රටේ මිනිස්සුන්ගෙන් හංගන IMF සැලසුම්, ණය දුන්න පාර්ශ්වවලට හොරෙන්ම කියයි!

සැප්තැම්බර් 23 සිකුරාදා ශ්‍රී ලංකාවට ණය ලබාදුන් පාර්ශ්ව වෙත පොදු ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරමින් ලංකාවේ ආර්ථිකය ගොඩනංවන වැඩපිළිවෙල අපට ණය දුන්න පාර්ශ්වයන් වෙත ඉදිරිපත් කරන්නට ආණ්ඩුව සූදානම් වෙද්දී, ඒ වැඩපිළිවෙල ලංකාව ඇතුළේ අදාල පාර්ශ්වවලින් හැංගීම ගැන මේ වෙද්දී සංවාද මතුවෙලා.

අප මේ සටහනෙන් ඒ පිළිබඳ කතා කරනවා.

නන්දලාල්ගේ කතාව

සැප්තැම්බර්  21 වැනි බදාදා තිබුණු ප්‍රසිද්ධ දේශනයකදී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ තහවුරු කර තිබුණා ශ්‍රී ලංකාව 23 සිකුරාදා නිල වශයෙන් ණය දුන්න පාර්ශ්ව එක්ක සාකච්ඡා පටන් ගන්න බව.

ඔහු කියා තිබුණු ආකාරයට ශ්‍රී ලංකාව මේ වෙද්දී පත් කරගෙන සිටින ණය ප්‍රතිව්‍යුහගතකරණ උපදේශක සමාගම වන ලසාර්ඩ් ඇන්ඩ් ක්ලිෆර්ඩ් චාන්ස් සමග පසුබිම් වැඩකටයුතු කරලා තියෙනවා.

ශ්‍රී ලංකාව සහ අයිඑම්එෆ් අතර කාර්ය මණ්ඩල එකඟතාවට අයිඑම්එෆ් අධ්‍යක්ෂ මණ්ඩල එකඟතාව ලැබුණාට පස්සේ තමයි මුදල් ලැබෙන්න පටන් ගන්නේ. හැබැයි අධ්‍යක්ෂ මණ්ඩල එකඟතාව ලැබෙන්නේ අපට ණය ලබාදුන් ණය හිමියන් බහුතරයක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟ වුණාට පස්සේ.

මතක තබාගන්න, අයිඑම්එෆ් එකෙන් දෙන්නේත් ණයක්. ඒ ණය ඩොලර්වලින් ගණනය කළොත් බිලියන 2.9ක්. අපේ අර්බුදයේ තරමට ඒකෙන්ම ගොඩ යන්න බැහැ.

සරලව කීවොත් අයිඑම්එෆ් අපව ගොඩ දමන්නේ නැහැ. අපේ ආර්ථිකය ගොඩගත යුත්තේ අපමයි. ඒක කරන්නට පුළුවන් තනි මැජික්කාරයෙක් සහ පුංචි මැජික්කාරයන් සුළුතරයක් නැහැ. ඒ වගේම මහබැංකුවේ සිටින විශේෂඥයන් පවා මේ අර්බුදය මෙතැනට පැමිණීම ගැන වගකිවයුතුයි. ඔවුන් පවා මේ අර්බුදය නිසිපරිදි හඳුනාගෙන තිබුණේ නැහැ.

කථානායකට ජනපතිගේ ඇමතුම

මේ ගැන ඇහුවාම කථානායකවරයා පාර්ලිමේන්තුවේදී කීවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ට කතා කළ බව. ඒ අනුව දැනට මූලික එකඟතාවලට පැමිණි නමුත් අයිඑම්එෆ් එකඟතා සම්පූර්ණයෙන් අවසන් වූ පසු කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා කීවායැයි කථානායක කීවා.

ඒ අනුව ලංකාවේ ණය අර්බුදය පිළිබඳ සාකච්ඡා කරන්න ජාත්‍යන්තර පාර්ශ්ව ඉස්සරහට යන ආණ්ඩුව, අයිඑම්එෆ් එක්ක දැනට තියෙන එකඟතා සහ ඉදිරි වැඩපිළිවෙල ගැන ඒ ණය දුන්න පාර්ශ්වවලට කියන්න ලෑස්තියි. ඒත්, ලංකාවේ කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඒ තොරතුරු කියලා නැහැ. රටේ මිනිස්සුන්ට කියලා නැහැ.

