මේ වන විට රජය විසින් ක්‍රියාත්මක කරන නීතිවිරෝධී සහ මානව හිමිකම් කඩකරන ක්‍රියාපිළිවෙතට එරෙහිව විධිමත්ව කටයුතු කිරීම සඳහා තරුණ නීතිඥ සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සාමාජිකත්වයෙන් යුතු මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.
‘රාජ්‍ය මර්දනයට එරෙහි ක්‍රියාකාරී කමිටුව‘ නමින් හඳුන්වන මෙම මධ්‍යස්ථානය ඉදිරියේදී මානව හිමිකම් කඩ කිරීමකට ලක් වූ පුද්ගලයන් හඳුනාගැනීම, ඔවුන්ව සම්බන්ධ කරගෙන අවශ්‍ය සහයෝගය ලබා දීම, සිදුවීම් පිළිබඳ තොරතුරු එකතු කිරීම, තොරතුරු ප්‍රසිද්ධ කිරීම, තොරතුරු විශ්ලේෂණය කරමින් වාර්තා සැකසීම, ඒවාට අදාල නීතිමය තත්වයන් පැහැදිලි කිරීම සහ නීති උපදෙස් ලබා දීම, මානව හිමිකම් කඩකිරීම්වලට එරෙහි නඩු කටයුතු පිළිබඳ සොයා බලා ඒවා විධිමත්ව සිදු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම, මානව හිමිකම් කොමිසම ඇතුළු ආයතනවලට මර්දනය පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම, ස්වෙච්ඡාවෙන් වැඩකටයුතු සිදුකරන නීතිඥයන් අතර සම්බන්ධීකරණ කටයුතු ආදිය කිරීමට නියමිතය.
මධ්‍යස්ථානය පිළිබඳ සැප්තැම්බර් 16 වැනිදා කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. එම මාධ්‍ය හමුවට තරුණ නීතිඥ සංගමය නියෝජනය කරමින් නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහභාගී විය. තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර සහ මාධ්‍යවේදිනී රේඛා නිලුක්ෂි හේරත් සහභාගී විය.
මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීමට මුල් වූ වෘත්තිකයන් සහ ක්‍රියාකාරිකයන් මීට පෙර සිටම මානව හිමිකම් කඩකිරීම්වලට එරෙහිව ක්‍රියාත්මක වූ අතර, ඉදිරියේදී වඩාත් විධිමත් ලෙස කටයුතු කිරීම මෙම මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ වේ.