අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග හෙවත් ඩීඕ ගහලා රඳවා තබාගන්නට මේ වෙද්දී ආණ්ඩුවේ ප්‍රධානීන් පිරිසක් සාකච්ඡා කරමින් ඉන්නවා.
ඒ විදියට රැඳවුම් නියෝග මත ‘ත්‍රස්තවාදියෙක්‘ විදියට ආණ්ඩුවේ නායකයන්ගෙ පෞද්ගලික දේශපාලනයේ එදිරිවාදියෙක් වන වසන්තව රඳවා තබාගත්තොත්, ඒක බරපතල සිදුවීමක් වෙනවා. සැප්තැම්බරයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ මෙන්ම ජාත්‍යන්තර පාර්ශ්ව ගණනාවකට එය ඉතාම තීරණාත්මක කාරණයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය ඇතුළු ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතාවන් නැති වෙන්න ඉඩ තියෙනවා.
ඇතැම්විට අයිඑම්එෆ් නොලැබෙන්නට, ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සපෝට් එක නොලැබෙන්නට සහ අන්තිමේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තව තවත් අගාධයට යන්නට මෙවැනි තීන්දු බලපෑමේ ඉඩක් තියෙනවා. විශේෂයෙන් ත්‍රස්තවාදියෙක් නොවන, ආණ්ඩුවේ දේශපාලන හතුරෙකු හිර කර තබා ගන්නට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කළොත්, ඒක ප්‍රධානම සිදුවීමක් වේවි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කරපු විදිය සහ තවත් බොහෝ හේතු නිසා ඒ කාලයේ ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් අහිමි වුණා. ඒක නැවත ලැබුණේ 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වී පොරොන්දු ගොඩක් ලබා දීමෙන් පස්සේ.
ඒත් ඒ පොරොන්දු ඉටු නොවෙද්දී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනතුරු ජීඑස්පී ප්ලස් සහනය ලංකාවට දෙන්න එපා කියලා යුරෝපා කවුන්සිලයේ මන්ත්‍රීවරුන් පිරිසක් කියා තිබුණේ 2017 දී.
යුරෝපා කවුන්සිලය එදා කතා කරපු ප්‍රධාන යෝජනා හතර වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම, වැරදිකරුවන්ට දඬුවම් නොකර නීතියේ මුක්තිය ලබා දීම ගැන නිසි පියවර ගැනීම, සමකාමීන්ට නිදහසේ ජීවත් වෙන්න බැරි විදියට ලංකාවේ තියෙන අශිෂ්ඨ නීතිරීති වෙනස් කිරීම ප්‍රධාන කොන්දේසි වුණා.
ඒ අනුව 2019 දී ත්‍රස්වාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක් ගේන බව රනිල් වික්‍රමසිංහලා කීවා. ඒ වෙනුවෙන් පනතක් කෙටුම්පත් කළත්, ඒකත් මිනිසුන්ගෙ අයිතිවාසිකම් කඩන මර්දන පනතක්. ඒ නිසා එම පනතට අවශ්‍ය සහයෝගය නොලැබී කල් ඇදුණා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ආවා. දරුණු ලෙස මර්දන නීති ක්‍රියාත්මක කළා.
ජීඑස්පී ප්ලස් කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඩොලර් මිලියන ගණන් ලාභ ලබා දෙන වෙළඳ සහනයක්. හැබැයි ඒක අපට උරුමයෙන් ලැබෙන එකක් නෙවෙයි. යුරෝපා කවුන්සිලය කැමැත්තෙන් ලබා දෙන එකක්. ඒක මේ වෙලාවේ කඩාවැටුණු ආර්ථිකයට ඉතාම වැදගත්.
2021 දී යුරෝපා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර ගත්තා ශ්‍රී ලංකාවට ලබා දී ඇති ජීඑස්පී ප්ලස් සහනය ලබා නොදෙන ලෙස. ඒ යෝජනාවට හේතු වුණේ ඒ වෙද්දී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව හිජාස් හිස්බුල්ලා ඇතුළු අයව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම ඇතුළු මානව හිමිකම් කඩකිරීමේ ක්‍රියාකාරීත්වයන්.
ඒ යෝජනාවට සාමාජිකයන් 705කගෙන් සමන්විත යුරෝපා පාර්ලිමේන්තුවෙන් 628 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. ඒ කියන්නේ ලංකාවට ජීඑස්පී ප්ලස් දෙනවාට විරුද්ධව. ලංකාවට සහනය දෙනවාට පක්ෂව ඡන්දය දුන්නේ 15 දෙනෙකු පමණයි. 40ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකුණා.
