නෙළුම් කුළුණ ගැන ඔබ දැනගත යුතුම දේවල් 10ක්

නෙළුම් කුළුණ හෙවත් මහින්ද රාජපක්ෂගේ පුරුෂ ලිංගයට පළවැනි දිනයේම ලැබිච්ච ආදායම රුපියල් ලක්ෂ 21ක් බව නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ කියා තියෙනවා.

ඒ අස්සේ නෙළුම් කුළුණ බලන්න ගිහින් මිනිස්සු දුන්න ‘හොඳ කමෙන්ට්‘ පරෙස්සමෙන් තෝරා බේරාගෙන විකාශය කරන අයිටීඑන්, හිරු, දෙරණ සහ අනෙකුත් මාධ්‍ය  සාමාන්‍ය ජනතාවගේ ඔලුවට නෙළුම් කුළුණ ගැන ‘පොදු මතයක්‘ බස්සමින් ඉන්නවා.

ඒ සියල්ල බලා ඉඳලා, අපි මෙතැන කතා කරන්නේ නෙළුම් කුළුණ ගැන ඔබ දැනගත යුතුම කරුණු 10ක්.

  • ආදායම මහා ලොකු එකක් නෙවෙයි

පළවැනි දවසේ ආදායම ගණනය කළෝ, ඩොලර්වලින් 5900ක් විතර. නෙළුම් කුළුණ හදන්න ගිය වියදම ඇමෙරිකන් ඩොලර් 113,000,000ක්. දැන් හැටියට රුපියල් මිලියන 50,000ටත් එහා. ඒ කියන්නේ නෙළුම් කුළුණෙන් ලාභ ලැබීම කෙසේ වෙතත්, මේ ආදායමෙන් ණය පියවන්නට නම් දවස් 19,152ක් ගත වේවි. ඒ කියන්නේ අවුරුදු 52ක් විතර. ඒත්, එහෙම කියන්න වෙන්නේ අවුරුදු 52ක් තිස්සේ හැමදාම ඔය විදියට ඔය උනන්දුවෙන් මිනිස්සු එනවා කියන අනුමානයෙන්. ඒත් ඒක එහෙම වෙන්නේ නෑ.

සාධාරණයක් විදියට කියන්න ඕනෑ නෙළුම් කුළුණේ ආදායම මේ ටික විතරක් නොවන බව. කුළුණේ සන්නිවේදන කටයුතුවලට, හෝටල් කාමරවලට සහ වෙනත් දේවල්වලට කුලියට දීමෙන් තවත් ආදායමක් ලැබේවි. හැබැයි මේ කුළුණට දකුණු ආසියාවේ ලොකුම කුළුණු බලන්නට කියලා මිනිසුන් පැමිණීම තව දිග කාලයකට සිදුවෙන එකක් නැහැ. දැනටමත් නෙළුම් කුළුණට වඩා උස ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පවතිනවා ලංකාවේම. ඒ ගැන ඉදිරියේදී කියන්නම්. ඉන්දියාව සහ දකුණු ආසියාවේ වෙන රටවලත්, ලෙකු ලොකු ව්‍යාපාරිකයන් සහ රාජයන්, කලාපයේ උසම බිල්ඩිම හදන්නට උනන්දු නොවී සිටිනවායැයි අනුමාන කරන්න බැහැ.  

කොහොම කළත් පළමු දවසේ පෝළිමේ ගිහින් බලපු මිනිස්සු සංඛ්‍යාවෙන් දහයෙන් එකක්වත් අනාගතේ දිනකට එන එකක් නෑ. බොහෝ විට අනාගතයේදී දවසකට නෙවෙයි, මාසයකට ඔය ටිකට්පත් ආදායම ලබන තැනට නෙළුම් කුළුණ පත්වේවි.

ඒ අනුව මාස දහපහළොස්දාහක් යාවි, ටිකට්වලින් ඒ ආදායම හොයන්න.

