අයිඑම්එෆ් ගිවිසුම ගැන, හර්ෂ කී කතාව! ගිවිසුමේ තිබුණ විශේෂම ‍දේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර කාර්ය මණ්ඩල එකඟතා ගිවිසුම පිළිබඳ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා සමාජ මාධ්‍ය වෙතින් වීඩියෝවක් හරහා කියා තිබුණා.

මේ ඔහු කළ ප්‍රකාශය.

‘අපි සතුටු වෙනවා දැන් හරි රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග මේ එකඟතාවට පැමිණීම සම්බන්ධයෙන්. ඇත්තවශයෙන්ම මේ එකඟතාවය කියන්නේ ලංකාවේ අර්බුදයෙන් ගොඩ එන්න පළවැනි පියවර. මම 2020 පාර්ලිමේන්තුවට ආපු දවසේ රජයට කීවේ එදා අයිඑම්එෆ් එකට ගියා නම් අපට අයිඑම්එෆ් එකයි ලංකාවයි අතර පමණයි එකඟතාවක් අවශ්‍ය වුණේ.

නමුත් පස්සට යන්න ලංකාවේ ණය තිරසරභාවය නැති වෙන්න වෙන්න එය දෙපාර්ශ්වික එකඟතාවකින් එහාට ගිහින් තව පාර්ශ්ව රාශියක් එකතු කරගන්න සිද්ධ වුණා. ඒ කියන්නේ ණය හිමියන් සමග දැන් ශ්‍රී ලංකාව එකඟතාවකට ආවොත් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඔය අද එකඟ වෙච්ච මුදල් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට කවුරුහරි හිතුවොත්, හරි දැන් අද හැන්දෑව වෙනකොට අයිඑම්එෆ් චෙක් එකක් ලියයි කියලා, එහෙම වෙන්නේ නෑ.

ඊළඟ අදියර තමයි ද්විපාර්ශ්වික ණය හිමියන් සමග අපි සාකච්ඡා කරන්න ඕනෑ. මූලික වශයෙන්ම චීනය. ලංකාවේ රජයට සහ රාජ්‍ය ආයතනවලට දීලා තියෙන විදේශ ණයවලින් සීයට 20කට කිට්ටු වෙන ප්‍රමාණයක් චීනයට තමයි, මූලික වශනේ චයිනා එක්සිම් බැංකුව සහ චයිනා ඩිවලොප්මන්ට් බැංකුවට. වහාම චීනය සමඟ සාකච්ඡා කරන්න වෙනවා. ඊළඟට ඉන්දියාව සමඟ සාකච්ඡා කරන්න වෙනවා. ඊළඟට බහු පාර්ශ්වික ආයතන. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේ ඒවා එක්ක සාකච්ඡා කරන්න වෙනවා. ඊට සමගාමීව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ණය ලබා දීලා තියෙන ආයතන එක්ක සාකච්ඡා කරන්න වෙනවා. ඒ සඳහා තමයි ලසාඩ් කියන මූල්‍ය උපදේශන සමාගම සහ ක්ලිෆර්ඩ් චාල්ස් කියන නීති උපදේශන සමාගම අපි බඳවාගෙන ඉන්නේ.

යම්කිසි සාර්ථක මට්ටමකට ඒ සාකච්ඡා ගේන්න පුළුවන් වුණොත්. අපට අත්සන් කරන්න අවශ්‍ය නැහැ කොච්චර ණය කපාහරින්න ඒ කට්ටිය සුදානම්ද, කොච්චර කල් දාන්න ඒ කට්ටිය සූදානම්ද කියන එක. නමුත් සාර්ථකව ඒ සාකච්ඡා ඉදිරියට ගියෝතින්, එතකොට පුළුවන් අයිඑම්එෆ් එකට මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක, ඒ කියන්නේ මාණ්ඩලික එකඟතාව විධායක අධ්‍යක්ෂ මණ්ඩලයට අරගෙන යන්න. එතැනින් අනුමැතිය ලැබුණොත්, ලංකාවට ණය තිරසර කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා, එතකොට අයිඑම්එෆ් එක චෙක් එක ලියාවි.

