අයවැයේදී රනිල් හාල් පොත් ක්‍රමයක් හඳුන්වාදෙන්න ලෑස්තියි! ඓතිහාසික සරදමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අඟහරුවාදා ඉදිරිපත් කිරීමට නියමිත 2022 අතුරු අයවැය ලේඛනයේ දිළිඳු ජනතාවට සහල්, තිරිඟු පිටි සහ පරිප්පු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආවරණය වන පරිදි සහ පෝෂණ ආධාර ශක්තිමත් කිරීම සඳහා ආහාර සලාක ක්‍රමයක් ඇතුළත් කිරීමට සැලසුම් කරලා තියෙනවාලු.

1970-77 ආණ්ඩු සමයේ ‘හාල් පොත්‘ ආදී වශයෙන් හැඳින්වුවේත් මෙවැනි සලාක ක්‍රමයක්. හැත්තෑ ගණන්වල අග රනිල්ගේ මාමා ජේආර් ජයවර්ධන බලයට පත් වුණේ හාල් පොත් අවසන් කරන බව පොරොන්දු වෙමින්. ඒ සඳහා ඔහු විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දුන්නා. ඒත් එක්කම හොරකම, වංචාව මෙන්ම රාජ්‍ය ත්‍රස්තවාදයත් ජේආර් ජයවර්ධන යුගයේ ශක්තිමත් වුණා. පාදඩයන් ආණ්ඩු බලය ගත්තා. නීතිය අසමාන වුණා. රට ක්‍රමයෙන් මේ තත්වයට ඇද වැටුණා. ණය කඳු ගොඩගැහුණා.

දැන් බෑණාට සිද්ධවෙලා ආයෙත් හාල්පොත් හඳුන්වා දෙන්න. ඒ නිසයි මේක ඓතිහාසික සරදමක් වෙන්නේ.

වත්මන් ආර්ථික අර්බුදයෙන් සහ ආහාර, ඉන්ධන සහ බලශක්ති හිඟය හේතුවෙන් ඇතිවී තිබෙන සමාජ අස්ථාවරභාවයෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම අතුරු අයවැය තීරණාත්මකයි.

කෙසේ වෙතත් මෙවර සලාක ක්‍රමය සහ සහනාධාර ක්‍රම එන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් නිර්දේශවලටත් යටත්ව. රනිල් වික්‍රමසිංහලා ඇති කරන ආර්ථික ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් වෙන ජනතාවට පුංචි පුංචි සහන ලබාදීමයි මෙවැනි යෝජනාවල අරමුණ.

ඒ අනුව තවත් පියවර විදියට හෙක්ටයාර දෙකකට අඩු ඉඩම් ඇති ගොවීන්ගේ කෘෂිකාර්මික ණය කපා හරින බවත්, රජය සතු නාගරික නිවාසවල කුලියට ඉන්න අයට, ඒ කුලී පදනම මත නිවාස අයිතිය ලබා දෙන බවත් යෝජනා අතර තියෙනවා. දුප්පත්ම ජනතාවට සහනාධාර ක්‍රම, ගොවීන්ට සහ ධීවරයන් සඳහා සමාජ ආරක්ෂණ ජාලයක් ඇතුළු සහන වැඩසටහන් මේ අයවැයේදී සමාජගත කරනු ඇති.

අතුරු අයවැය 2022 සැප්තැම්බර් මාසයේ සිට ඉදිරි මාස 4 සඳහා ආදායම් සහ වියදම් කෙරෙහි අවධානය යොමු කරනවා. එහි ප්‍රධාන අරමුණ වෙන්නේ අයිඑම්එෆ් එකත් එක්ක ඇවිත් තියෙන එකඟතා මත රාජ්‍ය වියදම අඩු කරගෙන රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම. වතුර බිල් සහ විදුලි බිල් වැඩිකිරීමේ සිට පොදු සේවාවන් පෞද්ගලික අංශයට විකුණා මුදල් ඉපයීම දක්වා බොහෝ යෝජනා එයට ඇතුළත් වේවි. අයවැයේ තිබුණත් නැතත් රාජ්‍ය සේවය කප්පාදු කිරීමත්, තව බොහෝ දරුණු ප්‍රතිසංස්කරණ සිදු කිරීමත් ඉදිරි සැලසුම් අතර තිබෙනවා.

එම තත්වය වගේම, ශ්‍රී ලංකාවට අයිඑම්එෆ් එකේ සල්ලි ලැබෙනතුරු අතරමැදි මූල්‍ය අවශ්‍යතා සඳහා මුදල් නැති තත්වයත් එක්ක මිනිසුන්ට විශාල අසීරු කාලයක් ගත කරන්න සිදු වේවි. උඩ සඳහන් සහන යෝජනා සියල්ල මිනිස්සු මුහුණදෙන අසීරු කාලයට මුහුණදෙන්නට කිසිසේත්ම ප්‍රමාණවත් නොවනු ඇති.