කෙසේ වෙත් ආණ්ඩුව කියන විදියට, 2023 වසරේදී නෙළුම් කුළුණේ අපේක්ෂිත ආදයම රුපියල් මිලියන 680ක්. 2024 දී රුපියල් මිලියන 1000ක ආදායමක් මින් අපේක්ෂිතයිලු.

2024 වසරේ සිට රුපියල් මිලියන 200ක මෙහෙයුම් ලාභයක් ලැබීමට අපේක්ෂා කරන බවට කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම කියා තියෙනවා.

ඒ විදියට ගණන් බැලුවොත් නම්, අවුරුදු 200ක් විතර තිස්සේ ණය ගෙවන්න සිද්ධවේවි.

  • ලාභ ලැබෙන්නේ කාටද?

මිනිස්සුන්ට ලාභ නැත්නම්, ලාභ හොයන්න පුළුවන් කාටද? මේ ලොකු ලොකු හෝටල්වලින් කන්න පුලුවන්, සුපිරි තැන්වල කාලය ගත කරන්න පුළුවන් යම් පැළැන්තියක මිනිස්සුන්ට තමයි අනාගතයේ නෙළුම් කුළුණ විවෘත වෙන්නේ.

ඒ අයගෙන් නෙළුම් කුළුණේ ව්‍යාපාරික ස්ථාන හදාගත්ත සුපිරි පෞද්ගලික ව්‍යාපාරිකයන් තමයි හැබෑ ලාභය ලබන්නේ.

මෙහි පාදම මහල් හතරකින් යුක්තයි. මුළුතැන්ගෙය, වායුසමීකරණ පද්ධතිය හා විදුලි මෙහෙයුම් පද්ධතිය පතුල් මහලේ පිහිටා තියෙනවා. බිම් මහල අමුත්තන්ගේ පිවිසුම් මහල. ෂොපින් කම්ප්ලෙක්ස් හෙවත් සාප්පු සංකීර්ණවලට පළවැනි සහ දෙවැනි මහල් වෙන් කරලා තියෙනවා. රැස්වීම් ශාලා සහ ඕපන් කොන්සර්ට්වලට තුන්වැනි මහල වෙන් කරලා තියෙනවා. හතරවැනි මහළේ තියෙන්නේ වෙඩින් වගේ උත්සවවලට ගන්න පුළුවන් උත්සවශාලා.

ආසන 600 කින් යුත් කැරකෙන ආපන ශාලාව පිහිටා ඇත්තේ පස්වැනි තට්ටුවේ.

රාජ්‍ය අමුත්තන් සඳහා වෙන් වූ කාමර අටකින් යුත් හය වැනි මහලත්, නැරඹුම් කුටියකින් යුත් හත්වැනි මහලත් වායුසමීකරණය කරන ලද ප්ලාන්ට් රූම් සහ විදුලි සෝපාන ප්ලාන්ට් රූම් අඩංගු අටවෙනි මහලත් ඊට අමතරව තියෙනවා.

ඒ වගේම, මේකට ඇවිත් විනෝද වෙන්න ක්‍රය ශක්තියක් තියෙන මිනිස්සු තමයි ඉදිරියේදී මෙතැනට එන්න නියමිත. ඒ කියන්නේ මේකේ තියෙන හෝල් එකක සාමාන්‍ය, පොඩි නාට්‍යකාරයෙක්ට වේදිකා නාට්‍යයක් පෙන්වන්න බැහැ. ඉතාම මිල අධික ටිකට්වලින් සමන්විත, ඉහළම මට්ටමේ ෂෝ තමයි කරන්න වෙන්නේ. ඊට අමතරව වෙඩින් ආදිය පවා ලොකු මුදලක් තියෙන මිනිස්සුන්ට තමයි. සාමාන්‍ය, පොඩි මිනිස්සුන්ට නෙළුම් කුළුණෙන් ලැබෙන ආදායමෙන් යහපතක් සිදු වෙනු ඇතැයි හිතන්න බැහැ.

