28 දෙනාටම ඇප ලැබේ, සාලියලා, සුමන්තිරන්ලා උසාවිය දෙවනත් කරමින් කී කතාව

අගෝස්තු 30 වැනිදා පැවැත්වූ සාමකාමී විරෝධයකට පහර දී අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 28 දෙනෙකු අගෝස්තු 31 වැනිදා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මොහොතේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥයන් පැමිණ ඉතා තද අදහස් දැක්වීම් කර තිබුණා.

එහිදී ඔවුන් මෙරට විරෝධතා පැවැත්වීමේ අයිතිය පිළිබඳ තදින් අවධාරණය කළා. අවසානයේදී අධිකරණයට ඉදිරිපත් කළ 28 දෙනාටම ඇප ලැබුණා.

නීතිඥ එම්.ඒ. සුමන්තිරන් නඩුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කියා තිබුණා.

‘රජයට එරෙහිව උද්ඝෝෂනය කළා කියලා 28 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කළා. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මා ඇතුළු අපි පෙනී සිටියා. අපි පෙන්වාදුන්නා උද්ඝෝෂණ කරන්න හැම පුරවැසියාටම අයිතියක් තියෙනවා. අයිතිය පමණක් නෙවෙයි, වගකීමක් තියෙනවා. රජය වරදක් කරනවා නම් රජය නිවැරදි කරන්නට. මේක අපේ ශේ‍ර්ෂ්ඨාධිකරණයේදී අවුරුදු තිහකට වැඩි කාලයක් මේකමයි නීතිය කියලා පැහැදිලිව කියලාත් තියෙනවාත. ජනඝෝෂා නඩුව හැමෝම දන්නවා. 1992 දී මහින්ද රාජපක්ෂ මහතා තමයි ජනඝෝෂාවට නායකත්වය දුන්නේ. ඒ නඩුවේදී ශේ‍ර්ෂ්ඨාධිකරණය කිව්වා පොලිස්පතිවරයා දැනුම් දෙන්න ඕනෑ බව රජයට එරෙහිව කරන උද්ඝෝෂණ නීතිවිරෝධී නෑ, ඒකට පොලීසිය ආරක්ෂාව දෙන්න ඕනෑ බව. 1993 දීම ඒක කියලා තිබුණා. ඊට පස්සේ අවුරුදු 10කට පස්සේ නඩු තීන්දුවක කීවා පොලීසිය ඉඩ දෙන්න ඕනෑ පමණක් නෙවෙයි, ධෛර්යමත් කරන්න ඕනෑ බව. ඒ නිසා රජයට එරෙහිව උද්ඝෝෂණ කළා කියලා කවුරුත් අත්අඩංගුවට ගන්න බෑ. 

ඒ නිසා අපි කීවේ අද පොලීසිය ඉදිරිපත් කරපු අය කිසි අපරාධයක් සිදු කරපු බව සඳහන් වෙලා නෑ, මේ සැකකරුවන්ව නිදහස් කරන්න කියලා. නැත්නම් පොලීසියට තව අවශ්‍ය බව කියනවා නම් ඇප මගින් මුදාහරින්න කියලා. 

අපි ඡායාරූප පෙන්නුවා උද්ඝෝෂකයන් පාර අයිනේ වාඩිවෙලා ඉන්නවා. පාර අවහිර කළේ පොලීසිය. ඒක පැහැදිලිව තියෙනවා. 

විනිසුරුතුමිය සියලුදෙනාම පුද්ගලික ඇප මත මුදා හැරියා. නොවැම්බර් 23 නඩුව නැවත කැඳවනවා.’