‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න’- නීතිඥ නුවන් බෝපගේ ජිනීවා සැසිවාරයේදී ඉල්ලයි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට එල්ල වී ඇති මර්දනය, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ අතුරුදහන්වුවන් මෙන්ම සහ සමස්ත මානව හිමිකම් තත්ත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වගවීමේ අවශ්‍යතාවය පිළිබඳව සොයා බලා ඒ වෙනුවෙන් මැදිහත් විය යුතු බව නීතිඥ නුවන් බෝපගේ ජීනිවා සැසිවාරය අමතමින් පවසා සිටියේය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය සැප්තැම්බර් 12 වැනිදා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය. මෙම සැසිවාරය ලබන මස 07 වෙනිදා දක්වා පැවැත්වෙනු ඇත.

එම අවස්ථාවේදි නීතිඥ නුවන් බෝපගේ සැසිවාරය ඇමතීය.

“මහ කොමසාරිස්ගේ වාර්තාවෙන් පැහැදිලි වන පරිදි, පැහැදිලි වගවීමේ ක්‍රියාවලිය ක්‍රමානුකූලව යටපත් කිරීම, නීතියේ ආධිපත්‍යය සහ ස්වාධීන මානව හිමිකම් ආයතන මානව හිමිකම් සඳහා වගවීම වැළැක්වීමේ රජයේ හිතාමතා උත්සාහයේ කොටසක් ලෙස වත්මන් ආර්ථික අර්බුදය දිගුකාලීන ගැටළු වලට හේතු වී තිබෙනවා.දූෂණය, බලය අනිසි ලෙස භාවිතා කිරීම, යුද කාලීන කුරිරුකම්, මානව හිමිකම් උල්ලංඝණයන් සහ දිගුකාලීන ආර්ථික අවභාවිතය වත්මන් අර්බුදයේ මූලය බවට පත්වෙනවා”

“මහජන විරෝධතාවලට ආණ්ඩුව දක්වන ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරය, ජනාධිපති වික්‍රමසිංහගේ පරිපාලනය යටතේ අර්ථවත් මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ වගවීමේ අපේක්ෂාවන් පිළිබඳ කිසිදු ශුභවාදී හැඟීමකට ඉඩක් තබන්නේ නෑ. නව ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව මා ඇතුළු සාමකාමී විරෝධතාකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා” ඔහු කියා සිටියේය.

“මෙයට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, සිරිධම්ම ගල්වැව හිමි සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිටින හෂාන් ජීවන්ත ද ඇතුළත්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම්වලට ලක්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් තම ආදරණීයයන්ගේ ඉරණම දැන ගන්නා ලෙස ඉල්ලා දින 2000 කට අධික කාලයක් අඛණ්ඩව විරෝධතාවයක නිරත වන විට හිරිහැරවලට සහ බිය ගැන්වීම්වලට මුහුණ දී තිබෙනවා”.

“මෙම සන්දර්භය තුළ, කවුන්සිලය මේ තත්ත්වය පිළිබඳ විමර්ශනය වැඩි දියුණු කිරීමට සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, සමස්ත යුද කාලීන සාහසික ක්‍රියා සහ ආර්ථික අපරාධ මෙන්ම පාස්කු ප්‍රහාරයන් සඳහා ශ්‍රී ලංකාවේ වගවීම ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා” යනුවෙන් අවසාන වශයෙන් ඔහු එහිදී පැවසීය.