ඔයාලා ප්‍රතිව්‍යුහගතකරණයට කැමති වුණොත්, මාස 3-4කින් අයිඑම්එෆ් සල්ලි ලැබේවි! – ආණ්ඩුව ණය හිමියන්ට කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදල් ඉදිරි මාස 3-4 අතර කාලසීමාවකදී ලැබෙනු ඇති බවත්, එසේ ලැබෙන්නට නම් ණය ප්‍රතිව්‍යුහගතකරණය අනිවාර්ය බවත්, සැප්තැම්බර් 23 වැනි සිකුරාදා ණය හිමියන් වෙත ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ ප්‍රසන්ටේෂන් එකේදී පෙන්වා තිබෙනවා.

එහෙත්, ආණ්ඩුව කියන ලෙස මාස තුන හතරෙන් මේක අනිවාර්යයෙන් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු තබාගන්න බැරි බව කණගාටුවෙන් පෙන්වාදීමට සිදුවෙනවා. එයට හේතුව, මේක කරන්නට නම් ණය හිමියන් විශාල පිරිසක් ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වෙන්න ඕනෑ. ණය හිමියන් ඉතා ලෙහෙසියෙන් එයට කැමති වෙන්නේත් නෑ, ඉතා ඉක්මනින් එය කළ හැකියැයි බලාපොරොත්තු තැබීමත් අසීරුයි.

ශ්‍රී ලංකා රජයේ පාර්ශ්ව ණය හිමියන්ව අන්තර්ජාලය මාර්ගයෙන් හමුවෙලා ණය අර්බුදය පැහැදිලි කරලා තිබුණා. මේ ක්‍රියාවලියේ අරමුණ අපට ණය දුන්න අය එක්ක ණය නැවත ගෙවීමේ කාලසීමාව නැවත සකස් කර ගැනීම, පොළී අඩු කිරීම, ණය කපාහැරීම ආදී සහන ලබාගැනීම. ඒ සඳහා ණය දුන්න අයව එකඟ කරවාගැනීම.

එහිදී රජය පෙන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකාවට එකඟ වී තිබෙන නමුත්, තවම නිදහස් නොකරපු ණය වාරික නිදහස් කරවාගැනීමට නම්, ‘ණය ස්ථිරසාරභාවය‘ (ඩෙඩ්ට් සස්ටේනබිලිටි) ඉතාම තීරණාත්මක කොන්දේසියක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සලකන බව.

රුපියල සීයට 80කින් කඩාවැටීමත්, අතිදැවැන්ත උද්ධමනය සිය වේගය පවා වැඩි කරගනිමින් ඉහළ නැගීමත් නිසා මහජනතාව ඉන්නේ දැඩි බියකින්.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කතා කරපු මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රසන්ටේෂන් එක අතරතුර ජාත්‍යන්තර ණය හිමියන්ගෙන් ඉල්ලා තිබුණේ නොවැම්බර් මාසයේ මැද වනවිටවත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන එකඟතාවකට පැමිණෙන ලෙස. එසේ වුවහොත් දෙසැම්බර් මාසයේ මැදදී අයිඑම්එෆ් අධ්‍යක්ෂ මණ්ඩලය ණය සඳහා එකඟතාව ලබාදෙනු ඇතැයි එහිදී කියා තිබුණා.

මෙය ප්‍රායෝගිකව සිදු කළ හැකිදැයි තවමත් අපැහැදිලියි. මාස එකහමාරක් ඇතුළත එකිනෙකට වෙනස් ණය හිමියන් තොගයක් එක්ක එකඟතාවලට එන එක අසීරු ඉලක්කයක්.

සහනයට කාරණයක් වන්නේ, මාස දෙකක් ඇතුළත එන්න ඕනෑ මූලික එකඟතාවලට විතරක් වීම. දැනට බලාපොරොත්තු වෙන්නේ මූලික එකඟතාවලට ඇවිත්, ණය ස්ථාවරත්වයක් හදාගෙන, අයිඑම්එෆ් සල්ලි අරගෙන, හෙමිහිට ණය හිමියන් එක්ක ප්‍රතිව්‍යුහගතකරණය සඳහා නීතිමය ගිවිසුම්වලට එළඹීම. ඒ අනුව මූලික එකඟතා නොවැම්බර් වෙද්දී හදාගත්තාට, ලබන අවුරුද්දේ දෙවැනි කාර්තුව දක්වා ණය හිමියන් එක්ක සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා.