අද ඉඳලා තමයි මේ වැඩේ අමාරු කොටස පටන් ගන්නේ.

ඔවුන් කියලා තියෙනවා ලෝකයේ අඩුම රාජ්‍ය ආදායමක් තියෙන රට ලංකාව බව. ඒක සීඝ්‍රයෙන් ඉහළ දාන්න ඕනෑ බව. එතකොට ආදායම මුල් කරගත් සංවර්ධනයක. එයාලා අංකයක් දීලා තියෙනවා. 2.3ක්. මොකක්ද මේ, 2024 ඉවර වෙනකොට සීයට 2.4ක් දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ප්‍රාථමික අයවැයක් ලබා ගන්න ඕනෑ බව.

ප්‍රාථමික අයවැයක් කියලා කියන්නේ ලැබෙන ආදායමෙන් සියලු එදිනෙදා වියදම් සහ ප්‍රාග්ධන වියදම් අයින් කරලා, ඊට පස්සේ ඒකෙන් පොළිය අයින් කළාම ලැබෙන වෙනස තමයි ප්‍රයිමටි ඩෙෆසිට් එකක් කියලා කියන්නේ. එතැනට යන්න නම් වියදම අඩු වෙන්න ඕනෑ. අනෙක් පැත්තෙන් බදු වැඩි වෙන්න ඕනෑ. කලින් ආණ්ඩුව නම් බලාපොරොත්තු වුණේ ප්‍රාථමික අයවැය 2024 වෙනකොට බිංදුවට ගේන්න. ඒත් මෙතැනින් පේන විදියට ඒගොල්ලන් එකඟ වෙලා තියෙන්නේ ඊට වඩා දැඩි ප්‍රතිසංස්කරණ කරන්න. ඒ කියන්නේ වැට් එක තව වැඩි කරන්න වෙයි. ඒක පැතිරිලා තියෙන ප්‍රමාණය වැඩි කරන්න වේවි.

හෙට වෙනකොට වැට් එක සීයට 15 වෙනකොට, හෙට වෙනකොට සෝෂල් සෙකියුරිටි ලෙවි (එස්එස්එල්) කියලා තව බද්දක් ගහනවා, ඒක ටර්න්ඕවර් ටැක්ස් එක් හැටියට සීයට දෙකහමාරක් වෙන්නේ. ඒත් වැට් එක විදියට ගත්තොත් සීයට හතරහමාරක් වගේ. එකතුව සීයට 19ක් වැට් එක විදියට සලකන්න පුළුවන්. හැබැයි ඒක ඊට වැඩි වෙන්න වේවි වගේ පේන්නේ.

ඊළඟට ඔවුන් කියන්නේ ආර්ථික ස්ථාවරත්වය අවශ්‍ය වෙනවා. කොහොමහරි උද්ධමනය අඩු කර ගන්න ඕනෑ. ඒකට සල්ලි අච්චු ගහන එක නවත්වන්න වෙනවා. අතුරු අයවැයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියලා තිබුණා කෙටිකාලීනව ඒක කරගන්න අමාරු වෙයි කියලා. ඒත් මේ අත්සන් කරලා තියෙන ගිවිසුමෙන් ඒකට ඉඩක් නැති පාරයි.

ඊළඟට එක්ස්චේන්ජ් රේට් එක (විනිමය අනුපාතිකය) පැත්තෙන් කියන්නේ මාකට් ඉකොනොමි එක්ස්චේන්ජ් රේට් එකට එන්න අවශ්‍යයි. කොහොම නමුත්, අපේ විදේශ සංචිත ගොඩනංවන්න අවශ්‍ය වෙනවා කියලා.

