දමිතා ශිරන්ති වගේ රඟපාන වේදිකා නාට්‍යය! ‘අයියා මළෝ‘! පොලීසිය දමිතව ගත්තේ නාට්‍යය නිසාද?

පසුගිය මාසයේදී අරගලයේ සිටි කලාකරුවන් රැසක් එකතු වී නාට්‍යවේදී අසංක සායක්කාරගේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒ ‘අයියා මළෝ‘ කියන වේදිකා නාට්‍යය. මේ නාට්‍යය පටන් ගනිද්දීම සායක්කාර වේදිකාවට ඇවිත් කියනවා ‘මෙහි නම් ගම් මනස්කල්පිත නැත.‘ කියලා. ඒ කියන්නෙ කෙළින්ම මේ නාට්‍යයේ ඉලක්ක කරන දේශපාලනයක් තියෙනවා.

පාලක දේශපාලන පවුලත්, පවුල ඇතුළට රිංගගත්ත රනිල් රාජපක්ෂත් දේශපාලනිකව, සමාජයීයව සහ ලිංගික වශයෙන් උපහාසයට ලක් කරන දේශපාලන ප්‍රහසනයක් මේක. හැබැයි නැවුම් සහ වෙනස්ම විදියකට අරගලකරුවන් ගැනත් මේ නාට්‍යයේ කතා කරනවා. ඒ ගැන කතා කරන්නට, වෙනස් නාට්‍ය ආකෘතියකුත් පාවිච්චි කරමින්, වේදිකාවේ හතරවැනි මානය බිඳිමින්, එකම නාට්‍යය මැද්දේ නාට්‍ය දෙකක් පාවිච්චි කරනවා.

මේ වෙද්දී රට වටේ යන්න නාට්‍යය ලෑස්තියි. ඇත්තටම ඔබ හැමෝම බලන්න ඕනෑ නාට්‍යයක් ඒක. පහුගිය අරගලය, අරගලකරුවන් සහ පාලක පවුලේ වැඩ මේ වේදිකා නාට්‍යයෙන් නිරූපණය කරනවා.

මේ නාට්‍යයේ ශිරන්ති රාජපක්ෂට සමාන විදියට හැදූ චරිතය තමයි දමිතා අබේරත්න රඟපාන්නේ. හැබැයි ඊට අමතරව දමිතා අබේරත්නගේ චරිතයත් ඇය කරනවා.

ඇය ඉතාම නිර්භය රංගනයක් කරනවා. උදේට පන්සල් ගිහින්, හවසට ක්ලබ් ගිහින් බීලා ගෙදර එන කාන්තාවක් ඇය. පුතා වෙනුවෙන් ඕනෑ දෙයක් කරන ඇයට, පිරිමියෙක් එක්ක යහන්ගත වෙන්න පවා සිද්ධ වෙනවා.

හැබැයි, අනෙක් පැත්තෙන් දමිතා අබේරත්න රඟපාන දමිතා අබේරත්ගේ චරිතයත් මරු. ඔව්, ඇය තමන්ගේම චරිතයත් මේකේ රඟපානවා. කොල්ලො ටිකක් එක්ක නාට්‍යයක් රඟපාන්න ට්‍රයි කරන, වැඩිමල් සහෝදරියක්. හැබැයි ඉතින්, දමිතා අක්කා ප්‍රසිද්ධ නිසා නාට්‍යයේ ඉන්න අනෙක් අය ‘දමිතා අක්කාව බදාගන්න සීන්‘ එහෙම ටික වෙලාවක් දිගට ඇදගෙන යන්න ආසයි. ඒ නිසා නාට්‍යයත් වරදිනවා. මේ නාට්‍ය කණ්ඩායම තමන්ගේම චරිත රඟපෑම කියන අපභ්‍රංශය ගැන අන්තිමේ පැහැදිලි කරන්නම්.

