පසුගිය කාලසීමාව තුළ ඉන්ධන සලාක ක්‍රමවලින් සහ තොග ලබාගැනීම නිසා ඉන්ධන හිඟය තාවකාලිකව යටපත් කිරීමට රජය සමත් වුණත්, තවමත් ආර්ථිකය ගොඩනගා විදේශ ආදායම් ලබාගැනීමේ පුළුල් වැඩපිළිවෙලක් ලංකාවට නැති පසුබිමක යළි යළිත් ඉන්ධන හිඟය මතු වීම වැළැක්වීමට නොහැකියි.
මොකද, ලංකාවට තව තව ඉන්ධන ගෙන්වන්න ණය ගන්නත් බෑ, ඉන්ධන පරිභෝජනය ගැන නිශ්චිත වෙනස්කම් කරලාත් නැහැ.
ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙන ආකාරයට ඩීසල් සහ පෙට්‍රල් කියන දෙවර්ගයේම තොග නිකුත් කිරීම අඩු වෙලා කියලා ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා කියා තියෙනවාලු. මේ ගැන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඛනිජතෙල් විෂයභාර අමාත්‍ය කංචන විජේසෛ්කර සඳහන් කර තිබෙන්නේ පෙට්‍රල් බෙදාහැරීම සිදු කරද්දී ඒ ඒ පිරවුම්හල්වල තිබෙන ඩීසල් ප්‍රමාණය ගැනත් සැලකිලිමත් වෙමින් එය සිදු කළ බවත්, ඩීසල් තොගයක් ගොඩබෑම පරක්කු වූ නිසා පෙට්‍රල් බෙදාහැරීමත් මන්දගාමී වූ බවත්. මේ අර්බුදය ඉක්මනින් විසඳන බව ඔහු කියා තිබෙනවා.
කෙසේ වෙතත් මීට කලිනුත් අර්බුද හිස ඔසවද්දී කංචන විජේසේකර ඇතුළු රජයේ ඇමතිවරුන් මෙවැනි කෙටි උත්තර දී ජනතාව ඇන්දූ බව අමතක කරන්න බෑ.
ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් රැසක් වහලා දාලා. ඒ නිසා ඉන්ධන පිරවුම්හල් ගණනාවක නැවතත් පෝළිම් නිර්මාණය වෙමින් පවතිනවා. කෝටා ක්‍රමය ආ විගස, ක්ෂණිකව ඉන්ධන පෝළිම්වල අඩුවක් දකින්න ලැබුණේ පිරවුම්හල්වලට ඉන්ධන ලැබුණ නිසයි. ඉන්ධන නැති නම් කෝටා තබා, කුමන ක්‍රමයක් ක්‍රියාත්මක කළත් සාර්ථක වන්නේ නැහැ.
අනෙක් අතට ඉන්ධන ලීටර් 20කින් සාමාන්‍ය මෝටර් රථයක් දිව්වාට, ලංකාවේ ධනවතුන්ගේ වාහන ඊට වඩා මහා පරිමාණයෙන් ඉන්ධන දහනය කරනවා. එවැනි වාහන හිමි ව්‍යාපාරික ධනවතුන් මේ වෙද්දී තමන්ට විතරක් තෙල් ගහගන්න පෞද්ගලික පිරවුම්හල් නිර්මාණය කරමින් පවතින බවත්, ඒවාට නිසි අවසරයක් පවා නැති බවත් කියනවා.
මේ ගැන කරුණු විෂයභාර ඇමති කංචන විජේසේකරම ට්වීට් එකක් මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා. (ඔහු හිතනවා ඇති ට්විටර් එක කියන්නේ රජයේ ගැසට් පත්‍රය කියලා. මොකද, තීන්දු බොහොමයක් ට්විටර් එකෙන් තමයි නිවේදනය කරන්නේ.)
මේ ධනවත් ව්‍යාපාරිකයන් තමන්ගේ වාහන සහ තමන්ගේ ව්‍යාපාරවලට අයිති වාහනවලට ඉන්ධන ගසාගැනීම සඳහා පෞද්ගලික පිරවුම්හල් 2100කට වඩා ස්ථාපිත කරලා තියෙන බව කංචන විජේසේකර ඇමතිවරයා ට්වීට් කරලා තියෙනවා.
කොහොම නමුත් අපි දන්නවා ලංකාවේ ලොකු ලොකු කම්පැණි බොහොමයකට අයිති වාහන සාමාන්‍ය පිරවුම්හල්වලිනුත් ඉන්ධන ලබා ගන්නා බව. එවැනි පසුබිමක මෙවැනි පිරවුම්හල්වලින් තෙල් ලබන්නෝ ඒ සමාගම්වලට හිමිකාර, අධි පරිභෝජනයක යෙදෙන ධනපතියන් විය හැකියි. සාමාන්‍ය මිනිසුන්ට පිවිසෙන්නට අවසරයක් නැති, ඒගොල්ලන්ගේ පිරවුම්හල්වලට ලංකාවේ පොදු ජනතාවටම පරිභෝජනය කරන්නට එන තෙල් ටික ගොඩගසාගැනීම නම් මෙවැනි අර්බුදයක් හමුවේ අමන වැඩක්. සාමාන්‍ය අරගලකරුවන් පසුපස පන්නන පොලීසිය මේවැනි තක්කඩිකම් පසුපස පැන්නුවානම්, ලංකාවේ අර්බුද ඔඩු දුවන්නේ නැති වෙන්නට තිබුණා.
