අයිඑම්එෆ් මූලික ගිවිසුම ඉවරයි!

  • රනිල් කීවේ ගිවිසුම ජුනි අවසානයේ අත්සන් කරන බව
  • අයිඑම්එෆ් කාර්ය මණ්ඩල ගිවිසුමේ මූලිකාංග නිවේදනයෙන් එළියට
  • ආණ්ඩුවේ සේවාවන්ගේ මිල වැඩි කරන්නලු.
  • අලුත් බැංකු පනතක් සහ මහබැංකු පනතක් ගේන්නලු.
  • විනිවිදභාවය ගේන්නලු, දූෂණ විරෝධී නීති ශක්තිමත් කරන්නලු
  • දුප්පත්ම මිනිසුන්ට සමාජ ආරක්ෂණ දැලක් හදන්නලු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට පැමිණි නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාව සමග කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණි බවත්, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක් වටිනා මූල්‍ය සහයෝගයක් ලබාදීමට සූදානම් බවත් එම නියෝජිත පිරිස නියෝජනය කරමින් පීටර් බෘෘවර් සහ මසහිරෝ නොසාකි යන මහත්වරුන් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.

ශ්‍රී ලංකාව මීට කලින් ජුනි මාසය වෙද්දී මේ ගිවිසුම අත්සන් කරන්නත්, ඩොලර් බිලියන 4-6 අතර ප්‍රමාණයක සහයෝගයක් ලබාගන්නත් බලාපොරොත්තු වුණා. මාස කිහිපයකින් මෙය ප්‍රමාද වීමත්, ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වීමත් ආණ්ඩුව පැත්තෙන් පසුබෑමක් වුණත් අවසානයේ ගිවිසුමක් ලබාගැනීම ජයග්‍රහණයක්.

රනිල් වික්‍රමසිංහ ජුනි මස අවසානයේදී සිදු කරනවායැයි පොරොන්දු වූ කාර්ය මණ්ඩල ගිවිසුම තමයි මේ විදියට අවසන් වෙන්නේ. කෙසේ වෙතත් එයින් කියැවෙන්නේ නැහැ අයිඑම්එෆ් එකේ මුදල් ශ්‍රී ලංකාවට ලැබෙන බවක්. මුදල් ලබාගැනීම සඳහා ඉදිරියේදී අයිඑම්එෆ් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබෙන්න ඕනෑ. ඒ සඳහා චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ කරවාගැනීමේ අභියෝගය ශ්‍රී ලංකාවට තිබෙනවා.

අගෝස්තු 24 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සිටි මෙම නියෝජිත කණ්ඩායම මුදල් අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක් එක්ක සාකච්ඡා පැවැත්වුවා. කාර්ය මණ්ඩල එකඟතාවේදී සිදු වන්නේ අයිඑම්එෆ් එකෙන් ලබාදෙන බේල්අවුට් පැකේජ් එක පාවිච්චි කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පිලිබඳ එකඟතාවකට පැමිණීම.

අයිඑම්එෆ් එක එහිදී ලබා දීමට එකඟ වුණේ එස්ඩීආර් බිලියන 2.2ක්. එස්ඩීආර් කියන්නේ අයිඑම්එෆ් එකේ මුදල් ඒකකය. ඒ මුදල ඩොලර්වලින් ගත්තොත් බිලියන 2.9ක්. මේක ලබා දෙන්නේ මාස 48ක එක්ස්ටෙන්ඩන්ට් ෆන්ඩ් ෆැසිලිටි හෙවත් ඊඑෆ්එෆ් එකක් විදියට.

මේ ඊඑෆ්එෆ් එක අනුව කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමේදී එකඟ වුණ දේවල් ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙනවා. එහිදී දූෂණ මර්දනය, මූල්‍ය ස්ථාවරත්වය රැකගැනීම, සංවර්ධනයට තිබෙන බාධා ඉවත් කිරීම, සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය කියන කාරණා ගැන අයිඑම්එෆ් එක අවධානය යොමු කරන බව ඔවුන්ගේ නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකාව මෙම කාර්ය මණ්ඩල එකඟතාවයට පැමිණීම මේ වෙලාවේ වාසි සහගත වන්නේ ණය හිමියන් සමඟ හෙට්ටු කිරීමේදීත්, ආයෝජකයන් හොයා ගැනීමේදීත්. ජාත්‍යන්තර මූල්‍ය සමාජයට ලංකාව ගැන යම්කිසි සහතිකයක් එමගින් ලැබෙනවා. එහෙත්, පෙර සඳහන් කළ පරිදි ලංකාවට මේ කියන මුදල ලැබෙනවායැයි ස්ථීරව තහවුරු වෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබුණාමයි. ඒකට තව මාස කිහිපයක් ගත වෙන්න ඉඩ තියෙනවා.