ශ්‍රී ලංකාව විදේශ මුදල්වලින් ඩොලර් බිලියන 46.6ක් ණයයි. රුපියල්වලින් ඇති ණය ප්‍රමාණය ඩොලර්වලට හැරෙව්වාම ඩොලර් බිලියන 34ක් වටිනා ණය එතැන තිබෙනවා. එකතුව ඩොලර් බිලියන 80ක්. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන ඩොලර් බිලියන 2.9ක් වටිනා මුදල  අපට ණය උගුලෙන් බේරෙන්න සහනයක් නොවන බවත්, ඒක මේ ණය කන්දට එකතුවෙන තව අලුත් ණයක් බවත්, ඉදිරියේදී තව තවත් ණය ගැනීමට සිදුවනු ඇති බවත්. අර්බුදයට විසඳුම ණය නොවන බවත් මතක තබාගන්න. ඒ වගේම ශ්‍රී ලංකාව ප්‍රතිව්‍යුහගතකරණය කියා දැනට අවධානය යොමු කරන්නේ ඩොලර් බිලියන තිස් ගණනක් වටිනා ණය ප්‍රමාණයක් ගැන. ඒ ප්‍රමාණය පමණක් ප්‍රතිව්‍යුහගතකරණය කරගත්තත්, එය ප්‍රමාණවත් නැහැ.

විදේශ රටවලට තියෙන ණය අතරින් ඩොලර් බිලියන 18.8ක් වටිනා ණය ප්‍රමාණයක් ‘ප්‍රයිවට්‘ ණය. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ණය ඩොලර් බිලියන 14.5ක් ඒ අතර තිබෙනවා.

මූලික එකඟතාවලට පැමිණීම හැම ණය හිමියාටම එකම විදියට වෙන්නේ නෑ. ඔෆීෂියල් සහ ප්‍රයිවෙට් කියන ණය හිමියන් ප්‍රවර්ග දෙකෙන් එකඟතාව ඉල්ලලා තියෙන්නේ එකිනෙකට වෙනස් ක්‍රමවේද දෙකක් අනුව.

ඔෆීෂිල් අයගේ මූල්‍ය එකඟතාව කියන්න එක අයිඑම්එෆ් වැඩසටහන එක්ක බද්ධ වෙලා, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික රාමුවට සහ ණය ස්ථාවරත්වයට ගැලපෙන විදියට හදාගන්නා සාමූහික එකඟතාවක්. ඒ වෙනුවෙන් තාවකාලික ණය හිමියන්ගේ සාමූහික ප්ලැට්ෆෝම් එකක් හදනවාලු. ඒ පාර්ශ්ව එකතුවෙලා, සාමූහිකව සාකච්ඡා, වාද විවාද කරලා අයිඑම්එෆ් වෙත සිය එකඟතාව ලබාදිය හැකියි. මේ විදියට ද්විපාර්ශ්වීය ණය දුන්න ඔෆීෂියල් පාර්ශ්ව අතර ‘පැරිස් ක්ලබ්‘ කියන ණය හිමියන්ගේ සාමූහිකයට අයිති රටවල් සහ අයිති නැති රටවල් ඉන්නවා. ඒ අතරින් අපට දුන්න ද්විපාර්ශ්වික ණයවලින් සීයට 52කම අයිතිකාරයා වන චීනයත්, සීයට 12ක අයිතිකාරයා වන ඉන්දියාවත් පැරිස් ක්ලබ් සාමාජිකයන් නෙවෙයි.