හැබැයි මේ කොළඹ ලොකු වෙඩිමක්වත් ගන්න තැනක් නොතිබිච්ච, පාළුවට ගිය තැනක් නොවන විත්තිය සිහිතබාගන්න ඕනෑ.

ඒ සියල්ලට වඩා, මේ නෙළුම් කුළුණේ සල්ලි යන්නේ මහා භාණ්ඩාගාරය යටතේ පිහිටවූ නෙළුම් කුළුණ කළමණාකරණ පුද්ගලික සමාගමට. අවුරුදු 50ක් දක්වා කුළුණ එම සමාගමට බදු දීලා තියෙනවා.

  • නෙළුම් කුළුණ ඉඩමෙන් මිනිස්සු එළෙව්වා

ඇත්තටම විදේශික සංචාරකයන්ටත් වඩා, ලංකාවේ සුපිරි පැළැන්තියකට ආතල් ගන්නට සහ දැවැන්ත විදියට රාජපක්ෂලාගේ කැම්පේන් සිම්බල් එක ඉදිරි කිරීමක් විදියට හදපු මේ කුළුණ වෙනුවෙන් අක්කර හයක ඉඩම ඩීආර් විජේවර්ධන මාවතෙන් ගනිද්දී, එතැන කලින් හිටපු පුංචි ගෙවල් සහිත දුප්පත් මිනිස්සුන්ව එළවලා දැම්මා. ඒ මිනිස්සුන්ට පුංචි තට්ටු ගෙවල් දුන්නා.

  • දිව්‍යලෝක කතාව

මේක දිව්‍ය ලෝකය වගේ කියලා බෞද්ධ හිමිනමක් කියලා තිබුණා. ඒක දැන් බෞද්ධ හිමිවරුන්ගෙ ලෝකයේ හැටියට සැබෑවක්. තවදුරටත් බෞද්ධ හිමිවරුන් සැබෑ සැපත විදියට දකින්නේ අල්පේච්ඡ සහ ධර්මානුකූල ජීවිතයක් සහ අන්තිමේ නිවන නෙවෙයි. අධිසුඛෝපභෝගී, පරිභෝජනවාදී, ශරීරය සන්තර්පණය කරන ජීවිතයක් සහ අන්තිමේ අතිශය සුවපහසු දෙව්ලොව සැපත් වගේ ඒවා. ඒ වෙනුවෙන් කාට කෙළවලා දැම්මත් හාමුදුරුවරුන්ට කමක් නෑ. ජාතිවාදය අවුස්සලා මුස්ලිම්, දෙමළ මිනිස්සුන්ට කෙළෙව්වත් අවුලක් නෑ. දුප්පත් මිනිස්සුන්ව ගෙවල්වලින් එළවලා කුකුල් කූඩු වගේ තට්ටු ගෙවල්වලට කොටු කරලා, ධනවතුන්ට සැප ගන්න මේ කුළුණ හැදුවත් අවුලක් නෑ.

අනෙක් හිමිවරුනගේ ඒ චින්තනය ගැන, මේ පසුගාමී අදහස්වලට වෙනස්ව කටයුතු කරන බුද්ධිමත් හිමිවරුන්ගෙන් සමාව ඉල්ලනවා.

  • දෙපාරක් විවෘත කළා

නෙළුම් කුලුන 2019 වසරේ සැප්තැම්බර් 16 දා එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් විවෘත කළා. ඒත්, මිනිස්සුන්ට යන්න පුළුවන්කමක් තිබුණේ නෑ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන නෙළුම් කුළුණ විවෘත කරද්දී ඒකෙ සිදුවෙච්ච වංචා ගැන පෙන්වමින්, මේ ව්‍යාපෘතියේ බොරුව ගැන ඉතා පැහැදිලිව කීවා. මේ ව්‍යාපෘතිය විවෘත කිරීම බොරු සංදර්ශනයක් විතරක් වුණා. කොහොම නමුත්, කුළුණේ වංචා ගැන රාජපක්ෂලාට චෝදනා එල්ල කරපු මෛත්‍රීපාල සිරිසේන ඒ වෙද්දීත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න සපෝට් එක දෙමින් හිටියා.

