රනිල්ට ත්‍රස්තවාදීන්, එක්සත් ජාතීන්ට ‘මානව හිමිකම් ආරක්ෂකයන්‘ – රැඳවුම් නියෝග එපායැයි බලපෑම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තුන්දෙනෙක්ව ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කර දින 90ක් රැඳවුම් නියෝග ගැනීම සඳහා කුරුමානම් අල්ලමින් සිටියදී ඒ අය ‘මානව හිමිකම් ආරක්ෂකයන්‘ ලෙස සඳහන් කරමින් එක්සත් ජාතික සංවිධානයේ විශේෂ නියෝජිතවරියක් ට්විටර් පණිවිඩයක් යොමු කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයන් පිළිබඳ විශේෂ නියෝජිත මහාචාර්ය මේරි ලෝලර් ට්විටර් පණිවිඩයක් යොමු කරමින් මෙසේ සඳහන් කර තිබෙනවා.

‘මානව හිමිකම් ආරක්ෂකයන් වන වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම ගැන මා දැඩි සැලකිල්ලක් දක්වනවා. ඔවුන් රඳවා තබාගැනීම සඳහා අත්සන් නොකරන ලෙස මම ජනාධිපති රනිල්ට බල කර සිටිනවා. එසේ කළහොත් එය ශ්‍රී ලංකාවට අඳුරු දිනයක් වේවි.‘

මේ වෙද්දී රනිල් වික්‍රමසිංහ බොරු රංගනයක් දමමින් සිටිනවා. ඒ වසන්ත මුදලිගේට රැඳවුම් නියෝග අත්සන් කරන්නේ ‘පොලීසියේ ඉල්ලීමට බව මවා පෙන්වන‘ රංගනයක්. ඒ අනුව රැඳවුම් නියෝග පොලීසියෙන් ඉල්ලා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කර තිබෙනවා. ‘අනේ මම දන්නෑ, පොලීසිය ඉල්ලපු නිසයි දුන්නෙ‘ වගේ බබා පාට් දාන්නට රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ උත්සාහ කරනවා.

ඇත්තටම වසන්ත මුදලිගේ ත්‍රස්තවාදියෙක් නෙවෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා වගේම ඔහු මානව හිමිකම් ආරක්ෂකයෙක්. අනෙක් අතට ඔහු කිසිම ආයුධ සන්නද්ධ ක්‍රියාවක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් කර නැහැ. ඔහුගේ දේශපාලනය හැංගිලා හිටපු දේකුත් නෑ. කළ හැම ක්‍රියාවක්ම ප්‍රසිද්ධියේ මාධ්‍යවලට දැනුම් දී, මාධ්‍ය කැඳවා රටටම පේන්න කළේ. ආයෙත් දවස් අනූවක් තිස්සේ රඳවාගෙන ප්‍රශ්න කරන්න කිසිම හේතුවක් ඇත්තේ නෑ.