ඉන් පසු 2021 ඔක්තෝබර් මාසයේදී යුරෝපා කවුන්සිලයේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමු වී නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් නොකරන ලෙස ප්‍රකාශ කළා. ඒ දිනවලත් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති සහ තව බොහෝ කාරණා පදනම් කරගෙන ඇතුළේ තබාගෙනයි හිටියේ. එතකොටත් ජෝසෆ් ස්ටාලින් හිරකරලා හිටියා. මේවා ශ්‍රී ලංකාව ගැන නරක නාමයක් ගාවාගන්නට හේතු වුණා.
යුරෝපා පාර්ලිමේන්තුව එහිදී හිජාස් හිස්බුල්ලා වගේම කවියෙක් වන අහ්නාෆ් ජසීම් රඳවා තබාගත් ආකාරය ගැන කතා කළා. අද ඒ අහ්නෆ් ජසීම් අධිකරණයෙන් ඇප ලබා සමාජයේ ජීවත් වුණත්, ත්‍රස්තවාදී ලැයිස්තුවකට ඔහුගේ නම දැම්ම නිසා මේ රටේ ජීවත් වීම පවා අවදානමේ වැටී තිබෙනවා. අධිකරණයෙන් වරදකරුවෙක් නොවූ ඔහුව ආණ්ඩුව එකම එක නිවේදනයකින් ත්‍රස්තවාදියෙකු කරලා. මේවාත් මානව හිමිකම් කඩකිරීම්.
ඇත්තටම ජීඑස්පී ප්ලස් සහනය පමණක් නොවෙයි, ලෝකයේ බොහෝ ජාත්‍යන්තර රටවල් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද, නැද්ද කියා සලකන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ඇති ඉඩ, සාමකාමී විරෝධතාවලට ඇති ඉඩ සහ ප්‍රකාශනයේ නිදහසට ඇති ඉඩ වගේ ප්‍රධාන සාධක කිහිපයක් පදනම් කරගෙන. මේ වෙද්දී ඒ සියලු සාධක අවලංගු වෙමින්, ප්‍රජාතන්ත්‍රවාදය මියැදෙමින් තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ 2021 දී ජෝසෆ් ස්ටාලින් අත්අඩංගුවට ගත් මොහොතේ පාර්ලිමේන්තුවේදී අනතුරු හැඟෙව්වා මේ විදියට පුද්ගලයන් අධිකරණය අවසරයෙන් පිට රඳවා තබාගැනීම ජීඑස්පී ප්ලස් අහිමි වෙන්න හේතු වේවි කියලා. ඔහු ඊට පෙර සිට මේ වගේ කාරණා ගැන රාජපක්ෂ ආණ්ඩුවලට අනතුරු හඟවා තියෙනවා. අද ඔහු රාජපක්ෂ ආණ්ඩුවක නායකයා වී, තමන්ගේම අනතුරු හැඟවීම්වලට පරස්පර විදියට මේ රටේ ආර්ථිකය අවදානමේ හෙළමින් තියෙනවා.
ඒ කියන්නේ මැයි 18 වැනිදා තිබුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධයට පහරදීම සහ ඒකේ හිටපු තරුණ සිසුන් සහ ක්‍රියාකාරික චින්තක රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සැලකිය යුතු තරම් නීතිවිරෝධීයි.
මේක අපේ ආර්ථිකයට ඍජුව බලපාන කාරණයක්. රනිල් වික්‍රමසිංහලා මේ කරමින් ඉන්නේ ආර්ථික වර්ධනයට ෆෝකස් නොකර, සියලු පක්ෂ එකතු කරගත් ආණ්ඩුවක් හදාගැනීමට ෆෝකස් නොකර ඒ වෙනුවට දරුණු මර්දනයක් එක්ක මේ රට විනාශ කිරීම.
මේ වෙලාවේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ආර්ථික සහයෝගය විශාල වශයෙන් අවශ්‍යයි. එහෙත් මෙලෙස මානව හිමිකම් කඩ කිරීම තුළින් ආර්ථික වශයෙනුත්, දේශපාලන වශයෙනුත් ශ්‍රී ලංකාව තව තවත් අස්ථාවර වෙනවා.
එහෙත් රනිල් වික්‍රමසිංහ තමන්ගේ බලය වෙනුවෙන් රට අස්ථාවර වුණත්, මිනිසුන්ට කුමක් වුණත් කමක් නැතැයි සිතමින් කටයුතු කරන බව පේන්න තියෙනවා.