ඇත්තටම මේ විවෘත කිරීම පවා ඒ වෙලාවේ සිද්ධවුණේ රාජපක්ෂ පවුලේ 2019 මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන්. මේක මිනිස්සුන්ට විවෘත කරන්න අවශ්‍ය අවන්හල් ඇතුළු අභ්‍යන්තර සංවර්ධන කටයුතු ඉවර කරන්නත් කලින් තමයි බොරුවට ඕක විවෘත කරලා, යූටියුබර්ස්ලා සහ මීඩියාකාරයන් ඕකේ ඇතුළට යවලා සංදර්ශනයක් දැම්මේ.

  • ගිනි පොළී චීන ණය

නෙළුම් කුළුණ චීන එක්සිම් බැංකුවේ ඇමෙරිකන් ඩොලර් මිලියන 67ක ණයක් අරන් ඉදිකිරීම් අරඹපු  මේ ව්‍යාපෘතියේ වියදමෙන් සීයට 80ක් චීන ණයෙන් සහ ඉතිරි සීයට 20 විදුලි සංදේශ නියාමන කොමිසම යොදවන්න නියමිත වුණා. එහෙත්, ව්‍යාපෘතිය අවසන් වෙද්දී අපේ අතින් ඊට වඩා මුදලක් වැය වුණා. මුලින්ම මේ ව්‍යාපෘතියේ හිටපු චීන සමාගමක් ඇමෙරිකන් ඩොලර් මිලියන 15ක විතර මුදලක් අරන් අතුරුදන් වූ බව මෛත්‍රීපාල සිරිසේන කීවා. ඒ වෙද්දීත් විගණකාධිපති වාර්තාවකින් මේ ව්‍යාපෘතියේ නාස්තිය, පාඩුව සහ සැකසහිත ගනුදෙනු ගැන කරුණු ගොඩක් හෙළිකරලා තිබුණා.

චීනෙන් ගත්ත ණයවල පොළිය සීයට අටකට ආසන්නයි.

  • චීනයට යයිද? ඉන්දියාව කැළඹෙයිද?

මේ තරම් උස කුළුණක් පාවිච්චි කරන්න පුළුවන් එක ප්‍රධාන පර්පස් එකක් තමයි සන්නිවේදන සහ වෙනත් ආවේක්ෂණ උපකරණ සවි කිරීම. මේ වෙද්දීත් රූපවාහිනී, ගුවන්විදුලි සහ දුරකථන සන්නිවේදනයට අදාල බොහෝ උපකරණ සඳහා මේ කුළුණ කුළියට දෙන්න නියමිතයි.

ඒත්, දැනගන්නට වැදගත් තවත් කාරණයක් තමයි චීනය එක්ක පහුගිය කාලයක් තිස්සේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාලව යන සාකච්ඡාවලදී මතු වූ කරුණක්. චීනය කියා තිබුණා ණය ප්‍රතිව්‍යුහගතකරණය එහෙම ලෙහෙසියෙන් කරන්න සූදානම් නැහැ, ඒ වෙනුවෙන් චීන ණය හරහා කරපු ඉදිකිරීම් භාරගන්න ලෑස්තියි කියලා. මේ වෙද්දී චීන ණයවලින් හැදූ හම්බන්තොට වරාය චීනයට දීලා හමාරයි. ඉදිරියේ දෙන්න තියෙන දේවල් අතර බලශක්තිය පිළිබඳ බලයට අදාලව නොරච්චෝලේ වැදගත් වගේම රාජ්‍යතාන්ත්‍රික උපාය අනුව නෙළුම් කුළුණත් වැදගත් තැනක්. ඉන්දියාව මුල ඉඳන් සැක කළා ආවේක්ෂණ වැඩවලට නෙළුම් කුළුණ යොදාගනීවි කියලා. ඔබට මතක ඇති, ඊයේ පෙරේදා චීන නැවක් ඇවිල්ලා වෙච්ච හදිය.

