රනිල්ගේ විකෘති ඉල්ලීමකට, සජිත් බැහැ කියලා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් විපක්ෂ නායකකමේ ඉඳන් ආණ්ඩුවට සහයෝගය දෙන අතරේ සජිත්ගේ ආශිර්වාදය ඇතිව කිහිපදෙනෙක්ට ඇමතිකම් දෙන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කළ යෝජනාවක් විපක්ෂ නායකවරයා ප්‍රතික්ෂේප කළාලු.

මේ බව ඉරිදා පුවත්පත්වල දේශපාලන තිරය පිටුපස තීරයන්හි වාර්තා කරලා තියෙනවා.

සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට එකතු නොවෙන බව අභ්‍යන්තර සාකච්ඡාවලදී වගේම ප්‍රසිද්ධියේත් කියා තියෙනවා. ආණ්ඩවේ මර්දනයට එරෙහිව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, කලාකරුවන් සහ වෘත්තිය සමිති එක් වූ ‘මර්දනයට එරෙහි ජන පෙළගැස්ම‘ වැඩසටහනට එකතු වූ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා කීවේ පොදුජන අරගලය මර්දනය කරන්නේ නම් ආණ්ඩුවට සම්බන්ධ නොවන බව. එමෙන්ම මර්දනය පරාජය කරන්නට එකතු විය යුතු බවත් ඔහු එහදී කියා තිබුණා.

පසුගිය සතියේ සජිත් ප්‍රේමදාස සහ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහභාගී වූ රැස්වීමකදී තමයි රනිල් වික්‍රමසිංහ මේ ඉල්ලීම කරලා තියෙන්නේ. එහෙම ඉල්ලලා තියෙන්නේ සජිත් ආණ්ඩුවට එන්න අකමැති වුණ නිසයි.

යම් පක්ෂයක් ඇමතිකම් ලබාගෙන ආණ්ඩුවකට සහයෝගය දැක්වුවොත් ඒ පාර්ශ්වය ආණ්ඩුව බවට පත් වෙනවා. ඒ  අතරේ විපක්ෂය ලෙස කටයුතු කරන්නත් බැහැ. ඒ වගේ විකෘතියක් තමයි 2015-2019 කාලසීමාවේ ඒකාබද්ධ විපක්ෂයට අදාලව තිබුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක වෙලාවේ දෙපැත්තක හිටියා. ශ්‍රීලනිපයේ අතිබහුතර පිරිසක් සැබෑ ලෙසම රටේ විපක්ෂ මතය නියෝජනය කළත්, ඒ පක්ෂයේ පිරිසක් ආණ්ඩුවේ හිටියා. අනෙක් පැත්තෙන් දෙමළ ජාතික සන්ධානය විපක්ෂ නායකකම ලබාගෙන ආණ්ඩුවට සහයෝගයත් දැක්වුවා. ආණ්ඩුව සහ විපක්ෂය ගැන නිර්වචන අපැහැදිලි වී විකෘති තත්වයක් නිර්මාණය වුණා.

රනිල් නැවත ඉල්ලලා තියෙන්නේ එවැනි විකෘති තත්වයක් නිර්මාණය කරන්නයි.