මේ ණය හිමියන් පසුපස එක් එක් රටවල දේශපාලනය තිබෙනවා. ඒ ඒ රටවල්වල බල වුවමනාවන් සහ තරගයන් තිබෙනවා. ඒ දේශපාලන වුවමනා නිසා, එකඟතාවලට එද්දී කුමනාකාර කොන්දේසි නිල සහ නොනිල වශයෙන් ඇති කරගනීවිදැයි තවම අපි දන්නේ නෑ. විශේෂයෙන් චීනය තවම කිසිම වචනයක් දී නැහැ. ජාත්‍යන්තර අත්දැකීම් සහ විශේෂඥයන්ගේ අදහස් අනුව පෙනී යන්නේ චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණයට කැමති නැති බව. එයට හේතුව චීනය ණය ලබාදුන් රටවල් ගණනාවක් ඉදිරියේදී ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා උත්සාහ කරන්න ඉඩ තිබෙනවා. ලෝකයේ රටවල් ගණනාවකට චීනය ලබා දී ඇති ණයවල එකතුව ඩොලර් ත්‍රිලියන එකහමාරක් විතර. ඒ නිසා සංකල්පයක් හැටියට ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනය කැමති නෑ. චීනය කැමති කරවාගන්නේ නැතිව, ලංකාවට ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ඉදිරි ගමන ලෙහෙසි වෙන්නේ නැහැ. කෙසේ වෙතත් චීනය දැනට විකල්ප යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා, ඒවා අතරමැද්දේ එකඟතාවකට ආවොත් තමයි.

පෞද්ගලික අංශයේ ණය හෙවත් ප්‍රයිවෙට් අයගේ එකඟතාව කියලා කියන්නේ ‘යහපත් අරමුණ‘ සහිතව ශ්‍රී ලංකාව එක්ක ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් ඇති කරගැනීම සඳහා උනන්දුවක් පෙන්වන එක. ඒ අනුව ශ්‍රී ලංකාව එක්ක ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මූලික සාකච්ඡා පටන්ගැනීත්, අවශ්‍ය තොරතුරු අවශ්‍ය වෙලාවට හුවමාරු කරගැනීමත් සිද්ධ වුණොත් දැනට එය ප්‍රමාණවත්.

අපට ණය ලබාදුන් පෞද්ගලික පාර්ශ්ව එක්ක සාකච්ඡා කරනවා කියන්නේත් අපි හිතන තරම් සරල වැඩක් නෙවෙයි. ණය ලබාදුන් අයගේ අරමුණත් උපරිම ලාභ ලැබීම. ලංකාවේ මිනිස්සු ගැන අනුකම්පාවෙන් කම්පිත, ආදරණීය පිරිසක් නෙවෙයි ඔවුන්. ණය හිමියන් සංවිධානය වෙමින් තමන්ට ලාභයක් ලැබෙන විදියේ එකඟතාවලට එන්න තමයි උත්සාහ කරන්නේ. ඊළඟට ඒ සමාගම් එක්ක සාකච්ඡා කරද්දී, එයාලාත් කඳවුරුවලට ගොනුවෙලා මතයක් ප්‍රකාශ කරනවා.

ඒ අරමුණෙන් මේ වෙද්දී ශ්‍රී ලංකාවේ බැඳුම්කර මිලදී ගත්ත අය ප්‍රධාන කමිටු දෙකකට ගොනුවෙලා ඉන්නවාලු. ඉන් එකක් ජාත්‍යන්තර ආයෝජකයන් 100කින් සමන්විතයි. පළමු එකතුව දේශීය ආයෝජකයන් සතු නොවන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් සීයට 55කට හිමිකම් කියනවා. රොත්චයිල්ඩ් ඇන්ඩ් වයිට් ඇන්ඩ් කේස් කියන උපදේශන සමාගමේ සහයෝගය ඔවුන් ලබා ගන්නවා.

දෙවැනි කමිටුව පෞද්ගලික බැංකු අටකින් සමන්විතයි. ඔවුන්ට උපදේශනය ලබා දෙන්නේ බේකර් ඇන්ඩ් මැකෙන්සි සමාගම.

මේ වෙද්දී ණය ප්‍රතිව්‍යුහගතකරණය හැකි ඉක්මනින් සාර්ථක කරගැනීම ආණ්ඩුවේ පාලකයන් සුළු පිරිසකගේ වුවමනාවක් විතරක් නෙවෙයි. ඒ නිසා දන්න දෙයියෙක් වැඳගෙන මේ ටික ඉක්මනින් කෙරෙත්වා කියල ප්‍රාර්ථනා කරන්න තමයි අපට සිද්ධ වෙන්නේ.

