මර්වින් අරන් ජෝක් දෙන්නැතුව, රූපවාහිනියට සන්නද්ධව කඩාවැදුණ පොහොට්ටු මැරයන් ගන්න! අපට සිද්ධිය අමතක නෑ!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා අවුරුදු 15කට කලින්, ඒ කියන්නේ 2007 දී ජාතික රූපවාහිනියට කඩාවැදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට අරන් තියෙනවා.

මේ අත්අඩංගුවට ගැනීම යුක්තිය, නීතිය සහ සාධාරණත්වය පිළිබඳ අදහස් විහිළුවට ලක් කරන සිදුවීමක්. ඒ කියන්නේ මර්වින්ව ගැනීම සම්පූර්ණ ජෝක් එකක්.

එදා රාජපක්ෂලාගේ හුරතලෙක්ව හිටපු කාලේ රාජ්‍ය ආරක්ෂාව ලබපු, මර්වින්ව දැන් අත්අඩංගුවට ගැනීම නරක දෙයක් නෙවෙයි. ඔහුව නිදහස් කරන්න කියලා හෝ ඒක දේශපාලන පළිගැනීමක් බව අපි කිසිසේත්ම කියන්නේ නෑ. ඇත්තටම පරක්කුවෙලා හරි ඒ කඩාවැදීම සහ ඉන්පසු සිදු වූ අපරාධ ගැන යුක්තිය ඉටු වෙන්න ඕනෑ. ඒක විතරක් නෙවෙයි තව දැවැන්ත ලැයිස්තුවක් තියෙනවා එදා මාධ්‍ය වේදීන් සහ මාධ්‍ය ආයතනවලට කරපු අපරාධ. ඒ සියල්ලට යුක්තිය ඉටු වෙන්න ඕනෑ. ඒත් ඒක වෙන්නෙත් නෑ.

2007 දෙසැම්බර් මාසයේදී මර්වින් සිල්වා ජාතික රූපවාහිනියට කඩාවැදුණා. ඒ ටීඑම්ජී චන්ද්‍රසේකර කියන ප්‍රවීණ මාධ්‍යවේදියාට පහරදෙන්න. මාතර මහානාම පාර විවෘත කරනකොට මංගල සමරවීර සහ ඔහුගේ තාත්තාට බැණවදිමින් කරපු ප්‍රකාශයක් ප්‍රවෘත්තිවල නොදැම්ම එක තමයි ටීඑම්ජීට පහරදීමට ආපු හේතුව. කුඩු නුවන් ඇතුළු මත්ද්‍රව්‍ය පාතාලයන් එක්ක තමයි එදා කඩාවැදුණේ.

ඒ විදියට කඩාවැදිලා තමන්ගෙ එකෙක්ට පහරදීම ජාතික රූපවාහිනියේ සේවකයන් ඉවසුවේ නෑ. ලංකාවේ සම්මානලාභී, ගෞරවණීය නවකතා රචකයෙක් වන අනුරසිරි හෙට්ටිගේ එකල ජාතික රූපවාහිනියේ සේවය කළා. ඔහු සේවක සංගමයක සභාපතිවරයෙක් වුණා. ඔහු වගේ තවත් විශාල පිරිසක් මර්වින්ගේ මැර ක්‍රියාවට එරෙහි වුණා. ඇත්තටම ඒ සේවකයන් කීවේ එක දෙයයි. ටීඑම්ජීගෙන් සමාව ගන්න. ඒත්, ඒක නොකළ නිසා තමයි අන්තිමට මර්වින් සේවකයන්ගේ එකමුතුව මැද රූපවාහිනී පරිශ්‍රයෙන් එළවා දැමුනේ.

හැබැයි මර්වින්ගේ ඒ කතාව රූපවාහිනියට කඩාවැදීමෙන් ඉවර නෑ. ඒ වෙලාවේ මර්වින්ට එරෙහි වෙන්නට අනෙක් සේවකයන්ට නායකත්වය දුන්න හයදෙනෙක් මැර ප්‍රහාරවලට ලක් වුණා.

ප්‍රකට මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ ඒ අතර හිටියා. ලාල් මාවලගේ මහතා තමයි අද සියත රූපවාහිනියේ උදේට පත්තර කියවන වැඩසටහන කරන්නේ. ඔහු ටෙලිවැකිය කියන සියතේ ප්‍රකට ප්‍රවෘත්ති විශේෂාංගයත් ලීවා. (තවම ලියනවාදැයි හරියටම දන්නේ නැහැ.)

ඒ කාලෙ රූපවාහිනී සේවක සංගමයේ සභාපති ලේඛක අනුරසිරි හෙට්ටිගේට තමයි හයවැනියාට ගැහුවේ. ඒ ප්‍රහාරයත් විශේෂයි. මොකද, රූපවාහිනී සේවකයන්ට ආරක්ෂාව ඉල්ලමින්, 2008 මාර්තු 13 වැනිදා ගෝඨාභය රාජපක්ෂ එක්ක සාකච්ඡාවකට ගියා.