ගිවිසුමක් තියෙනවද? නැද්ද?

දැන් හැමෝම ලොකු අපභ්‍රංශ ලෙවල් එකකට යනවා. ‘හරියට කියපල්ලකෝ! ගිවිසුමක් තියෙනවාද? නැද්ද?‘ කියා කෙනෙකුට හිතේවි.

දැනට අයිඑම්එෆ් සහ ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් තියෙනවා. සැප්තැම්බර් 01 වැනිදා පැමිණි කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව අනුව තමයි ඇමෙරිකන් ඩොලර් බිලියන 2.9ක ආධාරයක් ලබාදෙන්නට අයිඑම්එෆ් එක එකඟ වුණේ. හැබැයි ඒ මුදල් ලබාගනිමින් අයිඑම්එෆ් වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන්නට නම්, ලංකාවට ණය දුන්න අයගෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන සහතික ලබාගන්නට සිද්ධ වෙනවා.

ගිවිසුම දෙපාර්ශ්වයේ නිලධාරීන් වගේම ආණ්ඩුවේ පාර්ශ්ව එකඟතාවක් ඇතිව හදාගත්ත එකඟතාවක්. ඒක තමයි ඉස්සරහට ක්‍රියාත්මක කරන්නේ.

ක්‍රියාත්මක කරනවා කීවාම අයිඑම්එෆ් පැත්තෙන් මුදල් දීම, උපදේශනය සහ නිරීක්ෂණය වගේ වැඩකටයුතු ටිකක් කරනවා. අපේ ආණ්ඩුව පොරොන්දු වෙච්ච නීති ප්‍රතිසංස්කරණ, බදු ප්‍රතිසංස්කරණ, ආදායම් වැඩි කරගැනීම සහ අනෙකුත් දේවල් කරනවා. ඇත්තටම ආණ්ඩුවට තමයි මේ ගිවිසුමේ වැඩි වැඩ කොටසක් තියෙන්නේ.

ඉතින් ඒ වැඩකොටස ගැන ආණ්ඩුව ලෝකෙට ගිහින් ඉදිරි සැලසුම් කියන්න ලෑස්තිවෙද්දී, පාර්ලිමේන්තුව ඒ ගැන දන්නෙ නෑ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ වගේම මහබැංකුවේ කෝට්කාරයන් මේ ගහන්නේ අන්තිම තක්කඩි ගේමක්. මිනිසුන්ගෙන් වගේම මෙරට ඉන්න ස්වාධීන විශේෂඥයන්ගෙන් ඇත්ත තත්වය හැංගීම අතිශය භයානකයි.

ඇත්තම කතාව මොකක්ද? අපි කලින් කීවා වගේ අයිඑම්එෆ් එක ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ ණය හිමියන් ණය ටික පස්සට දාන්න කැමති වුණාම. ඒත්, ණය හිමියන් ඒකට කැමති වෙන්නේ අයිඑම්එෆ් එක්ක අපි ඇති කරගත්ත කාර්ය මණ්ඩල ගිවිසුම ගැන බලලයි.

ශ්‍රී ලංකාව මේ වන විට අප්‍රේල් 12 වැනිදායින් පස්සේ මේ දක්වා ණය ගෙවීම පැහැරහැරලා තියෙනවා. එවැනි පසුබිමක තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලෑස්ති වෙන්නේ. මේක ශ්‍රී ලංකාවට ලෙහෙසි පහසු සෙල්ලමක් නෙවෙයි. එය නිවැරදිව සහ සාර්ථකව කළ යුතුමයි.

මිනිසුන්ගෙන් හංගලා කොරන්න පුළුවන්ද?

