මානව හිමිකම් කවුන්සිලයට සබ්රි සහ විජයදාස යයි

සැප්තැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ආණ්ඩුව නයෝජනය කරමින් විදේශ කටයුතු ඇමති අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගමන් කිරීමට නියමිතයිලු.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් රකින බව කියන්නලු යන්නේ. ප්‍රකට ජනාධිපති නීතිඥවරයෙකු වන විජයදාස රාජපක්ෂ මහතා සහ ජනාධිපති නීතිඥ අලි සබ්රි අතර ඉතිහාසය අමතක කරන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ විගස අත්දැකීම්වලින් ඉදිරියෙන් සිටි විජයදාස රාජපක්ෂ වෙනුවට ආධුනිකයෙකු මෙන්ම තමන්ගේ පෞද්ගලික නීතිඥයා වූ අලි සබ්රි මහතාට අධිකරණ අමාත්‍යධුරය ලබා දුන්නා. ඒ නිසා විජයදාස රාජපක්ෂ යම් දුරකට ආණ්ඩුව සමග අමනාපයක් පවා ඇති කර ගත්තා. දැන් මේ දෙපළ එක්ව ජිනීවා යනවා.

එහිදී ඔවුන් ප්‍රධාන වශයෙන්ම 22 වැනි සංශෝධනය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගේන බව කියන ජාතික ආරක්ෂක පනත සහ වංචා දූෂණවලට එරෙහිව ගේනවායැයි කියන අලුත් පනත් පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්නට නියමිතයිලු. නුදුරේදී එම සූදානම පිළිබඳ දැනුම් දෙන්නට මාධ්‍ය හමුවකුත් පවත්වනවාලු.

රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන ආණ්ඩු ජාත්‍යන්තරයට මහා පොරොන්දු ලබා දී ඒවා ඉටු නොකර ඉන්න ඉතා දක්ෂයි. මීට කලින් 2015 දී රනිල් වික්‍රමසිංහත් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ සම අනුග්‍රාහකයන් බවට පත් වුණා. ඒ කියන්නේ ලංකාව ගැන දාන යෝජනාව හදනකොට ඇමෙරිකාව, එංගලන්තය ආදී රටවල් එක්ක ශ්‍රී ලංකාවත් ඉඳගත්තා. යෝජනාව හදන්නත් සම්බන්ධ වුණා.

ඒ විදියට සම්බන්ධවෙලා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ සැර බාල කරන්නටත් සමත් වුණා. සංක්‍රාන්ති යුක්තිය ඉටු කිරීමේ සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම දක්වා ජාත්‍යන්තරයට දුන්න පොරොන්දු බොහොමයක් ඉටු කළේ නැහැ. රනිල් තරම් කපටි නැති රාජපක්ෂ ආණ්ඩු බලයට පත් වුණ විගස ජිනීවාහි යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුණා. ඒ අනුව තමයි මෙවර අලුත් යෝජනාවක් ඉදිරිපත් කිරීම දක්වා තත්වය වෙනස් වුණේ.

කෙසේ වෙතත් වසන්ත මුදලිගේව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටීමත්, සාමකාමී විරෝධතාවලට බොරු චෝදනා එල්ල කරමින් පහරදීමත්, හේතුවක් නැතිව සාමකාමී විරෝධතාකරුවන් බස් රථයට නගින්නට සිටියදී අත්අඩංගුවට ගැනීමත් (චින්තක රාජක්ෂ), කලාකරුවන් පොලීසියෙන් පලා ගොස් සැඟවී සිටින බව ව්‍යාජ තොරතුරු සමාජගත කිරීමත් (ජෙහාන් අප්පුහාමි), පුද්ගලයන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීමත් (වෙරංග පුෂ්පික) ඇතුළු බොහෝ මානව හිමිකම් කඩකිරීම් ගැන මානව හිමිකම් කොමිසමේදී කරුණු අනාවරණය වේවි. ඒවාට රජය වෙනුවෙන් යන කණ්ඩායමට පිළිතුරු බඳින්න සිදු වේවි.