ඒ සාකච්ඡාව ඉවරවෙලා රෑ අටට ගෙදර ආපු අනුරසිරි හෙට්ටිගේට පහුවදා උදේ කොටිකාවත්ත- රාජගිරිය පාරේදී ගැහුවා. ඒ කියන්නේ ගෝඨාභයගේ ආශිර්වාද මැද තමයි එදා මර්වින් හැසිරුණේ. මර්වින් රූපවාහිනියට කඩාවැදීම ගැන හෝ ඊට පස්සේ සේවකයන්ට එල්ලවුණ මැර ප්‍රහාර කිසිවක් ගැන විමර්ශන සිද්ධ වුණේ නෑ. ඒ වෙනුවට මර්වින්ට ගහන්න හැදුවා කියල සමහර සේවකයන්ගෙන් කටඋත්තර ගත්තා.

ඊට පස්සේ යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පසුවවත්, කිසි දෙයක් සිද්ධවුණේ නෑ. එදා ගුටිකාපු රූපවාහිනී සේවකයන්ට වන්දි දෙන කතා තිබුණත් ඒ කිසිවක් සිද්ධ වුණේත් නෑ.

ඒ විදියට රාජපක්ෂලාගේ ආයතන එදා ක්‍රියාත්මක වුණේ. ඒ නිසා අද මර්වින්ගේ සිදුවීම ගැන විමර්ශන කරනවා නම්, එදා නීතිය ක්‍රියාත්මක නොකර ආරක්ෂා කරපු අයවත් හොයා බලන්න ඕනෑ.

කොහොම නමුත්, මේ මර්වින්ව අත්අඩංගුවට ගැනීම පුංචි රංගනයක් බව අපට පැහැදිලියි. දානිෂ් අලිව අත්අඩංගුවට ගත්තාට පස්සේ යුක්තිය සහ සාධාරණත්වය ගැන මිනිස්සු අහන ප්‍රශ්නවලට කටඋත්තර නැති නිසයි මේ වැඩේ කළේ. ඒත්, ඇත්තටම යුක්තිය සාධාරණත්වය ගැන රනිල් වික්‍රමසිංහ ගහන බයිලා ඔප්පු කරනවා නම් කරන්න ඕනෑ 2018 ඔක්තෝබර් 26 වැනිදා රාත්‍රියේ සන්නද්ධ මැරයන් එක්ක ජාතික රූපවාහිනියට කඩා වැදුණ පොහොට්ටුවේ සෙට් එක ගැන.

ඒ සිදුවීමට මුහුණදුන් අයගේ මතකයේ හැටියට ඒ මැර ප්‍රහාරයට සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, රොජර් සෙනෙවිරත්න ඇතුළු අය සහභාගී වුණා. රොජර් අද නම් රාජපක්ෂලාගේ සෙවණ් නෑ. ඒ නිසා සමහරවිට රොජර්ව විතරක් ඒ සිදුවීමට ගනියි.

ඔක්තෝබර් 26 සිදුවීමේදී මැරයන් ජාතික රූපවාහිනියට ආවේ මහින්ද රාජපක්ෂගේ විජේරාම ගෙදර ඉඳන් බව තමයි සිදුවීමේ තිරය පසුපස මතකයන් තියෙන අය කියන්නේ. ඒක ඇත්ත නම් හතුරන්ට පහරදෙන්න රාජපක්ෂලා ගෙදර සිට මැරයන් එවපු පළවැනි සිදුවීම මැයි 9 නෙවෙයි.

කොහොමහරි ඔක්තෝබර් 26 මේ සිදුවීම වුණේ මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථා විරෝධී අගමැති විදියට දිවුරුම් දුන්නාට පස්සේ. ව්‍යවස්ථාවෙන් එකල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අගමැතිව අස් කිරීම සඳහා බලයක් තිබුණේ නෑ. ඒ අනුව එකල අගමැති රනිල්ව අස් කිරීම නීතිවිරෝධීයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ කීවා, තමන් තවමත් අගමැති බව. විශාල ව්‍යවස්ථා අර්බුදයක් හටගත්තා. කුමන්ත්‍රණකාරී ආණ්ඩුවක් බිහිවුණා.

ඒ මොහොතේ රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී තමන්ට සමීප දේශපාලන නායකයන් එක්ක සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවෙදී එකඟ වුණ විදියට දේශපාලන නායකයන් කිහිපදෙනෙකු මාධ්‍ය ආයතනවලට ගිහින් ප්‍රකාශ නිකුත් කරලා මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ගැන පැහැදිලි කරන්න එකඟ වුණා. රාජිත සහ මංගල ජාතික රූපවානිහියට ගියේ ඒ අනුව. පසුව මේ දෙන්නා එක්ක රාජිත සේනරත්නගේ පුත්, එකල පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නත් එකතු වුණා.