භයානකම දේ මේකයි. අයිඑම්එෆ් එකත් එක්ක ඇති කරගත්ත එකඟතා මත මේ රට ඇතුළේ ආර්ථිකය, සමාජය, නීතිය සහ අනෙකුත් ක්ෂේත්‍ර ගොඩක කරන්න යන මහා පරිමාණ වෙනස්කම් මේ රටේ මිනිස්සුන්ගෙන් හංගලා, වෙන වෙන පාර්ශ්වවලට කියලා හරියනවාද? ඒ යෝජනා ප්‍රායෝගිකද? මේ රට ඇතුළේ ආණ්ඩුව හිතූ පළියට ඒ දේවල් කරන්න පුළුවන්ද? ඊට වඩා හොඳ යෝජනා තියෙනවාද? විකල්ප අදහස් ගැන සාකච්ඡා නැතිද?

ඒවා සලකලා තමයි විනිවිදභාවයෙන් යුතුව මේවා කරන්න කියලා කියන්නේ. ඒත් කිසිම විනිවිදභාවයක් නැතිව තමයි ලංකාවේ ණය අර්බුදය කළමණාකරණය කරන්න ලෑස්ති වෙන්නේ. අහසින් පාත් වෙනවා වගේ එකපාරම ‘ප්‍රතිසංස්කරණ‘ කරගෙන කරගෙන යන්නයි ආණ්ඩුව ට්‍රයි කරන්නේ.

හර්ෂගේ විරෝධය

පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වාට පාර්ලිමේන්තුවේදී ඒ ගැන දැඩි කතාවක් කරන්න සිද්ධ වුණා.

‘ජුලි 08 වැනිදා ගැසට් එකක් ගහලා කිව්වා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය දුන්නා කියලා ලංකාවේ පුද්ගලයන්ට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ද්විතීයික වෙළඳපොලෙන් ලබාගන්න පුළුවන් කියලා. ඒ ලබාගන්න නම් පිටරටවලින් ඩොලර් ණයට අරගෙන, ඒ ඩොලර්වලින් සීයට 50ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලත්, ඉතිරි සීයට 50 සංවර්ධන බැඳුම්කරවලත් ආයෝජනය කරන්න පුළුවන් කියලා.

ඒ කියන්නේ මේ රටේ ණය හිමියන් ඉන්නවා. සමහර පවුල්වල කට්ටිය වෙන්න පුළුවන්. සමහර බැංකුවල කට්ටිය වෙන්න පුළුවන්.

මේ ආණ්ඩුව කීවා ඩොලර්වලින් ණය ගන්න පිටරට ගිහිල්ලා. ඒවායින් ද්විතීයික වෙළඳපොළෙන් ස්වෛරීත්ව බැඳුම්කර ගන්න කියලා. දැන් පාර්ලිමේන්තුව දන්නෑ මොකක්ද සැලසුම කියලා. ඒත්, ණය හිමියන්ට හෙට කියනවා. ඒ ණය හිමියන් අතරේ ජාත්‍යන්තර ණය හිමියන් ඉන්නවා. දේශීය ණය හිමියන් ඉන්නවා. පවුල්වල කට්ටිය ඉන්නවා.

ඒ නිසයි අපි ඇහුවේ කාටද ණය ගෙවන්න තියෙන්නේ. ඒ ගැන කිසිදෙයක් අපි දන්නෑ. හෙට ශ්‍රී ලාංකිකයන් සමහර දෙනෙක්ට සියලු වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා. ඒත් අපි දන්නෑ. ඔබතුමා දන්නෑ. අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය දන්නෑ.

මේකේ සංවේදී කාරණා ඉදිරිපත් කරන්න කියන්නේ නැහැ. අපි පුළුවන් තරම් සහයෝගය දෙනවා. අපේ සහයෝගය නැතිව මේක කරන්න බැහැ. අපේ සහයෝගය ලබාගන්න නම් යම්කිසි මාර්ගෝපදේශයක්, වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් කතා කරමු හෙටට කලින්.‘

කියා මන්ත්‍රීවරයා කීවා. ඔහු වැඩිදුරටත් කියා තිබුණේ මෙහෙම.

‘ලංකාවට දෙවැනි චාන්ස් එකක් නැහැ. මේ පාර හරියටම කළේ නැත්නම් ඉවරටම ඉවරයි කියලයි මහබැංකු අධිපතිවරයා කියන්නේ.‘