ඩයස්පෝරා හමුවෙන් පසු, දෙමළ ගැටලු සොයා බලන්න විජයදාසගෙන් කමිටුවක්!

පිටරටවල ඉන්න ශ්‍රී ලාංකික දෙමළ ජනතාව විසින් නිතර මතු කරන ‘ඩයස්පෝරාවේ ප්‍රශ්න‘ විදියට හඳුන්වන ප්‍රශ්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කරලා.

එම පත්කිරීම සිදුකර ඇත්තේ දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් සමග දූරකථන මාර්ගයෙන් පැවැත්වූ සාකච්ඡා වටයකින් පස්සේ.

කැනඩාව පදනම් කරගත් ඩයස්පෝරා සංවිධානයක් වන යුක්තිය සහ සමානාත්මතාවය සඳහා කැනේඩියානුවන් සහ ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය ඇතුළු තවත් රටවල් හතරක ඩයස්පෝරා නියෝජිතයන් සමග අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවැත්වූ දීර්ඝ දූරකථන සංවාදවලින් පස්සේ මේ තීන්දුව ගත්තාලු.

ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කළ ඉල්ලීම් වී තිබෙන්නේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, හමුදාව යටතේ තිබෙන ඉඩම් නිදහස් කිරීම සහ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට සිදුවෙන නොයෙකුත් හිරිහැර නතර කිරීමලු. මේවා මෙරට දෙමළ ජනතාවගේත් ඉල්ලීම්.

සන්ඩේ ටයිම්ස් පත්තරය වෙත අදහස් දක්වමින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ කියා තිබුණේ විදෙස්ගත ලාංකික දෙමළ නියෝජිතයන්ගේ අදහස්වලට තමන් සාවදානව ඇහුම්කන් දුන් බවත්, එයින් පසු කමිටුව පත් කළ බවත්.

‘මේ ප්‍රශ්න ඊළඟට පරම්පරාවට ඉතිරි නොකළ යුතු‘ බව රාජපක්ෂ මහතා කියා තිබුණා.