රනිල්ට පරපීඩාකාමී ලෙඩක්ද? සාමකාමී විරෝධයට පහරදීමේ නොකී කතාව!

අගෝස්තු 30 වැනිදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෘත්තිය සමිති, බහුජන සංවිධාන, කලාකරුවන් සහ අනෙකුත් සිවිල් ක්‍රියාකාරිකයන් ඒකාබද්ධව සංවිධානය කරපු පාගමනකට පොලීසිය පහරදුන්නා. මේ සටහන ලියන මොහොත වන විට 27 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.

පහරදුන්නා කියන්නේ මේක ඉතාම පරපීඩාකාමී, දුෂ්ඨ, අමානුෂික පහරදීමක්. පිරිමින්ගේ මෙන්ම කාන්තාවන්ගේත් ඇඳුම් පොලිස් නිලධාරීන් ඉරා දැමුවා. ඉතාම තදබල ග්‍රහණයෙන් පුද්ගලයන් සිර කළා. දරාගැනීමට අසීරු, දරුණු කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා වියපත් පුද්ගලයන් පවා කමිස කොළරයෙන් අල්ලාගෙන යන හැටි වීඩියෝවල සටහන් වුණා.

පහරදීම සඳහා කිසිම පදනමක් නැති බව පේන්න තිබුණා. කොහෙටවත් කලහකාරී ලෙස කඩා වදින්න උත්සාහ කළේ නෑ. එහෙම සේයාවක්වත් තිබුණේ නෑ.

ඔබ අහලා ඇති සේඩිසම් හෙවත් පරපීඩාකාමය ගැන. ඒක ලිංගිකමය පැත්තට බර වූ විකෘති ආශාවක්. ඒ කියන්නේ අනෙකාට වධහිංසා කිරීමෙන් විනෝදය ලැබීමේ විකෘති මානසික තත්වයක්. බැලූ බැල්මට රනිල් වික්‍රමසිංහට මහජනතාව වෙත හිංසනය පතුරුවා විනෝදය ලැබීමේ විකෘති මානසික තත්වයක් තිබෙනවාදැයි අපට සැක හිතෙනවා. මොකද, අද ගැහුවේ එක් වතාවත් පොලීසිය මඟහැරලා ගියපු, දෙවැනි වතාවේ පොලීසිය පාර වැහුවාම පොලීසිය එක්ක ගැටුමට නොගිහින් බිම ඉඳගෙන හිටපු සාමකාමී විරෝධතාකරුවන්ට. පොලීසිය ඉන්න තැනට විරෝධතාකරුවන් නොගිය හින්දා, ළඟට ඇවිදන් ඇවිත්, වතුර බවුසරයත් අරගෙන ඇවිල්ලයි ගැහුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට මහජන සහයෝගය නැහැ. ඔහු බලයට පත් වුණේ මහජන ඡන්දයෙන් නෙවෙයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් 2020 මහමැතිවරණයට ඉදිරිපත් වූ ඔහුට ඉතාම සුළු මනාප ප්‍රමාණයක් ලැබිලා, ඔහු ඒ මහජන ඡන්දයෙන් පරාජයට පත් වුණා. වසර ගණනක් තිස්සේ ආණ්ඩු හැදූ බලවත් පක්ෂයක් වුණත්, ඔහුගේ පක්ෂයට 2020 දී ලැබුණේ එක බෝනස් මන්ත්‍රීධුරයක් විතරයි. 2020 මහමැතිවරණයෙන් අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ පක්ෂයට ලැබුණ ඒ බෝනස් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් තමයි රනිල් පාර්ලිමේන්තු ආවේ. ඉන්පසු ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් වූ මොහොතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 134 දෙනෙකුගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ අතුරු නිලවරණයකින් තමයි ඔහු ජනාධිපති වුණේ. ඒ නිසා මහජන වරමක් නැති ඔහු, වැඩිපුරම බය මහජනතාවට.

