මිනිස් ආහාරයට නුසුදුසු අයුරින් නියමිත ප්‍රමාණය ඉක්මවා ඇෆ්ලටොක්සින් අඩංගු සමපෝෂ, යහපෝෂ හා ලක්පෝෂ දරුවන් සදහා නිෂ්පාදනය කිරීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් ලබන නොවැම්බර් මස 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මන්ජුල රත්නායක මහතා මෙරට ප්‍රධාන පෙළේ සමාගම් ත්‍රිත්වයකට හා එහි අධ්‍යක්ෂකවරුන් හය දෙනකුට අද සිතාසි නිකුත් කරලා තිබුණා.
සමපෝෂ, ලක්පෝෂ සහ යහපෝෂ කියන තුනට තමයි සිතාසි නිකුත් කරලා තිබුණේ. මේ විදියට නීතිමය පියවර අරන් තියෙන්නේ මහජන සෞඛ්‍ය සඳහා හිමිවන බලතල අනුව. යහපෝෂ නිෂ්පාදනය කරන්නේ සහ බෙදාහරින්නේ මැලිබන් සමූහය සතු සමාගම් දෙකකින්. සමපෝෂ අයිති වෙන්නේ ‘මන්චි‘ නමින් හඳුන්වන සිලෝන් බිස්කට් සමාගමට.
ඒ අනුව එම සමාගම් මෙම නිෂ්පාදන පිළිබඳ කරුණු ඉදිරිපත් කළ යුතුයි.
රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව තමයි ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක පීඒඑස් කසුන් පසුගිය සතියේ තමයි නීතිමය පියවර අරන් තිබුණේ. මේ නඩුව විභාගයට ගැනීම තමයි 21 වැනිදා සිදු වුණේ. ඒ වෙලාවේදීයි සිතාසි නිකුත් කළේ. ආහාර පනත අනුව තමන්ගේ ඒරියා එකේ හම්බවුණාම නඩු පවරන්න බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හිමිවෙනවා. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කරලා තියෙන්නේ තමන්ගේ රාජකාරිය.
අපේ රටේ මිනිස්සුන්ගෙ බදු මුදලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට වැටුප් ගෙවද්දී මෙවැනි ආහාරවල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න දැනුවත් කරන්නත්, නීතිය ක්‍රියාත්මක කරන්නත් ඕනෑ බව පුරවැසියන් අපේක්ෂා කරනවා. ඒ ඔවුන්ගේ රාජකාරිය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මෙම ඇෆ්ලටොක්සීන් ප්‍රශ්නය ගැන ප්‍රසිද්ධ කිරීම ඔවුන්ගේ රාජකාරියේ කොටසක්.
ඒත්, අපේ රටේ පාලකයන්ට ඒ ‘රාජකාරි ඉටු කිරීම‘ දිරවන්නේ නෑ. ඔවුන්ට ඕනෑ මොනවහරි ක්‍රමයකින් ‘අනේ කිසි ප්‍රශ්නයක් නැහැ.‘ කියලා මිනිස්සු අන්දන්න.
ඒ අතරේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සැප්තැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී මෙම පුවත හෙළිකළ අයට තර්ජනයක් වෙන ආකාරයෙන් අදහස් පළ කර තිබුණා.
මේ වෙද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අමතරව මාධ්‍ය ආයතන කිහිපයකින්ම ඇෆ්ලටොක්සීන් සීමාව ඉක්මවා ඇති වාර්තා ප්‍රසිද්ධ කර තිබෙනවා. එම වාර්තා අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය ප්‍රසිද්ධ කළ කරුණු තහවුරු වී තිබෙනවා. එහෙත්, සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී සාවද්‍ය කරුණු සමාජගත කරමින්, කරුණු රටට හෙළිකළ පුද්ගලයන්ට තර්ජනය කරනවා.
ශ්‍රී ලංකාව බරපතල පෝෂණ අර්බුදයක පවතින මොහොතක, දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ලබාදෙන අත්‍යවශ්‍ය සේවාවක් විදියට නොමිලේ ලබාදෙන ත්‍රිපෝෂ හැඳින්විය හැකියි. සමපෝෂ හා යහපෝෂ වැනි වෙළඳ නාමවලින් අලෙවි කරන කෑම වර්ග පවා මේ මොහොතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙනවා. මේවා අලෙවි කිරීමේදී ප්‍රමිතියත් ඉතා වැදගත්.
