ඉරානයේ ගැහැණුන් මුල් වී, හිස් ආවරණ ගිනි තබාගනිමින් පස්වැනි දිනටත් ඉරානයේ මහානගර 15ක පමණ ක්‍රියාත්මක වූ දීපව්‍යාප්ත විරෝධයට එරට ආණ්ඩුව දිගින් දිගටම පහර දෙමින් හත්දෙනෙකු පමණ මරණයටත්, 400කට වැඩි පිරිසක් තුවාලවලටත්, පන්සීයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමටත් ලක් කර තිබෙනවා.
එහෙත් මර්දනය හමුවේ ඉරාන ජනතාවගේ ශක්තිය දුර්වල වී නැහැ. දිගින් දිගටම පිරිස් පාරට බහිනවා.
‘බලන්න, අපේ අතේ මොනවත් නෑ. ඒත් අපි උංව එළෙව්වා.‘ කාන්තාවක් කියන හඬ ඇහුණේ ඉරානයේ එවැනි විරෝධතාවකදී. කිසිම ආයුධයක් නැතිව විරෝධතාකරුවන් පාරට එක්රැස් වී ජල ප්‍රහාරක රථවල වතුර හිස්වනතුරු නොබියව ඒවාට මුහුණදී තිබුණා. සමහර තැන්වල පොලීසිය පසුබසිනතුරුම. එවැනි මොහොතක තමයි උක්ත සටන්පාඨය කියැවුණේ.
කෙර්මාන්වල වීදි සටනකදී කාන්තාවක් තමන්ගේ කොණ්ඩයේ පෝනිටේල් එක කපා වනන අන්දම විශාල පිරිසක් ඔල්වරසන්දෙමින් බලා සිටියා.
ලංකාවේ වගේම ඉරානයේත් විරෝධතා ආරම්භ වී තිබුණා. ඒ, කාන්තාවන්ට හිස් ආවරණ පළඳින්නැයි බල කරන සාම්ප්‍රදායික නීතියට එරෙහිවත්, ඒ නීතිය මත පොලිස් අත්අඩංගුවේදී මාෂා අමිනි මරණයට පත්වීමට එරෙහිවත්.
එහෙත් ඉන් එහාට ගිය ගැඹුරු පීඩනයකට ඉරාන ජනතාව මුහුණදෙනවා. හිස්වැසුමකින් එහා ගිය කතාවක් එතැන තිබෙනවා. එය කතා කිරීම පසුවට තබමු.
මේ විරෝධතා අවුළුවන්නට හේතු වූ මාෂා අමිනි අවුරුදු 22ක කුර්දිෂ් තරුණියක්. ඇයව ඉරානයේ ‘සදාචාර පොලීසිය‘ අත්අඩංගුවට ගෙන තිබුණා. ඔව්, සදාචාර පොලීසිය කියා එකක් ඉරානයේ තිබෙනවා. ඔවුන්ගේ රාජකාරිය තමයි කාන්තාවන්ගේ ඩ්‍රෙස් කෝඩ් එක පිළිබඳ නීති ක්‍රියාත්මක කිරීම. ඒ අනුව නීතියෙන් අනිවාර්ය වූ හිස් ආවරණ කාන්තාවන් පළඳිනවාද කියලා බැලීමත් ඔවුන්ගේ රාජකාරියක් ලෙස පවරා තිබෙනවා.
විරෝධතාකරුවන් මේ ‘සදාචාර පොලීසිය‘ අහෝසි කරන ලෙස ඉල්ලමිනුයි විරෝධතා කරන්නේ.
ඇය සිහිනැතිව රෝහල්ගත කළා. පසුගිය සිකුරාදා ඇය මරණයට පත් වූ පසු ඇරඹුණු විරෝධතාවලට දැන් සතියක් පමණ වෙනවා. රටපුරා විරෝධතා ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ ටෙහෙරාන් වැනි නගරවල සිට සාම්ප්‍රදායික අදහස් ශක්තිමත්ව පැවති මාෂාඩ් වැනි ප්‍රදේශවලත් විරෝධතා ක්‍රියාත්මක වුණා.
‘කාන්තාව, ජීවිතය, නිදහස‘ යන තේමාවන් විරෝධතාවල හඬවල් ලෙස මතු වුණා. බොහෝ විරෝධතාවලදී ගිනිතැබීම් පවා සිදුව තිබුණා.
ඒවා මර්දනයට පොලීසිය යොදවද්දී, පොලීසිය සහ විරෝධතාකරුවන් අතරත් ගැටුම් ඇති වුණා.