එතැනින් එහාට ජුලි 9 වැනිදා තමන්ගේ ගෙදර ගිනිතැබුවායැයි සාමාන්‍ය ජනතාව ගැන වෛරයකුත් ඔහුට තිබෙන බව පෙනෙනවා.

ඒ නිසා ඔහු මහජනතාවට බයයි. මහජනතාවට වෛර කරනවා. මහජනතාවට පහරදීම ඔහුගේ විකෘති ආශාවක්. අද මහජන බදු මුදලින් වැටුප් ලබන පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා ඔහු ඉටු කරගන්නේ ඒ විකෘති ආශාව. එක පුද්ගලයෙකුගේ විකෘති ආශාවක් සන්තර්පණය කරගැනීමට නාස්ති කරන මහජන දේපළ ප්‍රමාණය ගැන මේ සටහනේ ඉදිරි කොටසක කතා කරමු.

අගෝස්තු 30 වැනිදා පැවති විරෝධතාව ඉතා පැහැදිලිවම පා ගමනක් සහ ඊට පස්සේ පවත්වන රැළියකින් සමන්විත බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනය කරල තිබුණා. ඒ කියන්නේ එයාලා දාන ෆේස්බුක් පෝස්ට්වල ඒ බව තිබුණා. මේ විරෝධතාව දින ගණනක් තිස්සේ ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කර තිබුණා.

මේ පාගමන මුලින් කොළඹ ටෙක්නිකල් හන්දිය කියන ප්‍රධාන හන්දිය හරහා කොළඹ කොටුව දුම්රිය ස්ථානය දෙසට මුහුණලා තිබුණත්, ටෙක්නිකල් හන්දියේ පාර වහලා පොලිස් නිලධාරීන් හිටියා. ඇත්තටම පාර වැහුවේ පොලීසිය. විරෝධතාකරුවන් වාහනවලට යන්න ඉඩ දුන්නා.

පොලීසිය හිටපු නිසා විරෝධතාකරුවන් එතැනින් අනෙක් පැත්තට හැරිලා ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරන්න පටන් ගත්තා. කොළඹ ටවුන්හෝල් එක දෙසට තමයි ඔවුන් ගමන් කළේ. ටවුන්හෝල් සහ ලිප්ටන් වරටවුම දශක ගාණක් තිස්සේ ශ්‍රී ලංකාවේ සාමකාමී විරෝධතාකරුවන් රැස්ව, රජයට විරෝධය දක්වන ස්ථානයක්.

එලෙස ගමන් කරද්දී ටවුන්හෝල් පැත්තෙන් විරෝධතාකරුවන් එන පාර පොලීසිය වැහුවා. ඉන්පසු පාර හරස් කර ජල විදින බවුසර්, බැටන් පොලු සහ කඳුළු ගෑස් සහිත පොලිස් නිලධාරීන් හිටියා. මේ පොලිස් නිලධාරීන්ව දුර තියා දුටු විරෝධතාකරුවන් පොලීසිය සමග ගැටුමට නොගොස් නැවතුණා. බොහෝ අය බිම සාමකාමීව ඉඳගත්තා.

එයින් පස්සේ පොලිස් නිලධාරීන් කළේ විරෝධතාකරුවන් ළඟට ඇවිත්, විරෝධතාකරුවන්ට පහරදීම.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ ‘ව්‍යවස්ථා දුෂ්ඨයෙක්‘.

මීට කලින් එක්දාස් නවසිය අසූ ගණන්වල අග තරුණ අමාත්‍යවරයෙක් විදියට තමන්ගේ මාමාගේ ආණ්ඩු සමයේදී ආණ්ඩු විරෝධීන්ව ඝාතනය කිරීම ගැන චෝදනා ජනාධිපති රනිල් වික්‍රමසිංහට තිබෙනවා. එම චෝදනා 1995 දී මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත කොමිෂන් සභාවකින් විමර්ශනය කළා. බටලන්ද කොමිසම ලෙස එය ප්‍රකටයි.

