ළමා අපයෝජන දඬුවමකින් ගැලවෙන්න අභියාචනාධිකරනයට ගිය භික්ෂුවට, දඬුවම වැඩි කරලා

බාල වයස්කාර දැරියක අපයෝජනය කරමින් දරුණු ලිංගික අපරාධයක් සිදුකර, අවුරුදු 11ක බරපතල වැඩ රහිත සිර දඬුවම් ලැබූ භික්ෂුවක්, සිය දඬුවමෙන් ගැලවීම සඳහා අභියාචනාධිකරණයට ගිය පසු අවුරුදු 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ලබා ඇතැයි ඩේලි මිරර් වාර්තා කරලා.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු සහ විකුම් කළුආරච්චි යන ද්විපුද්ගල විනිසුරු මඬුල්ල තීන්දුව ලබා දී තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දහම් පාසලක ඉගැන්වූ අපරාධකාර භික්ෂුව, 14 හැවිරිදි දැරිය තමාට එල්ල කරන චෝදනා පදනම් විරහිත, ගෙතූ කතාවක් බව තර්ක කර තිබුණා.

එහෙත් විනිසුරුවරුන් නිගමනය කර තිබුණේ ශ්‍රී ලංකාව වැනි සංස්කෘතික පසුබිමක් ඇති සමාජයක දැරියක්, තමන්ගේම අනාගතය අඳුරු කරගන්නා අන්දමේ මෙවැනි කතාවක් ගෙතීමට කිසිදු හේතුවක් නැති බව.

ළමයෙක් භික්ෂුවක් වෙත යන්නේ අනෙක් සාමාන්‍ය වැඩිහිටියෙකු වෙත යන ආකාරයට නොවන බවත්, භාරකාරත්වයක් මෙන්ම තමන්ට කිසිදු හානියක් නොකරනු ඇතැයි විශ්වාසයක් සමග ආගමික පූජකයෙකු වෙත දරුවන් ළං වන බවත් විනිසුරු විකුම් කළුආරච්චි සඳහන් කර තිබුණා.

ඒ අනුව ගුරුවරයෙකු මෙන්ම භික්ෂුවක විසින් සිදුකරනු ලබන මෙවැනි ලිංගික අපරාධයක් අනෙක් සාමාන්‍ය වැඩිහිටියෙකු කරන අපරාධයකට වඩා බරපතල බව විනිසුරු කළුආරච්චි පෙන්වා දී තිබුණා.

එමෙන්ම මෙම ලිංගික හිංසාවට ලක් වූ දැරියට සිදු වූ මානසික හානිය ගණනය කළ නොහැකි බවත්, එය මතුපිටින් පෙනෙන්නේ නැති බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා.

මහාධිකරණය භික්ෂුවට ලබා දී තිබුණේ දැරිය පැහැරගැනීම පිළිබඳ පළමු චෝදනාවට වසර 15කට අත්හිටවු වසර 4ක සිරදඬුවමක් සහ ලිංගික අපයෝජනය පිළිබඳ දෙවැනි චෝදනාවට වසර 11ක බරපතල වැඩරහිත සිරදඬුවමක්. එහෙත්, අභියාචනාධිකරණය පළමු චෝදනාවට ලැබූ වසර 4ක අත්හිටවූ සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට තීන්දු කළා.

පැමිණිලි පාර්ශ්වයට අනුව මෙම භික්ෂුව පන්සලට මීටර් 100-150 අතර දුරින් පිහිටි දැරියගේ නිවසට රාත්‍රී 10ට පමණ ගොස් තිබුණා. දැරිය, ඇගේ මාපියන් සහ සහෝදරයන් තුන්දෙනා නින්දේ සිට තිබෙනවා. දැරියට ජනේලයෙන් කතා කොට නිවසෙන් එළියට පැමිණ හමුවෙන ලෙස කියා තිබෙනවා. ඉන්පසු දැරිය රැගෙන ධර්ම ශාලාවට රැගෙන ගොස් තිබෙනවා.

