජනතාව විශාල පීඩනයකට පත් කරන අතරේයි. ආර්ථිකය පණ අදින මොහොතේ අන්තිම ඩොලර් සංචිත ටික ජනතාවගේ යහපතට සහ නැවත ආර්ථිකය ගොඩගැනීමට යෙදවූවේ නැහැ.
එහි යටි අරමුණ වුණේ බැඳුම්කර මිලට ගත් ලාංකිකයන්ට වාසි සැපයීම බවත්, මෙලෙස බැඳුම්කර මිලට ගත් අය අතර බලවත් පවුල්වල උදවිය සහ පාලකයන්ගේ ගජමිතුරන් සිටින බවත් සැක පළ කෙරුණා. මෙරට ඉහළම ආර්ථික විශේෂඥයන් ණය නොගෙවන ලෙස උපදෙස් දෙන අස්සේ තමයි ගෙව්වේ.
මේ විදියට පත් කරගත්ත නියෝජිතායතනය වෙනුවෙන්, බැඳුම්කර මිලදී ගත්ත අයගෙන් ඉල්ලලා තියෙන්නේ, තමන්ගේ අනන්‍යතා හෙළි කරමින් ඉදිරියට එන ලෙස.
2022 – 2030 අතර කාලයේ ලංකාවේ ආණ්ඩුව විසින් ගෙවන්න ඕනෑ ඩොලර් මිලියන 12,550ක් හෙවත් බිලියන 12.55ක් වටිනා බැඳුම්කර නෝට්ටු 11ක් ලැයිස්තුගත කරලා තියෙනවා. ඊට අමතරව 2024 දී ගෙවන්න ඕනෑ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදාල ඩොලර් මිලියන 175ක බැඳුම්කරයක් තියෙනවා.
සැප්තැම්බර් 23 වන සිකුරාදා ආණ්ඩුව විසින් ආරම්භ කරපු ණය හිමියන් එක්ක සාකච්ඡා ක්‍රියාවලිය සඳහා තමයි, ඒ අයගේ අනන්‍යතා හඳුනාගන්න පියවර ගන්නේ. හෙළිවෙන තොරතුරු ජනරජය සහ එහි උපදේශකයන් තමන්ගේ කටයුතු සඳහා පාවිච්චි කරන නමුත්, ඉන් එහාට තොරතුරු රහසිගතව තියාගන්න බව පොරොන්දුවෙලා තියෙනවා.
ඒ අනුව අපේ රටේ බැඳුම්කර ගත්තේ කවුදැයි දැනගැනීමත්, ඒ මිලදී ගැනීම්වලින් පස්සේ රජය දිගින් දිගටම හිතුවක්කාර විදියට අයිඑස්බී ගෙව්වේ ඒ අයට අර්බුදයක් මැද අයුතු ලාභ අත් කරදීමේ වුවමනාවෙන්දැයි සොයා බැලීමටත් උක්ත තොරතුරු පාවිච්චි කරන්න නොහැකි වේවි. කෙසේවෙතත්, මේක මේ වෙලාවේ ගන්නා පියවරවල ස්වභාවය බව හිතමින්, ණය හිමියන් හඳුනාගැනීම මේ වෙලාවේ වැදගත් නිසා තොරතුරු සැඟවීම සාධාරණීකරණය කරන්නට අසරණ පුරවැසියන් ලෙස අපට සිදු වෙනවා.
උපදේශන සමාගමේ වෙබ් අඩවියෙන් හෝ ඊමේල් ලිපිනයෙන් තොරතුරු ලබාදෙන්න කියා දැනුම් දී තිබෙනවා.