මේකේ අයියා ‘මළෝ‘ කියද්දී පැහැදිලිව අපේ පාලක රාජපක්ෂ පවුල ගැන නාට්‍යයෙන් කතා කරන බව ඉඟියක් දෙනවා. හැබැයි අයියයි මල්ලිලායි කියන එකම නෙවෙයි. ඒකත් යටි අරුතක් තමා. ඒත්, අයිය මළා කියන එක. ඒ කියන්නේ රාජපක්ෂ අයියා වගේ, මේ නාට්‍යයේ ඉන්න පාලක පවුලේ අයියා මැරුණාම වෙන දේතමයි නාට්‍යයේ එන්නේ. මෑත කාලයේ රාජපක්ෂලාගේ මරණය ගැන ආපු දෙවැනි නාට්‍යමය නිර්මාණය තමයි ඒ. අජිත් කුමාරසිරි සහ නාමිණී පංචලාගේ ‘ඩෙත් ඔෆ් මරා‘ කියන සංගීතමය නිර්මාණයත් මහ රාජපක්ෂගේ මරණය පිළිබඳ සංකේතාත්මකව කතා කරන එකක්. ඇත්තටම මහින්ද රාජපක්ෂ දැන් දේශපාලනිකව මැරිලා ඉවරයි. දැන් හැමෝම උත්සාහ කරන්නේ ඔහුගේ දේශපාලන මළමිනිය කරතියන් යමක් කරන්න. ඉතින්, අයියා මළෝ නාට්‍යයෙන් කතා කරන්නේ ඒක.

හැබැයි දැන් ලංකාවේ වගේම, මේ නාට්‍යයේත් ප්‍රධාන චරිතය වන්නේ මහින්ද රාජපක්ෂව නිරූපණය වෙන චරිතය නෙවෙයි. ඒ වෙනුවට මෙහි ප්‍රධාන චරිතය වන්නේ රනිල් වික්‍රමසිංහට සමාන චරිතය. රාජපක්ෂ පවුලට රිංගලා, පවුලේ එක එක පක්කලි සර්විස් ටිකක් කරලා දෙන්න එන මිනී කපන්නෙක්ගෙන් තමයි රනිල් වික්‍රමසිංහ නිරූපණය වෙන්නේ. ඒ චරිතය නාට්‍යය අවසන් වෙද්දී කපටි, ලැජ්ජා නැති, අධම සහ අමන වැඩ ගොඩක් කරලා කොහොමහරි තමන්ගේ ඉලක්කයට ළඟා වෙනවා.

අපි කලින් සඳහන් කළා වගේ මේ නාට්‍යයේ රට පාලනය කරන ලොකු අයියා මැරිලා. (ඒ චරිතවලට නාට්‍යයේ දීලා තියෙන නම් රාජපක්ෂ, වික්‍රමසිංහ ආදී සැබෑ නම් ගම් නෙවෙයි. ඒත් චරිතය බැලූ ගමන් කවුද කියා තේරෙනවා.) දැන් අයියාගේ මල්ලිලාට ඕනෑ කොහොමහරි බලය තියාගෙන. අයියා මළා කිව්වොත් පවුලෙන් බලය යනවා. ඒ නිසා අයියගෙ මිනිය පණපිටින් ජීවත් කරවන්න ඕනෑ. මිනිය හතර අතේ ඇවිද්දන්න ඕනෑ. ඒ අස්සෙ මල්ලිලායි ලොකු අයියාගේ පුතායි, ලොකු අයියාගේ බිරිඳයි පාලනයේ කටයුතු වගේම, මිනිස්සු අන්දලා කොහොමහරි පවුලෙම බලය තියාගන්න වැඩේත් බලන්න ඕනෑ. හැබැයි ඒ වෙනුවෙන් මේ පවුලෙ අයට විතරක් කරන්න බැරි සමහර වැඩ කටයුතු තියනවා. සමහර දේවල් කරන්න මේ පවුලෙ උං දන්නෙත් නෑ, උංට ඒ දේවල් කරන්න බෑ. මේ නාට්‍යයට අනුව නම් අයියගෙ මිනිය එම්බාම් කරන එක වගේ වැඩ.

ඉතින්, ඒ අජූත වැඩ වෙනුවෙන් පිටින් කෙනෙක්ව හයර් කරනවා. රනිල්ට සමාන චරිතය තමයි ඒ. නියම රංගනයක් ඒ චරිතය රඟපාන සමිත සුධීෂ්වර විසින් කරනවා. ඊට අමතරව මිනියට රඟපාන ජයනාත් බණ්ඩාරත්, ඔහුගේ මල්ලිලාට රඟපාන සංජය සහ ආලෝක දෙපළත් ඉතාම විශිෂ්ඨ රංගනයන්හි යෙදෙනවා. හැමදාම වගේ හොඳට රඟපාන ගීතා අලහකෝන් මෙහි අපූරුම චරිතයක් ඉදිරිපත් කරනවා. නාට්‍යයට එනර්ජි එක ගේන්නේ ගීතා සහ නාමල්ට සමාන චරිතය රඟපාන කසුන් ගම්මාන.