ඇයව අත්අඩංගුවට ගැනීමට හේතුව හිස් ආවරණය ‘හරිහැටි පැළඳුවේ නැහැ.‘ කියන චෝදනාව. මෙලෙස අත්අඩංගුවේ පසුවෙද්දී ඇය ඇදවැටී මරණයට පත්ව තිබුණා. ඇය ස්වාභාවික හේතු මත මරණයට පත්වුණායැයි පොලීසිය කීවත්, සැබෑ තත්වය ඊට වෙනස් බවත්, ඇයට පහරදුන් බවත් ඇසින් දුටු අය කියා තිබුණා. ඉරාන පොලීසියේ ප්‍රධානියෙක් වන හොසේන් රහිමි කියා තිබුණේ ඇයට පහරදුන්නායැයි චෝදනා බොරු බවත්, ඇයව ජීවත් කරවන්නට තමන් හැකි හැමදේම කළ බවත්.
මෙම විරෝධතා ඉතා දුලබ, ස්ත්‍රීවාදී ප්‍රවණතාවකින් මතු වීම විශේෂයි. ඉරාන රාජ්‍යය තුළ කාන්තාවන් විඳින පීඩනය වැඩි වීම නිසා ඔවුන්ගේ විරෝධයේ ප්‍රබලතාවත් වැඩියි. එහෙත්, එරට මෙවැනිම දැවැන්ත විරෝතා රැල්ලක් 2019 දී සිද්ධවුණා. එයට මුල වුණේ ගෑස් මිල වැඩි වීම. කොටින්ම කීවොත් ආර්ථික පීඩනය.
ඉරානය මේ වෙද්දී සම්බාධක රැසකට මුහුණදෙමින් සිටිනවා. ඒ සම්බාධක පසුපස බටහිර දේශපාලන න්‍යායපත්‍ර තිබෙන බව සැබෑවක්. එහෙත්, ඊටත් වඩා සම්බාධකවලට මුල ඉරාන ආණ්ඩුවල පසුගාමී, ප්‍රජාතන්ත්‍රවිරෝධී සහ මර්දනීය ස්වභාවය.
ඉරානයේ සුප්‍රිම් නායකයා වන්නේ වයස අවුරුදු 83ක මහල්ලෙක් වන අයතුල්ලා අලි කුමේනි. ඔහු පසුගියදා අසූ ගණන්වල තිබුණු ඉරාන- ඉරාක යුද්ධයේ ‘රණවිරු සැමරුමකට‘ සහභාගී වී සිටියා. එහෙත් මේ ඝාතනය ගැන වචනයක්වත් කියා තිබුණේ නැහැ. ඒ වෙනුවට ඉරානයේ තරුණයන් ‘බටහිර බලවතුන්ගේ රැවටිලිවලට රැවටෙන්න හොඳ නැති‘ බව ප්‍රකාශ කර තිබුණා.
මේ වෙද්දී ‘ඒකාධිපතියාට මරණය‘ යනුවෙන් කෑගසමින් විරෝධතාකරුන් කුමේනිගේ පෝස්ටර් ගිනිතබමින් සිටිනවා.
ඉරාන ජනාධිපති ඒබ්‍රහිම් රඉසි නිව්යෝර්ක් නගරයේ පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය ආමන්ත්‍රණය කරද්දී සිදුවීම් මාලාව ඍජුව සඳහන් නොකළත් ‘ඉරානයේ සිදු වූ තවම විමර්ශන මට්ටමේ ඇති සිදුවීමක්‘ ගැන බටහිර රටවල්වල ප්‍රතිචාරය ගැන විවේචනය කර තිබුණා.
ඉරාන ජනාධිපතිවරයාගේ නිව්යෝර්ක් සංචාරයේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමඟ සාකච්ඡාවක් නොපැවතීමත් විශේෂත්වයක්. ඉරාන ජනපතිවරයා ප්‍රංශ ජනපති එම්මෑනුවල් මැක්‍රෝන් සමග සාකච්ඡාවක් පවත්වා තිබුණා.
මේ වෙද්දී ඉරානයට සම්බාධක පනවා තිබෙන්නේ එරට න්‍යෂ්ඨික වැඩසටහන පිළිබඳ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමඟ එකඟතාවකට නොපැමිණීම නිසායි. යුධමය මට්ටමේ න්‍යෂ්ඨික අවි ව්‍යාපෘති සිදු නොකිරීම සඳහා ඉරානය එකඟ කරවාගැනීමටයි බටහිර රටවල් උත්සාහ කරන්නේ.