රාත්‍රියේ අවදි වූ දැරියගේ මව, භික්ෂුව නොමැති බව දැක තිබෙනවා. ඉන්පසු දැරියගේ පියා සහ වැඩිමල් සහෝදරයා සමග දැරිය සොයා යද්දී, පන්සලේ සිට මුණගැසී තිබෙනවා. එදින රාත්‍රියේ දැරිය රැගෙනවිත්, පොලීසියේ පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

කෙසේ වෙතත් විත්තිකාර භික්ෂුවගේ පැත්තෙන් තර්ක කර තිබුණේ තමන් දැරියව පන්සලට නොකැඳවූ බවත්, දැරිය පැමිණි බවත්. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් අධිකරණය නිගමනය කර තිබුණේ දැරිය පැමිණි බව විත්තිකාර භික්ෂුවද පිළිගෙන ඇති බව.

ශ්‍රී ලංකාවේ භික්ෂූන් විසින් දරුවන් අපයෝජනය කිරීමේ සිදුවීම් ගැන කතන්දර, ආරංචි නිතර වාර්තා වෙනවා. එහෙත්, ඒ බොහොමයකට දඬුවම් ලබාදීම තබා නිසිපරිදි විමර්ශන සිදුකිරීම දක්වා ගමන් කරන්නේත් නෑ. එවැනි සිදුවීම් පිළිබඳ මාධ්‍ය වාර්තා පළවෙන්නේත් නැහැ. උඩ සඳහන් ප්‍රවෘත්තියත් බොහෝ මාධ්‍යවලට පුවතක් වුණේ නැහැ.

භික්ෂූන් ළමයින් අපයෝජනය කිරීම කතා කිරීමට තහනම් මාතෘකාවක්.

මෙම මාතෘකාව කතා කළ රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා මෙන්ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය යන දෙදෙනාගේම දේශපාලන ජීවිතයට පවා ඒ කතා කිරීම බලපෑවා. භික්ෂූන් විසින් දරුවන් අපයෝජනය ගැන කතා කළ නිසා ඔවුන්ට විරුද්ධව විශාල විරෝධයක් පැනනැගුණා. අද ඒ දෙදෙනාම පාර්ලිමේන්තුව තුළ නැහැ.

මෙරට භික්ෂූන් තමන්ගේ චීවරය නිසාම, කිසිදු වරදක් නොකරන, වන්දනීය සහ විශේෂ පුද්ගලයක් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටිනවා. එකදු භික්ෂුවකට හෝ එරෙහිව විවේචනයක් කළොත් චීවරයට එරෙහි වීමක් ලෙස සලකනවා.

එහෙත්, භික්ෂූන් කියන්නේත් මේ සමාජයේ පෘථග්ජන මිනිසුන්. භික්ෂුවක් වූ පමණින් කෙනෙකු සමාජ, දේශපාලන සහ අනෙකුත් කාරණාවලදී විශේෂ විය යුතු නැහැ. ආගමික අර්ථයෙන් පමණක්, ඔවුන්ගේ වටිනාකම විශේෂයෙන් සැලකුවාට කමක් නැහැ. සාම්ප්‍රදායික අධ්‍යාපනයක් ලද නූගත් භික්ෂූන් පවා විද්වතුන් මෙන් රාජ්‍ය පාලනය, සමාජය මෙන්ම මිනිසුන්ගේ පුද්ගලික ජීවිතය ගැන පවා උපදෙස් ලබා දෙන හැටි දක්නට ලැබෙනවා.

ඉහත කී නඩු තීන්දුව මේ බොහෝ සිදුවීම් ගැන ඇස් ඇරවන්නට හේතුවක්. ඒ නිසාම බොහෝ මාධ්‍ය ආයතන නොදැක්කා සේ යටගසන, යටගස්සන පුවතක්. භික්ෂුවක සිදුකළ අපරාධය ගැන පොලීසියට වාර්තා කොට, යුක්තිය ඉටු කරගැනීමට කටයුතු කළ එම දැරියට සහ දැරියගේ පවුලේ උදවියට අපේ ආචාරය හිමිවෙනවා.

ඩේලි මිරර් පුවත්පතේ ලක්මාල් සූරියගොඩගේ වාර්තාවක් මත නඩුවේ කරුණු උපුටාගන්නා ලදී.

ලිපිය සමග එන ඡායාරූපය නිරූපණයක් පමණි.