නඩු නැතිව වසන්තලා සිර කිරීම ගැන යුරෝපා කවුන්සිලයෙන් දැඩි නිවේදනයක්!

යුරෝපා කවුන්සිලයේ ශ්‍රී ලංකා කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි හා හෂාන් ජීවන්තව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම ගැන තද දැනුම්දීමක් කරලා තියෙනවා.

ඊට අමතරව යුරෝපා කවුන්සිලයද ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ සටහනක් නිකුත් කර තිබෙනවා.  

‘මෑතකාලීන අත්අඩංගුවට ගැනීම්වලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගැනීම පිළිබඳ අපගේ අවධානය යොමු වී තිබෙනවා. ජාත්‍යන්තර සමාජයට නොනිල වශයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ පාවිච්චි නොකර සිටින බවට ලබා දී ඇති තොරතුරු ගැන අප සිහිපත් කරනවා.‘ යනුවෙන් එම ට්විටර් පණිවිඩයේ සඳහන් වුණා.

එම ට්විටර් පණිවිඩයේ වැදගත්ම කොටසක් තමයි ශ්‍රී ලංකාව මේ පනත පාවිච්චි නොකරන බවට පොරොන්දු වෙලා තිබීම ගැන කෑල්ල. සරලව කීවොත් අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ අධිකරණයට ඉදිරිපත් නොකර, ත්‍රස්තවාදීන් විදියට ලේබල් කරලා පුද්ගලයන් සිර කර තබාගැනීම ගැනයි ඔවුන් සැලකිල්ලට ගන්නේ.

එමෙන්ම අගෝස්තු 22 වැනිදා යුරෝපා කවුන්සිලයේ උප සභාපති සහ නියෝජිත බොරෙල් ෆොන්ට්ලස් යුරෝපා කවුන්සිලය වෙනුවෙන් නිවේනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවට යුරෝපා කවුන්සිලයෙන් ලැබෙන්න නියමිත සහයෝගය ගැන සිහිපත් කර තිබෙනවා. මේ වෙද්දී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම සඳහා යුරෝපා කවුන්සිලය රෝඩ්මැප් එකක් සකස් කරමින් සිටින බවත් එහි සඳහන්. මානුෂීය ආධාර ලබාදීම මෙන්ම ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීම සඳහා යුරෝපා කවුන්සිලයේ සාමාජික රටවල් යොමු කරමින් සිටින බවත් එහි සඳහන්. ඊට අමතරව ශ්‍රී ලංකාව යුරෝපා කවුන්සිලයේ ජීඑස්පී ප්ලස් සහනය ලබන බවත් එමගින් පෙන්වා දී තිබෙනවා.

නිවේදනය සඳහා මෙම ලින්ක් එකෙන් යන්න

එහෙත් ශ්‍රී ලංකාව එම වැඩසටහන් ඉදිරියට ගෙනයෑමේදී රටේ තත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරන බව නිවේදනයේ සඳහන්. රටේ ආර්ථික ස්ථාවරත්වය සකස් කරගැනීමට සහයෝගය ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට උපරිම වැදගත්කම දෙමින් සිදුකරන බව නිවේදනයේ සඳහන් වුණා.

මීට මාසයකට පෙර ජුලි 22 වැනිදා ගෝල්ෆේස් එකට හමුදා ප්‍රහාරය එල්ල කළ මොහොතේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ අවධානය යොමු කරමින් යුරෝපා කවුන්සිලය නිවේදනයක් නිකුත් කළා.

‘විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය හිංසනයක් මුදාහැරීම‘ ගැන ඔවුන් විශේෂයෙන් අවධානයක් යොමු කළා. මානව හිමිකම් රකිමින්, නීතියේ පාලනය ක්‍රියාත්මක කරමින් සියල්ලන් ඇතුළත් කරගත්  යහපාලනයක් ගෙනයෑමේ වැදගත්කම ඒ නිවේදනයේදී අවධාරණය කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය ගැන එම නිවේදනයෙන් සිහිපත් කර තිබුණා. යුරෝපා කවුන්සිලයේ සාමාජික රටවල් ඩොලර් බිලියනයකට වැඩි ආධාර ප්‍රමාණයක් පහුගිය කාලයේදී ලබාදී ඇති බව එහිදී සිහිපත් කළා. ජීඑස්පී ප්ලස් සහනය යුරෝපයේ රටවල්වලට විශාල සහනයක් බව සිහිපත් කළා. ඊට අමතරව ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 70ක ආධාර ලබා දී ඇති බවත් එහි සඳහන් වුණා.

එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය ගැන සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එම නිවේදනයේ තිබුණා.

2021 අවුරුද්දේ යුරෝපා පාර්ලිමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කිරීම ප්‍රමුඛව අනෙකුත් මානව හිමිකම් කඩකිරීම් ගැන යෝජනාවක් සම්මත කළා. එයින් පසු එම අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රටේ නායකයන් හමු වී මානව හිමිකම් ගැන සාකච්ඡාවකුත් කළා.

(ඡායාරූපය – හිජාස් හිස්බුල්ලා ඇතුළු අයට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කරන්න ගිහින්, යුරෝපා කවුන්සිල සාමාජිකයන්ගෙන් ගෝඨාභය රාජපක්ෂ හොඳින් ‘අහගත්ත‘ අවස්ථාව. 2021 ඔක්තෝබර් මාසයේදී.)