එහිදී රනිල් වික්‍රමසිංහ තමන්ගේ කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ‘බටලන්ද නිවාස සංකීර්ණය‘ කියන නිවාස සංකීර්ණයට ආණ්ඩු විරෝධීන්ව පැහැරගෙන ගෙනල්ලා වධහිංසා කර ඇතැම් අයව ඝාතනය සහ අතුරුදන් කරවීම ගැන චෝදනා ලබනවා. තමන්ගේ රාජකාරී නිල නිවාසයත්, බංගලාවත්, තමන්ගේම නිලධාරීන්ගේ නිවාසත් මේ වධහිංසා සිදුකරනු ලැබූ කලාපයේ තිබුණා.

එහිදී තමන්ගේ අමාත්‍යාංශයට අයිති, ඒ නිවාස සංකීර්ණයේ අනෙකුත් ගෙවල් පොලිස් නිලධාරීන්ගේ නම්වලට නීතිවිරෝධීව වෙන් කරවලා, පුද්ගලයන්ට වධහිංසා කරවපු බව කොමිසමේදී හෙළි වුණා. නිවාස වෙන් කිරීම සහ වධහිංසා කිරීම ගැන නීතිමය පසුබිම විස්තර කරන්න රනිල් වික්‍රමසිංහ එදා අසමත් වුණා.

එහෙත් එදා හිටපු ‘ආධුනික‘ රනිල් නෙවෙයි දැන් ඉන්නේ. එදා රනිල්ගේ මූලිකත්වයෙන් බටලන්ද නිවාස සංකීර්ණයේ වරින් වර පවත්වපු රැස්වීමවලදී එහෙම කතා කරපු දෙයක්වත් කවුරුත් දන්නේ නෑ. ගෙවල් දුන්න විදිය නීතිවිරෝධීයි. රටේ හරි නීතියක් තිබුණනං රනිල් දරුණු හිංසාකරුවෙක් විදියට අද වෙනතුරු හිරේ.

ඒත්, අද රනිල් පොලිසිය ලවා ගස්සවන්නේ දණ්ඩ නීති සංග්‍රහය කියන ශ්‍රී ලංකාවේ ආඥා පනතක තිබෙන වගන්ති කියවලා.

මෙහෙමයි, අද ගහපු එකත් මේ රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තරව පිළිගත් විශ්ව මානව හිමිකම් පිළිබඳ මූලධර්මවලට විරුද්ධයි තමා. ගහපු එක නීතිවිරෝධීයි. ඒ ගැන පසුව පැහැදිලි කරමු. ඒත්, ඔවුන් විරෝධය පටන්ගනිද්දීම මිනිස්සුන්ට ගහපු එක නිත්‍යානුකූලයි කියල පෙන්වන්න දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කියෙව්වා.

එයින් පසු, මේ විරෝධය නීතිවිරෝධී රැස්වීමක් බව අර්ථකතනය කරමින් පහරදුන්නා.

‘අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතේ 95(1) වගන්තිය යටතේ සිදුකරනු ලබන අණකිරීමයි. මෙම පෙළපාලිය පටන්ගන්නා ස්ථානයට ඉතාමත්ම නුදුරු පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමාට යටත් පිරිසෙයින් පැය හයකට කලින් දැනුම්දීමක් නොකර පොලිස් ආඥාපතේ 78 (2) වගන්තිය යටතේ කරනු ලබන වරදක් හෝ වෙනත් වරදි සිදුකිරීම තුළින් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වූ තැනැත්තන් පස් දෙනෙකුගෙන් හෝ ඊට වැඩි දෙනෙකුගෙන් යුක්ත රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරන සියලුදෙනාට වහ්හාම විසිර යන ලෙස…‘ කියලා ප්‍රකාශය කියවූ නිලධාරියා කීවා.