පූර්ණිමා විජේසූරිය තමයි මේ නාට්‍යයේ සංගීතය කළේ. නාට්‍යයි සංගීතයයි බද්ධවෙලා තියෙන්නේ. ඇත්තටම නාට්‍ය පටන්ගන්න කලින්, පූර්ණිමා සහ අරුණ ඇතුළු පිරිස ගිටාර් වාදනය කරමින් සිංදු කිය කියා වේදිකාවේ සයිඩ් එකක ඉඳගෙන ඉන්නේ ප්‍රේක්ෂකයාවත්, නාට්‍ය කණ්ඩායම කියන කන්සෙප්ට් එකත් ස්ථාපිත කිරීම සඳහා පූර්ව රංගයක් විදියට. නාට්‍ය අවසන් වුණාමත් ප්‍රේක්ෂකයන් එළියට එද්දී මිනීපෙට්ටියක් වටේට සිංදු කියමින් පශ්චාත් රංගයක් පූර්ණිමා ඇතුළු පිරිස ඉදිරිපත් කරනවා.

අපි කීවා වගේ මේ නාට්‍යයේ හතරවැනි මානය බිඳිමින්, හැම රංගන ශිල්පියෙක්ම තමන්ගේම චරිතයකුත් නිරූපණය කරනවා. ඒ කියන්නේ, නාට්‍යය ආරම්භයේදී අසංක සායක්කාර වේදිකාවට නැගලා කියනවා ‘අපට නාට්‍යය හරියට ප්‍රැක්ටිස් කරගන්න බැරිවුණා. ඒ නිසා සමහර තැන් වරදීවි‘ කියලා. ඒ අනුව ප්‍රේක්ෂකයාව සූදානම් කරනවා ‘වැරදීම්වලට‘.

එකම නාට්‍යයේ කතා දෙකක් තියෙනවා. එක කතාවක් මැරිච්ච අයියාගේ මිනිය එක්ක ඔට්ටු වෙන පාලක පවුලක කතාව. දෙවැනි කතාව වරද්ද වරද්දා නාට්‍යයක් කරන්න උත්සාහ කරන නාට්‍ය කණ්ඩායමක කතාව. මේ කතා දෙක සමාන්තරව යනවා.

ඒත්, ඇත්තටම සිද්ධවෙන වැරදීම් පවා නාට්‍යයේ කොටස්. උදාහරණයක් විදියට හිටපු ගමන් යම් නළුවෙක්ට ඩයලොග් එකක් අමතක වෙනවා. එතකොට ‘දැන් තියෙන්නෙ දමිතා අක්කගෙ කෑල්ල.‘ කියලා තව කෙනෙක් කියනවා. චරිතයේ අන්තිමේදී පිටපත අතේ තියාගත්ත කෙනෙක් වේදිකාවට ඇවිත්, පෙළ මතක් කිරීමත් ප්‍රේක්ෂකයන්ට පේන්න එළිපිටම සිද්ධ කරනවා.

ඕනෑම කාමරයක් බිත්ති හතරකින් සමන්විතයි. ප්‍රොසීනියම් වේදිකාවක තියෙන්නේ බිත්ති තුනයි. ඉස්සරහා පැත්තෙන් බිත්තියක් වෙනුවට, ප්‍රේක්ෂකාගාරය හමුවෙනවා. නාට්‍යවල නළුනිළියන් චරිතවලට සමවැදිලා රංගනයේ යෙදෙනකොට, ප්‍රේක්ෂකයන් කරන්නේ හතරවැනි බිත්තියක් විනිවිදලා ඒක දකින එක. ඒත් සමහර නාට්‍යවල චරිත තමන් මේ වේදිකාවක නාට්‍යයක් රඟපානවාය, තමන් නාට්‍යයක චරිතක්ය කියලා අනුදකිනවා. එහෙම නැත්නම් චරිතය වෙනුවට, ඒ චරිතය රඟපාන නළුවා ප්‍රසිද්ධියේ කියනවා, මම අහවල් නළුවාය කියලා.