චීනය තමන් දුන්න ණයට අදාලව නෙළුම් කුළුණ ගන්න උත්සාහ කළොත්, ඒක ඉන්දියාව එක්ක රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් දක්වා යන්නත් ඉඩ තියෙනවා.

  • නෙළුම් කුළුණ වැඩි කාලයක් උසම එක නෙවෙයි

මේ වෙද්දී නෙළුම් කුළුණේ උස මීටර් 356ක්. ඒත් ඔය කොටුවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එහාපැත්තේ දැන් ඉදිකරන ‘වන් ටවර්‘ කියන හයට් කම්පැණියේ ව්‍යාපෘතිය හරහා ඉදිකරන ගොඩනැගිල්ලේ උස මීටර් 376ක් කියලා ඇස්තමේන්තු කරලා තියෙන්නේ.

  • ජනමතය වෙනස්

නෙළුම් කුළුණ බලන්න ගිය මිනිස්සු මේක ගැන වර්ණනා කරපු බව ඇත්ත. ඒත්, මේ වෙද්දී නෙළුම් කුළුණ ගැන වගේම, මේ වගේ ණය අරන් කරපු හිස් ගොඩනැගිලි ගැන මිනිස්සුන්ගෙ මතය වෙනස් වෙලා බව සමාජ මාධ්‍යවල සිට පාරෙ මනුස්සයෙක් කතා කරන විදිය දක්වා සියලු දේ බලද්දී වැටහෙනවා. පහුගිය කාලයක් අරගල කළාට පස්සේ, අපේ මිනිස්සු තවදුරටත් පරණ මිනිස්සුම නෙවෙයි. වෙනසක් වෙලා තියෙනවා. අද මිනිස්සුන්ට තේරෙනවා, මේ ඉදිකිරීම්වල තිබුණු මායාව. ඉස්සර අපි මේ ඉදිකිරීම්වල වංචා දූෂණ ගැන කරුණු ඉදිරිපත් කරන විට, සංවර්ධනයට ඊර්ෂ්‍යාවෙන් කතා කරන අය විදියට අපව හංවඩු ගැහුවා. ඒත්, අද ඒක සෑහෙන පොදුජන මතයක් බවට පත්වෙලා.

  1. ඉදිකිරීම් හීනය

ඒ වගේම ලංකාවේ 1978 දී විවෘත ආර්ථිකය හඳුන්වාදුන් මොහොතේත්, ඉන්පසු පාලකයන් ‘සංවර්ධනය‘ කියා එකක් ගැන හීන මවද්දීත් පෙන්වූ දැවැන්ත කොන්ක්‍රීට් ඉදිකිරීම් ගැන මිත්‍යාව දැන් ඉවරවෙලා තියෙනවා. ඒ කියන්නේ 2006 දී මහින්ද රාජපක්ෂ ‘මහින්ද චින්තනය‘ කියන එක ගේනකොට පොරොන්දු වුණේ මේ විදියට අහස උසට ඉදිවෙච්ච ‘ෆැලික් සිම්බල්ස්‘ හෙවත්, ‘පුරුෂ ලිඟු‘ වගේ උසැති ඉදිකිරීම් මාලාවක්. ආසියාවේ ආශ්චර්ය කීවේ මේ වගේ ලොකු බිල්ඩින් තොගයක්. දැන් ටවුන්හෝල්, ගංගාරාම, නෙළුම් කුළුණ පහු කරගෙන කොටුවට, ගෝල්ෆේස් එකට, කොල්ලුපිටියට යන අයට හැමතැනම පේන්න තියෙන්නේ ඒ වගේ දැවැන්ත කුළුණු තොගයක් තමයි. හැත්තෑ ගණන්වල ඉඳන් මිනිස්සු සංවර්ධනය කීවේ ඔය ඉදිකිරීම් තොගයට.

