ගෝල්ෆේස් එකට වෙච්ච පාඩුව සීනිබදු පාඩුව වගේ 0.0003ක්ලු!

මිලියන ගණන් ජනතාව පොදුජනයා සතු වූ රජයේ ඉඩමක් පරිහරණය කරමින් සහභාගී වූ ගෝල්ෆේස් අරගලයේදී සිදුව ඇති ‘පාඩුව‘ බැඳුම්කර ගනුදෙනුවේදී සිදුව ඇති පාඩුවෙන් සීයට 0.0005ක්.

රජය කියන විදියට පාඩුව කෝටි 0.49ක්ලු. ඒ කියන්නේ ලක්ෂ 49ක්ලු. බැඳුම්කර වංචාවෙන් 2015 සහ 2016 කාලවලදී සිදු වූ පාඩුව කෝටි 996ක්. සීනි බදු වංචාවෙන් සිදු වූ පාඩුව කෝටි 1595ක්. මේ කියන ගෝල්ෆේස් පාඩුව සීනි බදු වංචාවෙන් 0.0003ක්.

සීනි බදු වංචාකරුවන් කරපු පාඩුව හරියට බෙදල බැලුවොත් ඒ යක්කු දවසකට කරපු පාඩුව ඔය ගෝල්ෆේස් අරගලකරුවන් දවස් සීයකට එහා ගත කරමින්  සිදු කරලා තියෙනවා.

මෑතකදී අහුවෙච්ච පැන්ඩෝරා පත්‍රිකාවලදී රාජපක්ෂ පවුලේ නිරූපමා රාජපක්ෂගේ පවුල සතු වූ ඩොලර් මිලියන 160ක මුදල රුපියල්වලට හරවා ඔය වගේ ගණං හැදූ පසු ගෝල්ෆේස් ‘පාඩුව‘ වගේ 0.00008ක්.

ගෝල්ෆේස් එකේදී සිදු වුණා කියන මේ ‘පාඩුව‘ තනි මිනිහෙක් තමන්ගෙ දියුණුවට හොරෙන් සාක්කුවේ දමාගත් වංචා සහගත මුදලක් නොවන බව සිහිතබාගන්න.

තණකොල අල්ලපු පොළොවක තණකොල ටිකක් ගෙවී යෑම හැරුණාම හිස් ඉඩමක මෙච්චර පාඩුවක් ගණන් හැදීමත් වෙනම වික්‍රමයක් තමයි.

මේ තක්සේරුව පවා විශ්වාස කරන්න අසීරුයි. මීට ටික කාලෙකට කලින් ආණ්ඩුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට (කාලය එක්ක මැකී යන්න නියමිත වූ) පොඩි තින්ත පාරවල් ටිකක් ඇන්දා කියා ලක්ෂයකට එහා මිල තක්සේරු කළා. එවැනි පසුබිමක මේ ගණන් හැදීම කර ඇත්තේ කෙලෙසදැයි වෙනම විමසා බැලිය යුතුයි.

ඇත්තටම ඔවුන් කියන විදියට මේ බිමේ තණකොල අල්ලන්න ලක්ෂ 47ක් යනවාලු. තණ පිඩලි අල්ලන්න බිම සකස් කරන්න ලක්ෂ එකහමාරක් යනවාලු.

ඉතින්, ගෝල්ෆේස් එක ගැන තරම් උනන්දුවෙන් අනෙක් කාරණා ගැනත් හොයා බැලුවා නම් කොහොම කරන්න බැරිද?