එවැනි පිරවුම්හල්වලට ඉන්ධන නොදෙන බව කංචන විජේසේකර ඇමතිවරයා කියා තිබුණත්, ඩොලර්වලින් මුදල් ගෙවීම් සිදුකොට අපනයනවලදී ඩොලර්වලින් ගෙවීමට හැකියාව තිබෙන බව කීවා. ව්‍යාපාරිකයන්ට ඉන්ධන ගෙන්වාගැනීමේ හැකියාව තිබෙන බවත් ඔහු පිළිගත්තා.
ඒ අනුව ඔහු කියන කතාව පරස්පර සහ අපැහැදිලි එකක්. පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ඉන්ධන දෙනවාද? නැද්ද? දෙනවානම් පදනම මොකක්ද? ගේ ඇතුළේ ඉන්ධන බූලි දෙකක් තබාගත්තාම හිරේ දැමූ රටක මේ ව්‍යාපාරිකයන් නීතිවිරෝධීව පිරවුම්හල් හදනවා නම් ඔවුන්ට ක්‍රියාත්මක වන නීතිය මොකක්ද? ඩොලර්වලින් ගෙව්වොත් ඉන්ධන ගන්න පුළුවන්ද? ඒවා ගබඩා කරගන්න පුළුවන් කුමන පදනමින්ද? මේවාට උත්තර අපැහැදිලියි.
පසුගිය කාලයක් තිස්සේ කංචන විජේසේකරලා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගත්තේ ට්වීට්වලින් සහ මාධ්‍ය නිවේදනවලින්. මාධ්‍ය නිවේදන කියන්නේ තීන්දු ගැනීමේ ක්‍රමවේදයක් නෙවෙයි. ඒ වගේම තීන්දු ගැනීමත්, වැරදුණාම රිවර්ස් කිරීමත්, තව අලුත් ක්‍රමයක් අත්හදා බැලීමත් ආදී වශයෙන් විවිධ තීන්දු ගනිමින් පහුගිය කාලයක් තිස්සේ ඉන්ධන බෙදාහැරීම අවුල් ජාලාවක් කළා. අන්තිමේ කෝටා ක්‍රමය ෆේස්බුක් එකේ ‘තෑන්ක්යූ කංචන‘ කියා ලියූ ආත්මාර්ථකාමී මධ්‍යම පන්තියට කෙටි ආතල් එකක් වුණා. ඒත්, ඒ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී පවා නිසි නියාමනයක් සිදු වුණාද, සාධාරණ ලෙස විවිධ අයට ලැබිය යුතු කෝටාව ලැබුණාද යන්න ප්‍රශ්නයක්.
ලංකා ඛනිජතෙල් සංස්ථාව ඩොලර්වලින් ගෙවීම් බාරගැනීම යහපත් තත්වයක්. සැඟවී ඇති ඩොලර් එළියට ගෙන්වාගැනීමටත් යොදාගත හැකි ක්‍රමයක්. යම් දුරකට ඉන්ධන ආනයනයට යන වියදම්වලින් සුලු ප්‍රමාණයක් පියවාගන්නත් පුළුවන්. හැබැයි, එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කරද්දී නිසියාකාර නීතිරීති නැතිව කරන්න ගත්තොත්, අතේ ඩොලර් නැති සුවහසක් සාමාන්‍ය ජනතාවට ඇති ඉන්ධන ප්‍රමාණය සුළු පිරිසකට ගොඩගසාගෙන අධි පරිභෝජනය කරන්නත් චාන්ස් එකක් වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා මෙවැනි ක්‍රමවේද ප්‍රවේශමෙන්, සැලසුම් සහගතව සහ නිසි නිත්‍යානුකූල පියවර වශයෙන් කරන්නට ඉඩ තිබුණා. ඇත්තටම, මේ ඉන්ධන බෙදාහැරීම හොඳින් කල්පනා කර, සියලු කාරණා සලකා බලා පනතකින් හෝ විධිමත් කැබිනට් අනුමැතිය ලද වැඩපිළිවෙලකින් මීට මාස ගාණකට කලින් රටට ඉදිරිපත් කරන්න තිබුණා. ඉන්ධන හිඟයෙන් බලපෑම් සිදුවන ස්වයං රැකියාවේ සිට මහා පරිමාණ ව්‍යාපාරය දක්වා සියලුදෙනා ගැන සංවේදීව පුළුල් වැඩපිළිවෙලක් හදන්න තිබුණා.
එහෙත්, ඒ වෙනුවට තාවකාලික සැලසුම් සහ කෙටිකාලීන යටපත් කිරීම්වලින් තවමත් ඉන්ධන අර්බුදය වරින්වර මතුවෙමින්, යටවෙමින් පවතිනවා.