24 උද්ඝෝෂණයට ගැහුවාට පළමු නඩුව අද! අසූ ගාණක් දාන්න ලෑස්තියි!

thilina kaluthotage

ඡායාරූප – තිලිණ කළුතොටගේ

සැප්තැම්බර් 24 වැනිදා කොළඹදී පැවති සමාජවාදී තරුණ සංගමයේ උද්ඝෝෂණයට පොලීසිය පදනම් විරහිතව පහරදීම සහ අත්අඩංගුවට ගැනීම්වලට එරෙහි පළමු මූලික අයිතිවාසිකම් නඩුව සැප්තැම්බර් 26 සඳුදා දවල් 2ට ගොනු කිරීමට නියමිතය.

මේ පිළිබඳ අදහස් දක්වමින් නීතිඥ සුනිල් වටගල කියා තිබුණේ අත්අඩංගුවට පත් වූ එක් පුද්ගලයාට එක බැගින් මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීමට සූදානම් වන බවය.

උද්ඝෝෂණයට පහරදීම සහ අත්අඩංගුවට ගැනීම සඳහා කිසිදු නීතිමය පදනමක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත් වූ අතර, පොලීසිය මුව අයාගෙන බලා සිටියදී නීතිඥවරුන් මේ උද්ඝෝෂණයට පහරදීම සම්පූර්ණ අනීතික ක්‍රියාවක් බවත්, විත්ති කූඩුවේ සිටිය යුත්තේ පොලීසිය බවත් පෙන්වාදෙන ලදී.

පුද්ගලයන් 84 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර පහරදීමෙන් හත්දෙනෙකු රෝහල්ගත කරනු ලැබීය. එක් අයෙකුට දිනකට ආසන්න කාලයක් සිහිය නොතිබුණි. අත්අඩංගුවට ගත් අය අතර අවුරුදු 14ක දරුවෙක්ද සිටි අතර, එම දරුවාව නීතිඥවරු මැදිහත් වී පසුව නිදහස් කරනු ලැබීය.

සැප්තැම්බර් 25 වැනිදා මෙම අත්අඩංගුවට ගත් සියලුදෙනාම මහේස්ත්‍රාත් අධිකරණයකටවත් ඉදිරිපත් කරන්නට තරම් පොලීසියට ශක්තියක් නොතිබුණු අතර, නීතිඥවරුන්ට බියෙන් 81 දෙනෙකුට පොලීස් ඇප ලබාදෙන්නට කටයුතු කර තිබුණි. අධිකරණයට ඉදිරිපත් කළ එරංග ගුණසේකර, කොස්වත්තේ මහානාම හිමි සහ සමාලි මන්දිරාට ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළාය.

සැප්තැම්බර් 24 පාගමන විසුරුවාහැරීමේ වුවමනාවෙන් කිහිපවතාවක් එයට පහර දුන්නද, සැලසුම් කළ ආකාරයටම රැළියක් පවත්වා එම පාගමන අවසන් කරන්නටත් පියවර ගෙන තිබුණි.