අයිඑම්එෆ් එක ලංකාවට මුදල් ලබා දීමට නම් ණය දුන්න අය එක්ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟතාවලට එන්න ඕනෑ. තවම චීනය සමඟ එකඟතාවකට එන්න ශ්‍රී ලංකාව අසමත් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව ගෝලීය බල දේශපාලනය තුළ ඇමෙරිකා සහ ඉන්දියා බලයට සමීප වී සිටින නිසා චීනය යම්කිසි නොමනාපයකින් සිටින බවත් පැහැදිලියි. පසුගිය දවසක නිකුත් කළ චීන නිවේදනයක ඔවුන් සිහිපත් කර තිබුණා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේදී සහ වෙනත් තැන්වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේ චීනය බවත්, චීනය ශ්‍රී ලංකාවෙන්ද එවැනි සහයෝගයක් බලාපොරොත්තු වන බවත්.

අයිඑම්එෆ් නිවේදනයේ සඳහන් වන විදියට ශ්‍රී ලංකාව මේ වන විට උග්‍ර අර්බුදයකට මුහුණ දී සිටිනවා. බාහිරින් එන බලපෑම්වලින් ආරක්ෂා වෙන්න ලංකාවේ තිබෙන ආරක්ෂක උපක්‍රම ඒ අර්බුදයට මුහුණදෙන්න තරම් ප්‍රමාණවත් නෑ. ඒ වගේම ණය අස්ථාවරත්වය නිසා අවදානම වර්දනය වෙලා තියෙනවා. අපි ණය ගෙවීම අප්‍රේල් පැහැරහැරියාට පස්සේ ශ්‍රී ලංකාව ලෝකය ඉස්සරහා වගකීම් පැහැරහැරිය රටක් වෙලා. දැන් මෙරට විදේශ සංචිත අඩුයි. ඉන්ධන, ආහාර සහ ඖෂධ වගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට ඒක බාධාවක්. 2022 අවුරුද්දේදී ආර්ථිකය සීයට 8.7කින් ඇකිළෙනු ඇතැයි අනුමාන කරනවා. උද්ධමනය සීයට 60 ඉක්මවූවා.

හැබැයි මේ සියල්ලේ බර අසාධාරණ විදියට දුප්පත් සහ අවදානම් සහගත ජනකොටස්වල කර මත පැටවිලා තියෙන බව අයිඑම්එෆ් නිවේදනනේ කියනවා. ඇත්තටම, ඒක සෑහෙන වාමාංශික පන්නයේ ප්‍රකාශයක්.

මෙම තත්වයට එරෙහිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ස්ථානගත වෙනවා. ආර්ථිකය ස්ථාවර කිරීම, ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම සහ ආර්ථික ආපහු තිබුණ තත්වයට ගෙන ඒම සඳහා පසුබිම සකස් කිරීම අරමුණු කරන බව ඔවුන් කියනවා. හැබැයි මේ සංවර්ධනය තිරසර සහ (දුප්පත් පෝසත්) සියල්ලන් ඇතුළත් වන සංවර්ධනයක් වෙන්න ඕනෑ බවත් ඔවුන් කියනවා.

ඒ කියන්නෙ රනිල්ලායි, එයාලාගෙ යාළුවනුයි විතරක් ගොඩයන සංවර්ධනයකින් වැඩක් නෑ. ඔය පාරට බහින දුප්පත් මිනිස්සුන්ට සහන ලැබෙන සංවර්ධනයකුයි ඕනෑ.

ප්‍රධාන අංග කිහිපයක් අයිඑම්එෆ් වැඩසටහනට ඇතුළත් වෙනවා.

රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයට සහාය වීම සඳහා මූල්‍ය ආදායම ඉහළ නැංවීම. – ඒ කියන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට අවශ්‍ය විදියට දැවැන්ත බදු ප්‍රතිසංස්කරණ සිදු කරන එකත්, රජය විසින් සපයන සේවාවන්හි මිල වැඩි කරන එකත්. ඒ කියන්නේ දැනටමත් වැඩි කරලා තියෙන ලයිට් බිල සහ වතුර බිල කියන දෙකම රජයේ ආදායම වැඩි කරන, අයිඑම්එෆ් එකෙන් නිර්දේශ කරපු පියවර දෙකක්. ඒ බිල් වැඩි කරන්නට ගත්ත පියවර සාදරයෙන් අගය කරන බවත් අයිඑම්එෆ් නිවේදනයේ සඳහන් වුණා. බදු වැඩි කිරීම ගැන අවදානය යොමු කළොත් පුද්ගලික ආදායම් බදු, ආනයනවලට ගහන බදු සහ වැට් බදු වැඩි කළ යුතුයි. රනිල් මේ වන විටත් ඒ සඳහා ආරම්භය අරන් තියෙනවා. 2024 වෙද්දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට 2.3ක ප්‍රාථමික අතිරික්තයක් කරා ළඟා වෙන්න ඕනෑ.

දෙවැනි අංගය සාමාන්‍ය යෙන් අයිඑම්එෆ් එක නිර්දේශ කරන ජාතියේ අංගයක් නෙවෙයි. ඒ කින්නේ සෝෂල් සේෆ්ටි නෙට්වර්ක් කියන එක. ආණ්ඩුව රජයේ අයවැයෙන් සමාජයීය සුභසාධන වියදම් ඉහළ නංවලා, දුප්පත් සහ අවදානමට ලක් වූ වෙනත් කොටස්වලට සහන සපයන වැඩසටහන් කරන්න ඕනෑ බව තමයි ඒකේ තියෙන්නේ. ඒ කියන්නේ ලයිට් බිල වැඩි වුණාම ගෙවාගන්න අමාරු වෙන අයට සහන සැලසීම වගේ. ආර්ථික ප්‍රතිසංස්කරණවලින් පීඩා විඳින දුප්පත්ම අය ආරක්ෂා කරන වැඩසටහන් කරන්නැයි ඒ දෙවැනි අංගයෙන් යෝජනා කරනවා.

තුන්වැනි කාරණය තමයි (කබ්රාල්ලාගේ කයිවාරු මත නැතිව) දත්ත මත පදනම් වූ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනීම, රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම, සහ නමන්‍යශීලී විදියට උද්ධමනය සිදු කරන ස්වාධීන සහ ශක්තිමත් මහබැංකු ස්වාධිපත්‍යයක් ඔවුන් අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් විදියට ස්වාධීන සහ ශක්තිමත් මහ බැංකුවක් වෙනුවෙන් නව මහ බැංකු පනතක් යෝජනා කරලා තියෙනවා.

ඒ වගේම මාකට් එකට අනුව විනිමය අනුපාතිකය (ඩොලර් එකේ අගය) තීන්දු වෙන නමන්‍යශීලී විනිමය අනුපාතිකයක් යෝජනා කරලා තියෙනවා. ඒ ඔස්සේ ලංකාවේ විදේශ සංචිත ටික ආපහු වැඩි කරගන්න එක යෝජනා කරලා තියෙනවා.

ඩොලර් නැතිව කඩාවැටුණු බැංකු පද්ධතිය ප්‍රමාණවත් ලෙස ප්‍රාග්ධණීකරණයෙන් යුක්තිව ශක්තිමත් කිරීම යෝජනා කරලා තියෙනවා. අලුත් බැංකුකරණ පනතක් ගේන්න කියලාත් අයිඑම්එෆ් එක නිර්දේශ කරලා තියෙනවා. එමගින් මූල්‍ය අංශයේ ආරක්ෂිත දැල් සහ නියාමන ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම මගින් මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරන්න යෝජනා කරලා තියෙනවා.

ඊට අමතරව මූල්‍ය විනිවිදභාවය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම, ශක්තිමත් දූෂණ විරෝධී නෛතික රාමුවක් හඳුන්වාදීම ඔවුන් යෝජනා කරන වැඩපිළිවෙලේ ප්‍රධාන අංගයක්.

IMF තාක්ෂණික සහයෝගයත් අරගෙන රටේ ආර්ථිකයේ තියෙන ‘රෝග විනිශ්චය‘ ඉතාම ගැඹුරින් කරලා, ඒ තුළින් දූෂණ අවදානම් අවම කිරීමත් ඔවුන්ගේ යෝජනා අතර තිබෙනවා.