ඒත්, ඇත්තටම ඒ ඉදිකිරීම් සියල්ල අවසන් වෙද්දී අපේ රට සංවර්ධනය වෙනුවට ණය උගුලක හිරවෙලා හමාරයි. එදා සංවර්ධනය කීව එකේ බොරුව හෙළිවෙලා ඉවරයි. මේ ඉදිකිරීම් සියල්ල මැද්දේ කොමිස්වලින් සහ කොන්ත්‍රාත්වලින් අසාමාන්‍ය ධනයක් හම්බකරපු ඉහළ ධනවතුන් තොගයක් ඉන්නවා. ඒ ධනවතුන්ට ආතල් ගන්න උස ගොඩනැගිලි සංස්කෘතියක් තියෙනවා. මේ අර්බුද සියල්ල අවසන් වුණත්, ඔය පැළැන්තියට අවුලක් නෑ.

ඇත්තටම මේ රටට කෙළවුණේ හුදෙක් රාජපක්ෂ පවුල විතරක් නිසාම නෙවෙයි. ඔය ඉදිකිරීම් සංස්කෘතිය, එයින් ධනවත් වූ පැළැන්තිය සහ සංවර්ධනය කියන එක ගැන විකෘති චිත්‍රයක් මැවූ අය මේ කෙළවීමට වගකියන්න ඕනෑ.

මේ ඉදිකිරීම්වල උඩට නැග්ගම පේන්නෙ තවුතිසාව හෝ තුසිත දෙව්ලොව නෙවෙයි. ඒ වෙනුවට පහළ තියෙන සාමාන්‍ය මිනිස් ජීවිත පේනවා. කොම්පඤ්ඤවීදිය එක් පැත්තක, මරදානෙන් එහා සහ කොටුව වගේ තැන්වල ජීවිත සටනේ නියැලෙන පොඩි මිනිස්සු මිලියන ගණන් ඉන්නවා. ස්ථීරව හෝ තාවකාලිකව පදිංචිවෙලා හෝ ඒ ප්‍රදේශ හරහා ගමන් කරමින් ඉන්නවා. මේ මිනිස්සුන්ට සාධාරණ විදියට අධ්‍යාපනයට ප්‍රවේශ වෙන්න, සෞඛ්‍යයට ප්‍රවේශ වෙන්න, ප්‍රවාහනයට ප්‍රවේශ වෙන්න පුළුවන්ද? මේ මිනිස්සුන්ව මානවීය වශයෙන් සංවර්ධනය වෙලාද? නෙළුම් කුළුණ උඩ ධනවතුන්ට විඳින්න තියෙන විවේකය, සතුට සහ විනෝදය සහිත මනුෂ්‍ය ජීවිතය පහළ ඉඳන් කට්ට කන, බදු ගෙවන මිනිසුන්ට උරුමද කියන ප්‍රශ්න අපි දැන් විමසන්න ඕනෑ.

ඇත්ත තිරසර සංවර්ධනයක් කියන්නේ ඔය උස බිල්ඩින්වලින් ඉන්න මිනිසුන් වගේම අනෙකුත් සම්පත් සංරක්ෂණය කරලා දියුණු කරපු, යහපත් නිෂ්පාදනයන් සිදුකෙරෙන දීර්ඝකාලීන එකක්. අපි ඒ තිරසර සංවර්ධනයට අවධානය යොමු කරන්න ඕනෑ.