සාමාන්‍යයෙන් මෙවැනි ආහාර වර්ග අලෙවි කරන විට ඒවායේ එක් එක් රසායනද්‍රව්‍ය පැවතිය යුතු ප්‍රමිති සීමාවන් හඳුනාගැනෙනවා. ඒ සීමාවට වඩා බිඳක් හෝ රසායන ද්‍රව්‍යය වැඩි වුණොත් ප්‍රමිතියෙන් තොරයැයි සලකනවා. ඒ අනුව තමයි ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් කියන රසායනය සීමාව ඉක්මවා ඇතැයි හඳුනාගත් වාර්තා නිකුත් වී තිබෙන්නේ.
මෙහිදී අප තේරුම්ගතයුතු කාරණයකුත් තිබෙනවා. ඇෆ්ලටොක්සීන් පිළිබඳ ප්‍රමිතිගත සීමාවට වඩා සුළු වශයෙන් තමයි උක්ත වාර්තා අනුව වැඩිවෙලා තියෙන්නේ. ඒ කියන්නේ සීමාව ඉක්මවා තිබුණත්, මහා පරිමාණයෙන් ඒ රසායන ද්‍රව්‍ය වැඩි නැහැ. එහෙත්, මේවා ‘ප්‍රමිතියෙන් තොර‘ බවට වාර්තා අනුව ඉතා පැහැදිලිව තහවුරුයි.
එවැනි පසුබිමක අපි පොඩි කාරණයක් පැහැදිලි කරන්නත් ඕනෑ. මාධ්‍යවලටත් මෙවැනි වාර්තාවල අන්තර්ගතය තුළ මේවා පැහැදිලි කරමින්, සීමාව ඉක්මවා මිනිසුන් බිය ගන්වන්නේ නැතිව වාර්තා කරන්නත් ඕනෑ. උදාහරණයක් ලෙස මේ වාර්තාවන්ට මාතෘකා වෙන පෝෂ කාපු ගමන් විසවෙලා මැරෙන්නේ නෑ. කෑවොත් පිළිකා හැදෙනවා කියල එකකුත් නෑ. අපි සමහර වෙලාවක බිම වැටුණු කෑමක් පවා අහුලලා පිහදාලා කන බව දන්නවානේ. මේක ප්‍රමිතිය පිළිබඳ විද්‍යාත්මක කාරණයක්. එයට අදාල ප්‍රමිතිය තහවුරු කරගත්තාට පස්සේ ඒ ඒ නිෂ්පාදන ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න ඕනෑත් නැහැ.
කොහොම නමුත් මේ සියල්ල මැද තමයි සෞඛ්‍ය විෂයභාර ඇමතිවරයා වෘත්තිය සමිති නායකයන්ට තර්ජනය කරමින් පාර්ලිමේන්තුවේදී කතා කළේ. ඒ තර්ජනය නම් කිසිසේත්ම අනුමත කළ නොහැකියි.
ඇෆ්ලටොක්සීන් ගැන ඔහු මෙසේ කියා තිබුණා.
‘බඩඉරිඟු අඩුව නිසා ප්‍රශ්නක් මතුවෙලා තියෙනවා. මුහුදේ එනකොට සති දෙකක් ඇතුළත, පුංචි කළු තිතක් වගේ තියෙනවා. ඒකත් ලෝක මට්ටම සීයට 20යි තියෙන්නේ. අපි වඩා ආරක්ෂාවට තිහක් දාලා තියෙනවා.‘
වැඩිදුරටත් ඔහු කීවේ මෙහෙමයි. ‘අමූලික බොරුවක් කියලා මේ පාර්ලිමේන්තුවේ මම වගකීමක් ඇතිව කියනවා. හේතුව, මේ ප්‍රශ්නය සම්බන්ධව සම්බන්ධවෙලා තියෙන අයට නීතිමය ක්‍රියාමර්ග ගන්නැයි කියලා අද උදෙත්, ඊයේ රෑ 11ට කතා කරලා මම ලේකම්තුමාටත් කිව්වා. පිළිකාකාරයක් තියෙනවා කියලා සමාජයක් බයගන්වන, නින්දිත ආකාරයට කටයුතු කරන, ස්ටැබ්ලිෂ්මන්ට් කෝඩ් එකේ තියෙනවා එවැනි ප්‍රකාශයක් කරනවානම් ලේකම්තුමාගේ අවසරයක් ගන්න ඕනෑ. මම පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ සම්බන්ධව මේ මොහොතේ සිට ඒ කටයුත්ත ඒ ආකාරයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.‘
ඒ විදියට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවායැයි තර්ජනය කළ ඔහු වැඩිදුරටත් මෙහෙම කීවා. ‘හැබැයි මේ ප්‍රශ්නය නැහැයි කියලා මම තවදුරටත් කියන්නෑ.‘
ඒ කියන්නේ ඔහු අදහස් කරන්නේ මොකකක්ද? ‘ඔව් අවුලක් තියෙනවා, ඒත් ඒක මිනිස්සුන්ට කියන්න බැහැ. කියපු උංට ගේම දෙනවා‘ කියන එක නේද?