ඔවුන් ගියේ සජීවී වැඩසටහනකට. ඒත්, රූපවාහිනියේ එතකොට හිටපු ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරියක් සජීවී විකාශය සඳහා ඉඩ දුන්නෙ නෑ. ඒ අනුව සජීවී විකාශය වෙනුවෙන් එතැන ඇතුළේ කතාබහක් යමින් තිබුණා. ව්‍යවස්ථානුකූලව එතකොට විෂයභාර කැබිනට් ඇමතිවරයා මංගල වුණත්, ඒක රූපවාහිනියේ පිරිසක් පිළිගත්තේ නෑ.

ඔය අස්සේ තමයි පොදුජන පෙරමුණට හිතවත් මැරයන් පිරිසක් රූපවාහිනියට කඩාවැදුණේ. එතැන හිටපු කෙනෙකුට අපට කීවේ ඒ අය ආවේ ආයුධ පවා අතැතිව කියලා. සනත් නිශාන්තලා මොනවගේ මැරයන්ද කිලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.

ආරංචි විදියට රාජිත සේනාරත්න එකල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ගොඩක් උදව් කරලා තියෙන නිසා තමයි මංගල, රාජිත සහ චතුර ජීවිත බේරාගත්තේ. මෛත්‍රීට ජනාධිපති වෙන්න පසුබිම හැදුවේ රාජිත නිසා, මෛත්‍රී එස්ටීඑෆ් කණ්ඩායමක් රූපවාහිනියට එවලා තිබුණා පොහොට්ටු මැරයන්ගෙන් බේරලා ආරක්ෂිතව රාජිත, මංගල සහ චතුරව එළියට ගන්න.

මෛත්‍රීම ඇති කරපු අර්බුදය නිසා ඔවුන් අනතුරේ වැටුණත්, මෛත්‍රී ඒ අයව බේරලා තිබුණා.

කොහොමහරි පොයින්ට් එක මේකයි. එදා මේ තුන්දෙනා රූපවාහිනියට යවලා ඔවුන්ගේ ජීවිත අනතුරේ දැම්මේ රනිල් වික්‍රමසිංහ. අද රනිල් ජනාධිපති. රනිල්ට පුළුවන්කමක් තියෙනවද රූපවාහිනියට එදා පැනපු මැරයන්ට හරියට නීති පියවර ගන්න? බොරුවට දවසකට හිරේ දානව නෙවෙයි ඇත්තටම නීතිමය පියවර ගන්න.

මොකද, දානිෂ්ලා වගේ සෙනඟ එළියේ තියලා සාමකාමීව ඇතුළට ඇවිත් කතාබහ කරලා ටික වෙලාවකින් ආපහු ගිය එක නෙවෙයි එදා ආපු මැරයන් කළේ. එදා රූපවාහිනිය ඇතුළේ දේපළ හානි පවා සිද්ධවුණ බව සිදුවීම මතකයේ තියෙන අය කියනවා. ඇත්තටම එදා තිබුණු හැටියට, මංගල සමරවීරට හෙම කුණුහරුපයෙන් පොහොට්ටු මැරයන් බැණවැදුණ හැටියට ජීවිත හානියක් පවා සිද්ධවෙන්න ඉඩ තිබුණා.

කෙසේ නමුත් ආණ්ඩු මාරු වුණත් ගුණමකු රනිල් වික්‍රමසිංහ අගමැති වුණත් මංගලලාට කරන්න ගිය අපරාධයට හෝ රූපවාහිනියට කඩාවැදීමට කිසිම නීතියක් ක්‍රියාත්මක වුණේ නෑ. සනත් නිශාන්තලාගෙ පිහිටෙන් ජනාධිපතිකමේ එල්ලිලා ඉන්න රනිල්ට කොහොමත් අද කරන්න පුළුවන් මගුලක් නෑ. නීතිය සැමට සාධාරණ නෑ. දානිෂ්ට සහ අද ආණ්ඩුවේ හතුරෙක් වෙච්ච මර්වින්ට තිබුණාට 2018 දී රූපවාහිනියට පැන්න අයට නෑ.

ඇත්තටම රූපවාහිනියට විතරක් නෙවෙයි, එදා ආණ්ඩු මාරුව අස්සේ අයිටීඑන් එකේ වගේම ලේක්හවුස් එකේ පවා මැර බලවේග ක්‍රියාත්මක වුණා. සමහර අය කියන විදියට ලේක්හවුස් පත්තරවල සූදානම් කරපු මුල්පිටු වෙනස් වුණා.

ඒ නිසා බොරු විහිළු සපයන්නේ නැතිව, පුලුවන් නම් මේවා කරන්න.

01. ඇත්තටම මර්වින්ගේ සිදුවීමෙදී මර්වින්ව ආරක්ෂා කරපු අයව හොයන්න.

02. එදා 2018 දී රූපවාහිනියට පැනපු මැරයන්ට දඬුවම් කරන්න.