හැබැයි මේකේ ඉතාම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි දූෂණය සම්බන්ධයෙන්. මීට කලින් අයිඑම්එෆ් එක දූෂණය සම්බන්ධයෙන් රජය එක්ක කොන්දේසියකට ඇවිල්ලා තිබුණේ නැහැ. නමුත් මේ පාර කියනවා අලුත් නීති ගේන්න වෙයි, තියෙන නීති වෙනස් කරන්න වෙයි. දූෂණය නිසා, මේකෙන් අර්ථකතනය වෙන්නේ අධික දූෂණය නිසා තමයි ලංකාව මේ තත්වයට පත් වෙලා තියෙන්නේ කියලා. දූෂණය, වංචාව, හොරකමට විරුද්ධව අලුත් නීතිරීති අවශ්‍ය වෙන බව තමයි අද අත්සන් කරලා තියෙන එකඟතාවෙන් පේන්නේ.

දූෂණය නැවැත්වීම සඳහා දැඩි නීතිරීති ගේන්න වෙනවා. ඒකට එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා යෝජනා කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. මම ඔහු එක්ක සීයට සීයක් එකඟ වෙනවා. එකක් තමයි ස්වාධීන නඩු දමන ආයතනයක් ඕනෑ බව. වැඩේ තියෙන්නේ සමහර නඩු විතරයි දාන්නේ. සමහර වෙලාවට දාපු නඩු අයින් කරගන්නවා. දේශපාලන හස්තය ක්‍රියාත්මක වෙන්නේ මෙතැන. අපට පුළුවන් නම් දේශපාලනයෙන් තොර නඩු දැමීමේ ක්‍රියාවලියක් ස්ථාපනය කරන්න, මං හිතන්නේ ඒක ඉතාමත් හොඳ ධනාත්මක ප්‍රතිසංස්කරණයක් හැටියට කවුරුත් පිළිගන්නවා.

මේ සියලු කාරණා එක්ක තමයි අද මේ එකඟතාවට ඇවිල්ලා තියෙන්නේ. අපි සතුටු වෙනවා. රජයට නෙවෙයි, ජනතාව වෙනුවෙන් තමයි අපි කතා කරන්නේ. මේක මීට ගොඩක් කලින් තමයි කරන්න වෙන්නේ. අපේ රට දැන් බංකොළොත් වෙලා. මෙතැනින් එළියට ගන්න නම් සෑහෙන අමාරු ප්‍රතිසංස්කරණ කරන්න වේවි.

මං දන්නේ නෑ මෙච්චරකල් මේ ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වූ කණ්ඩායම් මේ ප්‍රතිසංස්කරණ කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට උදව් කරයිද කියලා. නමුත් අපට හැකි උපරිම දායකත්වය විපක්ෂයක් හැටියට අපි අවශ්‍ය කාරණාවලට ලබා දෙනවා. මූලික වශයෙන් මම රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති හැටියට උත්සාහයක් ගන්නවා පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එක තැනකට ගෙනියලා ඔවුන්ට මේ අවශ්‍යතාව සම්බන්ධයෙන් සවිස්තරාත්මකව සඳහන් කරලා, කරුණු පැහැදිලි කරලා, උපදේශකවරුන් සහ ස්වාධීන ආර්ථික විශේෂඥයන් ගෙනල්ලා ඇයි අපි මේක කළ යුත්තේ කියන එක වටහලා දීලා පාර්ලිමේන්තුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන්න.

අපි එක දෙයක් සම්බන්ධයෙන් දැඩිව පෙනී සිටිනවා. ඒ තමයි පීඩිත ජනකොටස් වෙනුවෙන් සමාජ ආරක්ෂණ දැළ මීට වඩා ශක්තිමත් කරන්න ඕනෑ. අපේ රටේ ජනතාවගෙන් සීයට 50ක් පමණ දරිද්‍රතාවට වැටිලා ඉන්නවා. ඔවුන්ව රැකගන්න වගකීමක් තියෙනවා.‘