ණය ප්‍රශ්නය ගොඩදාන්න චීනය ළඟට යන්න වෙනවා! චීනෙ කැමති වේවිද?

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරන ලද ලිපිලේඛන අනුව අනුව, ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණයවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් චීනයෙන් ගත්ත ඒවා. ඊළඟට ඉන්නේ ජපානය.

ඒ අනුව අපට වැඩිපුරම ණය ලබා දී ඇති ඒ රටවල් දෙක ලංකාව සම්බන්ධයෙන් ගන්න ස්ථාවරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගනුදෙනුව ඉක්මන් කරන්නට තීරණාත්මක විදියට බලපාවි.

අගෝස්තු 24 සිට 31 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එනවා. ඒ පැමිණීමේ අරමුණ අයිඑම්එෆ් එක්ක කාර්යමණ්ඩල එකඟතාව ඇති කර ගැනීම. හැබැයි ඒ පිළිබඳ අගෝස්තු 19 වැනිදා අයිඑම්එෆ් එක දාපු නිවේදනයේ පැහැදිලිව සඳහන් වෙනවා, ලංකාවට ඊඑෆ්එෆ් එකක් හෙවත් මූල්‍ය සහයෝගය ලබාදීම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු විය යුතු බව. ශ්‍රී ලංකාවේ ණය අස්ථාවරත්වය පවතින තුරු සහයෝගය නොලැබෙන බව පැහැදිලියි.

එහෙත්, තවමත් චීනය ණය ප්‍රතිව්‍යුහගකරණය පිළිබඳ එකඟ වී නැහැ.

මුදල් අමාත්‍යාංශයේ 2022 අගෝස්තු දිනැති ‘ශ්‍රී ලංකා ණය හිමියන්ට යාවත්කාලීන කිරීම’ අනුව, ශ්‍රී ලංකාවේ මුළු ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක්. පසුගිය වසර අවසානයේ මින් සියයට 44ක් පමන චීනයෙන් ගත් ණය. ජපානය සියයට 32 ක් සහ ඉන්දියාව සියයට 10 ක් ණය දී තිබෙනවා. ප්‍රංශය, ජර්මනිය සහ ‘වෙනත්’ (රුසියාව, හංගේරියාව, ස්වීඩනය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ පකිස්ථානය) සියයට දෙක බැගින් සමග දකුනු කොරියාව සියයට තුනක්. ඉතිරිය සෞදි අරාබිය, එක්සත් ජනපදය, කුවේට්, ස්පාඤ්ඤය සහ ඉරානය (සියයට එක බැගින්) දුන් ණය.

2021 අවසන් වන විට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 114%ක්’ ඒකෙන් සියයට 47ක් විදේශ මුදල්වලින් වෙන්කරලා තිබුණා.

අයිඑම්එෆ් එකත් එක්ක කරන සාකච්ඡාවලටත් වඩා මේ වෙලාවේ වැදගත් වෙන්නේ අපට ණය ලබා දුන්න ණය හිමියන් එක්ක සාකච්ඡාවල ප්‍රගතිය මොකක්ද කියන එක. ණය ලබාදුන්න ණය හිමියන්ගේ සහතික ලබාගැනීමයි දැන් තීරණාත්මක. තවම ඒ වැඩේ සෑහෙන ප්‍රාථමික අදියරක තියෙන්නේ.