(පසුකාලීනව වේදිකාවෙන් සිනමාව, ටෙලි නිර්මාණ ආදියටත් මේ සංකල්පය ගියා. දැන් ප්‍රකට ඩෙඩ්පූල් වැනි චරිත සිනමාවේදී කරන්නේත් එය.)

ඒ කියන්නේ මේ නාට්‍යයේ චරිත හතරවැනි මානය බිඳින්නේ නෑ. මහින්ද රාජපක්ෂගේ, රනිල් වික්‍රමසිංහගේ චරිතය කියන්නේ නෑ මම මේ නාට්‍යයක චරිතයක් කියලා. ඒත් ඒ වෙනුවට ඒ ඒ චරිතය රඟපාන නළුනිළියන් මේ නාට්‍යය තුළ එකිනෙකා එක්ක කතා කරමින් හතරවැනි මානය බිඳිනවා.

කොටින්ම කිව්වොත් ප්‍රේක්ෂකාගාරයේ ඉඳගෙන ඉන්න සායක්කාරගෙනුත් අහනවා ‘සායා, අර කෑල්ල ආයෙත් ගමුද?‘ වගේ දේවල්.

ඉතින්, මේ නාට්‍ය කණ්ඩායමට දිගින් දිගටම දෙබස් අමතක වෙනවා. නැත්නම් කවුරුහරි එකෙක් පිස්සු කෙළිනවා. නාට්‍යයේ සමහර කොටස් හරියට ලියල නෑ. සමහරවිට කට්ටිය රණ්ඩුත් වෙනවා.

කොටින්ම කිව්වොත් නාට්‍යයේ අවසානයත් හරියට සිද්ධ වෙන්නේ නෑ. ‘සායා, මේක නෙවෙයිනෙ අපි හිතපු අවසානය‘ කියලා කෙනෙක් කියද්දී, ‘අපට ඕන අවසානයට පස්සෙ දවසක යමු. අද මෙතැනින් ඉවරකරමු‘ කියලා සායක්කාර කියනවා.

ඒ අනුව මේ නළුනිළියන්ට වරදින තැන් තුළින් සංකේතවත් කරන්නේ අරගලකරුවන්. රටේ පාලනය වෙනස් කරන්න අරගලකරුවන් උත්සාහ කළා වගේ, මේ නාට්‍යයේ නාට්‍යවේදීන් උත්සාහ කරන්නේ නාට්‍යය කරන්න. අරගලකරුවන්ට තමන් කැමති අවසානය දක්වා රට ගෙනියන්න බැරිවුණා. නාට්‍යවේදීන්ටත් තමන්ගෙ අසානයට නාට්‍යය ගෙනියන්න බැරිවුණා.

අරගලය වගේම නාට්‍යය අවසන් වෙන්නේත් අමනයෙකු පවුලේත්, සියල්ලන්ගේ මහන්සියේත් කරපිටින් තමන්ගෙ පෞද්ගලික අරමුණු ගොඩදමාගැනීමෙනුයි.

මෙම නාට්‍යය ප්‍රබල නිසාම, දමිතා අබේරත්නව අත්අඩංගුවට ගැනීම සඳහා මේ නාට්‍යයත් හේතු වුණාද කියා හිතෙනවා.

අපි යෝජනා කරන්නේ මේ දේශපාලන ප්‍රහසනය බලන්න කියලා.ඒ සඳහා පහත දිනවල ඔබට අවස්ථාව තියෙනවා. නැත්නම්, නාට්‍ය දර්ශනයක් සංවිධානය කරලා නාට්‍ය කණ්ඩායමට සහයෝගය දක්වන්න පුළුවන්.

//අයියා මළෝ රටපුරා ඇවිදින්න සූදානම්
සැප් 03 එල්ෆින්ස්ටන් 
සැප් 29 කුරුණෑගල 
ඔක් 01 බේකරිය (මහල්වරාව)
ඔක් 07 මහනුවර
ඔක් 08 මී මුරේ
ඔක් 09 උඩුදුම්බර 
මේ බොහෝ තැන්වල තියෙන්නෙ සම්මත ප්‍රොසීනියම් වේදිකා නෙමෙයි. ඕනෑම තැනක කරන්න පුලුවන් විදියට තමයි අපි මේ නාට්‍ය නිර්මාණය කරේ. ඒ නිසා ඔබේ ප්‍රදේශයට අයියා මළෝ ගෙන්න ගන්න අවශ්‍ය නම් කතා කරන්න.
0771307776//