‘අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතේ 95 (1) යටතේ මා වෙත ලබා දෙන ලද…‘ බලතල අනුව රැස්වීම ‘නීතිවිරෝධී රැස්වීමක්…‘ විදියට අර්ථකතනය කරලා විසුරුවාහරින බව කීවා.

අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 95 (1) සහ 95(2) වගන්ති මෙහෙමයි.

‘යම් නීතිවිරෝධී රැස්වීමකට හෝ මහජන සාමයට බාධාවක් විය හැකි තැනැත්තන් පස් දෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් යුක්ත වූ යම් රැස්වීමකට හෝ විසිර යන ලෙස යම් මහේස්ත්‍රාත්වරයෙකුගේ හෝ පොලිස් පරීක්ෂකවරයෙකුගේ පදවියට නොඅඩු පදවියක් දරන යම් පොලිස් නිලධාරියෙකු විසින් අණ කරනු ලැබිය හැකි අතර, එවිට ඒ අනුව විසිර යාම ඒ රැස්වීමේ සාමාජිකයන්ගේ කාර්යය විය යුතුය.

එසේ අණ කරනු ලැබූ විට, එවැනි යම් රැස්වීමක් විසිර නොගියහොත් හෝ එසේ අණ නොකර තිබියදී, විසිර නොයාමේ අධිෂ්ඨානයෙන් පෙනෙන ආකාරයෙන් ඒ රැස්වීමේ කටයුතු කළහොත් රැස්වීම විසුරුවා හැරීමට සාධාරණ ලෙස අවශ්‍ය යම් බලයක් පාවිච්චි කිරීමෙන් ඒ රැස්වීම විසුරුවා හැරීම පිණිස හෝ නීතිය අනුව ඔවුන්ට දඬුවම් කළ හැකිවීම පිණිස, අවශ්‍ය නම්, සිර භාරයට ගැනීමේ සහ සිර අඩස්සියේ තැබීමේ කාර්යය සඳහා (ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් රටක හෝ යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ හෝ ගුවන් හමුදාවේ සාමාජිකයෙකුව, ඒ සාමාජිකයා වශයෙන් වශයෙන් ක්‍රියා කරන තැනැත්තෙකු නොවන) යම් තැනැත්තෙකුගේ සහාය ඉල්ලා සිටිනු ලැබිය හැකිය….‘

ඒ අනුව බැලූ බැල්මට ‘නීතිවිරෝධී රැස්වීමක්‘ නම් විසුරුවන්න ඔය පනතෙන් බලය ලැබෙනවා. හැබැයි මේක නීතිවිරෝධී රැස්වීමක් වෙන්නේ කොහොමද? පැය හයකට කලින් කීවේ නැති නිසාද? ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි නොකළ නිසාද?

ඇත්තටම ඔය ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි නොකිරීමට අදාල දඩය පවා ඉතාම පුංචි දඩ මුදලක්. අන්තිමට චෙක් කරද්දී රුපියල් දෙසීයක්ද කොහෙදෝ, ඒ කියන්නේ ඩොලර් එකකට අඩුයි.

අනෙක මේ විදියට ගියොත් අනාතයේදී මේ රටේ යාළුවන් දහපහළොස් දෙනෙකුගේ කණ්ඩායමක් යම් තැනකට ගිහින් හිටියත් පොලීසියට පැය හයකට කලින් කීවේ නෑ කියා පහරදේවි. පොලීසියට ඒ අය එක්ක පුද්ගලික තරහක් තියෙනවා නම් පහරදේවි. මොකද, නීතිවිරෝධී රැස්වීම කියන්නේ පුද්ගලයන් පහකට නොඅඩු පිරිසක්.