සැබෑ තත්වයන් ගැන මිනිසුන් අඳුරේ තැබීමයි ඔහු කරන්නේ. ඉන් එහාට ගිහින් සාම්පල් පරීක්ෂාව ගැන සම්පූර්ණ අවිද්‍යාත්මක සහ සෞඛ්‍ය ඇමතිවරයෙකුට නොගැලපෙන කතාවකුත් ඔහු කියා තිබුණා.
‘ටොන් එකකින් ග්‍රෑම් එකක් අරගෙන පරීක්ෂණ පවත්වලා පත්තරවල ගහනවා.‘ යනුවෙන් ඔහු කියා තිබුණා.
මෙවැනි අවිද්‍යාත්මක මෝඩයන්ව සෞඛ්‍ය ඇමති කළේ කවුද? වෙන කවුරුත්ම මේ ඇමතිකමට නැද්ද? මේ මොහොතේ වගකීමෙන් කටයුතු කළ යුතුයි නේද?
‘අවුරුදු තුනට අඩු සියලුදෙනාට ලබාදිය යුත්තේ බිලියනයට කොටස් එකට අඩු ප්‍රමාණයක් තියෙන ඒවා. අවුරුදු තුනට වැඩි අයට බිලියනයට කොටස් තිහට අඩු ප්‍රමාණයක් දෙන්න ඕනෑ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් කළ විමසීමට පිළිතුරු දුන්නා.‘ යනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපුල් රෝහණ මහතා කියා තියෙනවා.
ඒ අනුව ‘ලෝක ප්‍රමිතිය සීයට විස්සයි, මෙහෙ වැඩි හොඳට තිහක් දාලා තියෙනවා‘ වගේ ඇමතිගේ කතාත් සාවද්‍යයි.
‘අමාත්‍යවරයා කියා තියෙනවා මම සාවද්‍ය ප්‍රකාශයක් කළා කියලා. කිසිසේත්ම මම සාවද්‍ය ප්‍රකාශයක් කරලා නැහැ. දරුවන්ට සහ ගර්භනී මව්වරුන්ට සංවේදී ආහාර ලබාදෙද්දී සැලකියයුතු ආකාරයට කළයුතුයි කියලා අපි කියන්නේ.‘ යනුවෙන් ඔහු වැඩිදුරටත් කීවා.
කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ත්‍රිපෝෂ කතාවෙන් එහාට සෞඛ්‍ය අර්බුද ගැන මාධ්‍ය වාර්තාවලටත් සිය කතාවේදී අවදානය යොමු කළා. එහිදී ඔහු මාධ්‍ය සමග අදහස් දැක්වූ නිලධාරීන්ට පියවර ගැනීමක් ගැන කීවා. ඒ වගේම, මාධ්‍යවලින් ලංකාවේ ඖෂධ අර්බුදය සහ සෞඛ්‍ය ප්‍රශ්න ගැන වාර්තා කිරීමට එරෙහිව පියවර ගන්න උත්සාහ කරන බව කීවා.
ඒ අනුව ඔහුගේ ප්‍රවේශය අකුරක් නෑර අරගලයට කලින් ගෝඨාභය රාජපක්ෂ සිටියදී ගත්ත ප්‍රවේශයම තමයි. ඒ කියන්නේ සැබෑ අර්බුදයත්, එහි පරිමාණයත් මිනිස්සුන්ට නොකියා ඇත්ත යටගහනවා. ඇත්ත කියන අය මර්දනය කරන්න දඟලනවා. බොරු චිත්‍රයක් සමාජය ඉදිරියේ මවනවා. ‘ඔය චුට්ටක් අවුල් ඇති. ඒත්, පොදුවෙ තත්වය හොඳයි.‘ වගේ කතන්දර කියනවා. ඒත්, අර්බුදය තීව්‍ර වෙලා මහා පරිමාණයෙන් මිනිස්සුන් අමාරුවේ වැටෙන්න අරිනවා. මහපොලොවේ තිබෙන සැබෑ අර්බුද යටගහමින් රෝස උයනක් වගේ රූපයක් මවනවා. මිනිසුන් නිද්‍රාවේ තබමින්, මිනිසුන් තව තවත් අමාරුවේ වැටෙද්දි, මිනිසුන්ව පාලනය කරනවා.
‘මර්දනය තමයි එකම විසඳුම‘ කියන වචන නාමල් රාජපක්ෂ කීවේ ඊයේ පෙරේදා. මහා ජන නැගිටීමකින් පස්සේත් මේ අමන පාලකයන් හැදිලා නැති බව කෙහෙළිය රඹුක්වැල්ලගේ හැසිරීමෙන් සහ කතාවලින් පෙනෙන්නට තිබෙනවා.