මේ වෙද්දී ණය පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට අදාලව බැසිල් රාජපක්ෂ- අජිත් නිවාඩ් කබ්රාල් යුගය එක්ක සාපේක්ෂව ගත්තොත්, ඊට වඩා යමක් සිදුවෙන බව නම් පැහැදිලියි. කෙසේ වෙතත් සියලු ප්‍රශ්න එයින් විසඳෙන්නේ නැහැ. මහබැංකුවේ හිටපු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පෙන්වා දී ඇති පරිදි, ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුමේත් ගැටලු තිබෙනවා.

ඒවා විසඳාගත්තත්, ප්‍රශ්නය තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ පමණක් නෙවෙයි. ප්‍රශ්නය තියෙන්නේ වෙන තැනක.

අපි තව තවත් ණය ගත්තත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය කළත් ඩොලර් බිලියන 80ක් වටිනා ණය ගෙවන්න සහ ලංකාවේ මිනිස්සුන්ගෙ අත්‍යවශ්‍ය වැඩවලට සල්ලි හොයාගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා ආදායම් මාර්ග අවශ්‍යයි. ඒ ආදායම් හොරාකන්නේ නැතිව කාර්යක්ෂම වෙන්න සිද්ධ වෙනවා. ලංකාව දුර්වල නිසා විවිධාකාර අයගේ බාහිර කොන්දේසිවලට හසු නොවී ජනතාවාදීව වැඩ කරන්න සිද්ධවෙනවා. හැම ඇමති කෙනෙක්ටම, ආයතන ප්‍රධානියෙක්ටම, උපදේශකයෙක්ටම තම තමන්ගේ ක්ෂේත්‍රවල ඉතා කාර්යක්ෂමව, බුද්ධිමත්ව, නිර්මාණශීලීව වැඩ කරන්න සිද්ධවෙනවා. ජනතාවට වගකියන්න සිද්ධවෙනවා.

ජනතාවටත් ලෙහෙසි පහසු කාලයක් උදා වෙන්නේ නැහැ. පටි තද වෙද්දී, ජනතාවට එය ඉවසා දරාගන්න සිද්ධවෙනවා. තමන්ගේ පීඩාව රටේ පොදු යහපත වෙනුවෙන් කියා සාමාන්‍ය මනුස්සයා තුළ විශ්වාසයක් ඇති වෙන්න ඕනෑ.

ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ බොක්කටම අලුත් ආරම්භයක් දැනෙන්න ඕනෑ. සැබෑ දියුණුවක් පිළිබඳ වැටහෙන්න ඕනෑ.

ඒ අනුව ප්‍රශ්නය තියෙන්නේ අයිඑම්එෆ් හෝ ණය හිමියන් එක්ක සාකච්ඡා සාර්ථක වේවිද, නැද්ද කියන එක මත විතරක් නෙවෙයි. ඒවා සාර්ථක වුණත් තවත් එක ණයක් සහ පරණ ණය ගෙවන කාලසීමාව පස්සට දමාගැනීමක් පමණයි සිද්ධ වෙන්නේ.

රටේ සැබෑ අර්බුදය විසඳන්නට නම් අලුත් ඇරඹුමක් ඕනෑ. මහජනතාවගේ අයිතීන් රැකෙන්නත් ඕනෑ. ඒක හුදෙක් ආර්ථික විසඳුමක් නෙවෙයි. රට හැදෙන්න නම් ආර්ථික, දේශපාලන, සමාජයීය, සංස්කෘතික වෙනසක් ඕනෑ.

රනිල් වික්‍රමසිංහ- රාජපක්ෂ නායකත්වයෙන් යුත් පොහොට්ටු ආණ්ඩුවකට බැරි ඒ සැබෑ වෙනස කරන්නයි.

(මෙහි ඇති කරුණු උපුටාගැනීම ඩේලි මිරර් පුවත්පතෙනි)