මේ වගේ පුංචි වගන්තියක් කඩ කළා කියමු. ඒක කඩ කළා කියලා, මහජන බදු මුදලින් මහා පොලිස් සේනාවක් රැස් කරලා පහරදෙන එක නීතිවිරෝධීයි. අනෙක් පැත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙන්ම විශ්ව මානව හිමිකම් මූලධර්මවලින් ලැබිච්ච සාමකාමීව රැස්ව විරෝධතා දැක්වීමේ අයිතිය කඩකිරීම අමානුෂිකයි.

මීට කලිනුත් උද්ඝෝෂනවලට පහරදීමෙන් පසු විවිධාකාර නීති ගෙනාවා. එකක් තමයි ජාතික මංමාවත් පනත. ඒකේ තියෙන පාරක් නීතිවිරෝධීව අවහිර කිරීමට අදාල නීති සහ දණ්ඩ නීති සංග්‍රහයේ 138 වගන්තිය ගෙනාවා.

ඊට කලින් අගෝස්තු 18 වැනිදා ශිෂ්‍යයන් කරපු උද්ඝෝෂණයකට පහරදීලා, උද්ඝෝෂකයන් පිරිසක් උසාවි දැම්ම වෙලාවේත් තර්ක කළා මේ අය ආයෙත් ජනාධිපති මන්දියට ඇතුළුවෙන්න යන බව බුද්ධි වාර්තා තිබුණු බවක්. ඒත්, ඒ වෙලාවේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු අය පෙන්වා දුන්නා එහෙනම් බොරැල්ලටම පන්නාගෙන ගිහින්, ජනාධිපති මන්දිරයෙන් බොහෝ දුර තැනකදී පුද්ගලයන් අතඅඩංගුවට ගත් බව. ඒ අනුව පොලීසිය කියූ හේතුව නීතිවිරෝධී බව.

කෙසේ වෙතත් මේ අනීතික පහරදීම, අත්අඩංගුවට ගැනීම පසුපස තිබෙන අනෙක් බරපතල ප්‍රශ්නය තමයි නාස්තිය, දූෂණය, අවභාවිතය. මේ පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළ හැකියි. කළ යුතුයි. මෙය බරපතල ගණයේ දේපළ අවභාවිත කිරීමක්.

පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදෙන පැයක් ගණනේ වැටුප් ගෙවන්නේ මහජනතාව. මේ වෙද්දී ශ්‍රී ලංකාවේ සිදුවන ඝාතන සහ වෙඩිතැබීම් පන්නයේ අපරාධ මැඬලීම, වැඩි වී තිබෙන සොරකම් වැළැක්වීම මෙන්ම ඉතිහාසයේ සිදු වූ දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීම පොලීසියෙන් බලාපොරොත්තු වෙනවා. එහෙත් සාමකාමී විරෝධයකට පහරදීම සඳහා පොලීසිය දරුණු ලෙස නිලධාරීන් යොදාගන්නවා. වැල්ලවත්ත, කොටුව, කුරුඳුවත්ත, මරදාන ඇතුළු පොලිස් ස්ථාන ගණනාවක ජීප් රථ සහ පොලිස් බස් රථ මේ උද්ඝෝෂන මර්දනය සඳහා පාවිච්චි කරනවා. ඉන්ධන හිඟයක් තිබෙන සමයක ඉන්ධන පුළුස්සා දමනවා. මහජන බදු මුදලිනුයි කඳුළු ගෑස් පවා මිලට ගන්නේ.

එතැනින් එහාට විශාල මුදල් ගෙවා නඩත්තු කරන මහේස්ත්‍රාත් අධිකරණවලට අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරිපත් කරනවා.

මෙය මහා පරිමාණ නාස්තියක්.

එතැනින් එහාට මෙරට මානව හිමිකම් කඩකිරීම් නිසා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහයෝගය අහිමි විය හැකියි. ආයෝජකයන් ඉදිරියේ මෙන්ම ලංකාවට පැමිණෙන සංචාරකයන් ඉදිරියේ ශ්‍රී ලංකාවට කළු පැල්ලම් එකතු විය හැකියි.