ශ්‍රී ලංකා පොලීසිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් දිනය සැමරූ ඊයේ දිනයේ දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, හිනිදුම පොලිස් බල ප්‍රදේශයේ තරුණයකුට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමක් ‘සටහන්’ වෙත වාර්තාවේ.
පහරකෑමට ලක්වූ ඩබ්ලිව් කේ ලසිත කුමාර නම් 28 හැවිරිදි තරුණයා ගාල්ල තවලම නත්තන්පිටියේ පදිංචිකරුවෙකි. ගහල ජෙසිම්මනි හංදියේ පුවක් සහ ගම්මිරිස් මිලදී ගන්නා කඩයක් ඔහුට තිබේ. ඊයේ (3) දහවල් ඔහු කඩයේ සිටියදී හිනිදුම පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිසියේ කිහිප දෙනකු පැමිණි බවත්, හොරකමකට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ඔහුට විකිණීයැයි කියන භාණ්ඩයක් සොයා පැමිණි පොලිසිය එම කඩහිමි තරුණයාට අමානුෂික ලෙස පහර දුන් බව සිද්ධිය ඇසින් දුටු තරුණයෙක් පැවසීය.
‘පොලිසිය ඇවිත් මේ තරුණයාට ගැහුවා. ගහලා පාරට ඇදං ඇවිත් දිගටම ගැහුවා. ඒඅයිසී මහත්තයත් ගැහුවා. වටේ මිනිස්සු බලං ඉන්දි ගැහුවේ. පොලිසිය ඒ වෙලාවේ බීලා වගේ හිටියේ. පොලිසිය ගහද්දි තරුණයාව ඇදගෙන වැටුණා. පස්සේ පොලිසියම එයාව අරගෙන උඩුගම ඉස්පිරිතාලෙට ගෙනිච්චා.’
මෙම පහරදීම තවත් තරුණයකු වීඩියෝ ගත කර ඇති අතර එය හිනිදුම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මකා දමා ඇතැයි ප්‍රදේශවාසියෙක් සඳහන් කළේය.
‘මේ සිද්ධිය එක්කෙනෙක් වීඩියෝ කළා. එයාට ඕඅයිසී මහත්තයා පොලිසිය එන්න කියලා ඒක ඩිලීට් කරන්න කිව්වා. ඩිලීට් කළේ නැත්නම් එයාව කූඩුවට දානවා කිව්වා. ඊට පස්සේ වීඩියෝ එක ඩිලීට් කළා.’ යැයි ඔහු කීවේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී වන විටත් ප්‍රදේශවාසීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි.
‘අපි දකුණු පළාත භාජ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්තයට දිගින් දිගටම ගත්තා. නමුත් දුරකතනයට ප්‍රතිචාර දැක්වුවේ නෑ. පස්සේ අපි ළඟ තියන තත්ත්පර ගණනක වීඩියෝ එකක් ඒ මහත්තයට වට්ස්ඇප්වලින් යැව්වා. මේ ගැන ගාල්ලේ එස්එස්පී මහත්තයාටත් කිව්වා. ඒත් ගණන් ගත්තු බවක් පෙනුනේ නෑ.’ යැයි ප්‍රදේශයේ තරුණයෙක් සඳහන් කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ ක්ෂණික ඇමතුම් අංකයට පැමිණිල්ලක් ලැබුණු බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් තහවුරු කළේය.
රෝහල් ගත කර සිටි තරුණයා අද රෝහලේ සිටියදීම රිමාන්ඩ් බාරයට පත් කර තිබෙන බවත්, ඔහු අද මහේස්ත්‍රාත්ට ඉදිරිපත් කරන බව (මහේස්ත්‍රාත් රෝහලට පැමිණෙන බව) ඥාතීන් දැන නොසිටි බවත්, එනිසා නීතිඥවරයකු යොමු කිරීමට නොහැකි වූ බවත් ප්‍රදේශවාසීහු සඳහන් කරති.