එහෙත්, ඉරානය ජනාධිපතිවරයා කියා තිබුණේ තමන්ගේ පැත්තෙන් පියවරක් ගැනීමට නම්, ඉදිරියේදී නැවත සම්බාධක නොපැනවීම සඳහා ඇමෙරිකාව එකඟතාවකට පැමිණිය යුතු බව. ඒ වගේම මීට කලින් ඉරාන නායකයන් ෂරියා නීතිය මත පදනම් වූ ෆත්වා එකක් ලබාදෙමින් එරට න්‍යෂ්ඨික ව්‍යාපෘති සිවිල්, සාමකාමී සහ විද්‍යාත්මක වුවමනා වෙනුවෙන් පවතින බවත් න්‍යෂ්ඨික අවි අත්හදා නොබලන බවත් පොරොන්දු වූවායැයි ඉරාන ජනපති පෙන්වා දී තිබුණා.
ඔහුගේ කතාව තුළ ඊශ්‍රායල් විරෝධයත් තිබුණා. එහි දිගුවක් ලෙස යුදෙව් සංහාරය ඇත්තටම සිදුවුණාදැයි තවදුරටත් විමර්ශන කරන්න ඕනෑ බවත් ඔහු කියා තිබුණා. ගාසා තීරයේ ලොව ලොකුම සිර කඳවුර නිර්මාණය කර ඇති බව කියමින්, පලස්තීනුවන් පීඩාවට පත් කිරීම ගැනත් ඔහු සඳහන් කර තිබුණා.
පසුගිය වසරේදී පත් වූ ඉරාන ජනාධිති ඊබ්‍රාහිම් රඉසි දැඩි මතධාරී පූජකයෙක්. අගෝස්තු 15 වැනිදා ඔහු නව සීමා ගණනාවක් කාන්තාවන්ට යොදා තිබුණා. ඒ අනුව කැමරා යොදාගනිමින් ‘වැරදියට අඳින‘ කාන්තාවන් සෙවීමත්, ඒ අයට අත්‍යවශ්‍ය සිර දඬුවම් ලබාදීමත්, ඔවුන් උපදේශන සේවා සඳහා යොමු කිරීමත්, හිජාබය එරෙහි අදහස් ඉදිරිපත් කරන කාන්තාවන් සිරගත කිරීමත් එම නීතිවල තිබුණා.
මෙම නීති නිසා අත්අඩංගුවට ගැනීම් වැඩි වුණත්, එයට එරෙහිව ශක්තිමත්ව කාන්තාවන් නැගී සිටීමත් සිද්ධ වුණා. මේ වෙද්දී ඉරානයේ දැවැන්ත විරෝධතා උපක්‍රමයක් වන්නේ සමාජ මාධ්‍ය හරහා හිස් ආවරණ නැති ඡායාරූප කාන්තාවන් ප්‍රසිද්ධ කිරීම.
මේ වෙද්දී මර්දනය නිසා විරෝධතාකරුවන් වැඩිපුර පාවිච්චි කරමින් ඉන්නේ ක්ෂණික විරෝධතා උපක්‍රම (ෆ්ලෑෂ් ප්‍රොටෙස්ට්ස්). පිරිස් එකතු වී, විරෝධයේ යෙදී ක්ෂණිකව විසිර යනවා.
මෙවැනි ක්ෂණික විරෝධතා සංවිධානය කරනු ලබන්නේ අන්තර්ජාලය හරහායි. විරෝධතා දුර්වල කිරීම සඳහා ඉරාන රජය සමහර ප්‍රදේශවල අන්තර්ජාලය සීමා කර ඇති බව පෙන්වා තිබෙනවා. ඊට අමතරව ඉරාන අයිපී ලිපින හරහා ලියාපදිංචි වූ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම්ද බ්ලොක් කර තිබෙනවා. ‘ඇතැම් පැයවලදී සහ ඇතැම් ස්ථානවලදී තාවකාලික සීමා දමා ඇතැයි‘ කියමින් අන්තර්ජාල සීමා පිළිබඳ ඉරාන ටෙලිකොමියුනිකේෂන් ඇමති ඉසා සාරෙපොර් කළ ප්‍රකාශයක්ද ඉරාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ වෙද්දී ඇතැම් මානව හිමිකම් සංවිධාන කියන විදියට හත්දෙනෙකු පමණ විරෝධතාවලදී මරා දමා තිබෙනවා. එහෙත් එම මරණ සංඛ්‍යාව තහවුරු නොකරන ඉරාන රජය, තුන්දෙනෙකුගේ මරණ පමණක් තහවුරු කර තිබෙනවා.