(ඩේලි මිරර් ඇසුරිනි)
- අගෝස්තු 25 ලංකාවට එනවාලු
- ඒ අතර නීතිඥයන් ග්‍රීන් කාඩ් ගන්න අයදුම් කරනවාලු
- ඒ අතරතුර ලංකාවේදී හිටපු ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාව ලබාවි
ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසි කාන්තාවක් වන බැවින් එය පදනම් කරගෙන ග්‍රීන් කාඩ්පත සඳහා අයදුම් කිරීම සඳහා ඇමෙරිකාවේ සිටින ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයන් කටයුතු කරමින් සිටින බව ඩේලි මිරර් පුවත්පතේ ජමිලා හුසේන් වාර්තා කරලා තියෙනවා.
‘ඉහළ පෙළ ආරංචි මාර්ග‘ පදනම් කරගනිමින් ලියා ඇති එම වාර්තාව අනුව මේ වෙද්දී අවශ්‍ය ලියවිලි සූදානම් කරමින් ඉන්නවාලු.
ඒ අතර උදයංග වීරතුංග ප්‍රකාශ කළ ආකාරයට අගෝස්තු 24 හෝ, වෙනත් මූලාශ්‍ර කියන විදියට අගෝස්තු 25 හෝ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටිනවාලු.
මීට කලින් ගෝඨාභය රාජපක්ෂ නොවැම්බර් දක්වාවත් තායිලන්තයේ රැඳී ඉන්න සැලසුම් කරලාලු තිබුණේ. කෙසේ වෙතත් ඒ සැලසුම් අවලංගු කරලා ශ්‍රී ලංකාවට එනු ඇතැයි වාර්තා වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට නොපැමිණියේ ශ්‍රී ලංකාවේ ජනතාව නැවත ජන නැගිටීමක් තුළින් ඔහුගේ ජීවිතය අනතුරේ දමනු ඇතැයි අවදානම නිසා. විශේෂයෙන් ගෝඨාභයගෙන් පසු හරි නීතිගරුක, යුක්තිගරුක ආණ්ඩුවක් හැදෙනවා නම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණීමට බියක් දක්වන්නත් ඉඩ තිබුණා.
මේ වෙද්දී තායිලන්තයේ සිටින ජනාධිපතිවරයට තායිලන්තයේ දිගටම රැඳී සිටීමට ආරක්ෂක හේතූන් නිසා නොහැකි වන බවත්, තායිලන්ත පොලීසිය ගෝඨාභය රාජපක්ෂ රැඳී සිටින හෝටලයටම වී නිවෙස තුළ සිටින ලෙස උපදෙස් දී ඇති බවත් වාර්තා වෙනවා. ගෝඨාභය රාජපක්ෂ දැන් සිටින තැන මාධ්‍යවලට අනාවරණය වී නැහැ. සිවිල් ඇඳුමෙන් සැරසුණ එරට පොලිස් නිලධාරීන් යොදවා තිබුණාලු.
කෙසේ වෙතත් තායිලන්තය ගෝඨාභයට ඉන්න දුන්නේ යන්න තැනක් හොයාගන්නකල් පමණයි. ඒ නිසා ඔහුට ඉක්මනින් අලුත් ගමනාන්තයක් හොයා ගන්න සිද්ධ වෙනවා. තායිලන්තයේ හෝටල් කාමරයක බියෙන් ජීවත්වීමට වඩා ශ්‍රී ලංකාවට පැමිණීම හොඳ බව දැන් ඔහු හිතනවා ඇති.
ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔහුට හිටපු ජනාධිපතිවරයෙකුට හිමි නිල නිවසක් සහ රාජ්‍ය ආරක්ෂාව ලබාගත හැකියි.