ගෝඨාභයට පැනලා යන්න එපා කියනවා! මහින්ද රාජපක්ෂ කියයි

මම විශ්‍රාම යන්නේ සුදුසු වෙලාවට -මහින්ද රාජපක්ෂ

ගෝඨා මගෙන් ඇහුවා නම් යන්න එපා කියනවා

පහුගිය කාලයේ ගෝඨාභය මෘදු පාලකයෙක් වුණා

රනිල්ට විතරයි මේ අර්බුදය විසඳන්න පුලුවන්

තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත.

“මම දිගටම දේශපාලනයේ ඉන්නවා. මම විශ්‍රාම යන්නේ සුදුසු වෙලාවට. එතකන් මම යන්නේ නැහැ”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරියටත් නායකත්වය ලබා දෙනවා දැයි විමසූ අවස්ථාවේදී ඒ මහතා පවසා ඇත්තේ “ඒක තීරණය කරන්න පක්ෂයට බාරයි. එහෙම නොවුණත් මම නීතිඥයෙක් නිසා මට උසාවිවල ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අවශ්‍ය වුණොත් මම යන්න ලෑස්තියි.”

ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පළා ගිය මොහොතේ ඔහුගෙන් උපදෙස් ලබා ගත්තා දැයි විමසා ඇති අතර එයට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන්ගෙන් විමසා සිටියේ නම් ගෝඨාභය රාජපක්ෂට රට හැර නොයන ලෙස උපදෙස් දෙන බවය.

“ගෝඨාභය යන්නද කියලා මගෙන් ඇහුවා නම් මම කියනවා යන්න එපා කියලා. ඔහු පටන් ගත්ත වැඩේ අවසන් කරන්න තිබුණා. ඒත් ගෝඨාභය දේශපාලනඥයෙක් නෙවෙයි. මේ රටේ සිදුවුණු සියලු ව්‍යසනයන්ට ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු නැහැ. රටේ දැන් තියෙන අර්බුදවලට මා ඇතුළු පසුගිය රජයන් සියල්ලම ජනතාවට වගකිව යුතුයි. ඔහු ක්‍රියා කළේ තමා විශ්වාස කළ විශේෂඥයන්ගේ උපදෙස් මත. ඒ නිසා ගෝඨාභයට දොස් පවරන්න බැහැ .

ඔහු ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් වෙලා ඉන්න කාලයේ ඔහු පරිපාලන දක්‍ෂතාවක්‌ පෙන්නුම් කළා. ජනාධිපතිවරයා වශයෙන් ඔහුට දැඩි පීඩනයක් එල්ල වුණා. ඔහු පෙර දැඩි මතධාරියෙක් ඒත් ඔහු ජනාධිපතිවරයා විධියට වැඩ කරද්දී ඔහු මෘදු පාලකයෙක් වුණා. ඒත් ජනාධිපතිවරයෙක් විධියට නොගත යුතු තීරණ ගොඩක් ඔහු ගත්තා. ඉදිරියේදී ඔහු තමන්ගේ කාර්යය නිවැරදිව අවසන් කරයි කියලා මම හිතනවා”

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමත් ඉන් අනතුරුව ඔහු ජනාධිපති වීමත් මහින්ද රාජපක්ෂ මහතා මෙම සම්මුඛ සාකාච්ඡාවේදී අගය කර ඇත. “ඉක්මන් ආර්ථික ප්‍රකෘතියක් ඇති කළ හැකි එකම දක්ෂ පුද්ගලයා ඔහුයි.ඒ නිසා තමයි මම ඔහුගේ ධූරයට පත්වීම අනුමත කරලා ඔහුට මගේ සහයෝගය ප්‍රකාශ කලේ.