‘මම මේ රටේදී දරුණු පහරදීමකට සහ ලිංගික හිංසනයකට මේ රටේදී මුහුණදුන්නා.‘ ඒ ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින්, අරගලයටත් සහයෝගය දැක්වූ ස්කොට්ලන්ත ජාතික තරුණිය වන කේලි ෆ්‍රේසර් ඉන්ස්ටග්‍රෑම් වීඩියෝවකින් කළ අදහස් දැක්වීම. ඇතැම්විට ඔබ බොහෝ දෙනෙක් ඒක දැකලා ඇති.
ඒත් සමහර මාධ්‍ය ආයතනවලට, සමහර පාර්ශ්වලට කේලිට මුහුණදෙන්න සිද්ධවුණ බිහිසුණ අත්දැකීම පුවතක් නෙවෙයි. රටේ පාලකයන්ට විදේශික කාන්තාවක් මෙරටදී මුහුණදුන් අත්දැකීම ප්‍රශ්නයක් නෙවෙයි. මොකද, රටට හෙණගහල ගියත් දේශපාලන සතුරන්ගෙන් පළිගැනීම සහ තමන්ගෙ බලය රැකගැනීම විතරයි ඔවුන්ගේ අරමුණ.
මම මේ සිදුවීම කොළඹ සංචාරක පොලීසියට දැනුම් දුන් බව ෆ්‍රේසර් කීවා. පැමිණිල්ල බරපතල ලෙස ගෙන ඉදිරියට ගෙන යනු ඇතැයි ඇය විශ්වාස කළාලු. ඒත්, ඒ සිදුවීම වැලිගම පොලීසියට භාර දුන්නාලු. සිද්ධියෙන් මාස දෙකකට පස්සේලු වැලිගම පොලීසියට අඬගැහුවේ.
ඒත් පොලීසියේදී ඉතාම බිහිසුණු අත්දැකීමකට ඇය මුහුණදුන්නා. ඇයට කාමරයේ ඉඳගන්න කියලා පිරිමි හතරදෙනෙක් හිටියාලු. ඒ තමයි ඇයට පහරදුන් සහ ලිංගික හිංසාව කළ සිව්දෙනා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහලා වෙනුවෙන් වැඩකරන පොලීසියේ උං කීවාලු, කේලි දැම්ම පැමිණිල්ල ඉවත් කරගන්න කියලා. ඇය ඒක ප්‍රතික්ෂේප කළාලු. ඇය පැයක් හෝ දෙකක් ගත කරපු බව මතකයිලු. ඇයට ෂොක් එක නිසාම සමහර සිදුවීම් මතක නැහැලු. කේලි ඇඬූ බවත්, ඇය අඬද්දී ඒකට විහිළු කරමින්, පොලිස් නිලධාරීන් හිනා වුණ බව ඇයට මතකයිලු.
නිකමට හිතන්න, විදේශික කාන්තාවක් ලංකාවට ඇවිත් මුහුණදුන්න මේ අත්දැකීම සංචාරක කර්මාන්තයට පමණක් මොන විදියට බලපාවිද? ඒක පැත්තකින් තියමු. හැම මගුලකම අපට සිද්ධවෙන ලාභයයි පාඩුවයි ගැන කතා නොකර, මනුෂ්‍යයෙක් විදියට පිටරටකදී පොලීසිය වගේ ආයතනයක ඇය මුහුණදුන්න මේ අත්දැකීම මොනතරම් කම්පනයක් ඇගේ හිතේ ඇති කරන්න ඇතිද?
ඇය ලියුම නොලීවොත් ලංකාවේ ඉන්න බැරි බව කීවාලු. ඒ නිසා අන්තිමේ ඇය ලියුමක් ලියා තිබුණා. ඒත්, ඒකෙදී ඇය කියා තිබුණේ තමන්ට බලපෑම් ආපු නිසා පැමිණිල්ල ඉල්ලා අස් කරගත් බව. ඒකට බැණලා, පැමිණිල්ල ඉරලා වචනයෙන් වචනය පැමිණිල්ල අස් කරගන්න කීවාලු.
ඇයට ඒ සිදුවීමේ කම්පනය තවමත් තියෙනවා.
‘මේක ලංකාවේ දුර්ලභ දෙයක් නෙවෙයි. ලිංගික අපරාධ, හිංසාවන් මේ රටේ වඩාත් සුලභ අපරාධ‘ බව කේලි කියනවා. 2020 ලොක්ඩවුන් කාලයේදී ලිංගික අපරාධ 2000ක් ගැන පැමිණිලි කළ නමුත්, ඉන් එකදු සිදුවීමකටවත් මේ වෙද්දී දඬුවම් දී නැති බවත් ඇය මතක් කරනවා.
ඒත් ඇය අහන්නේ එක්සත් රාජධානියේ ලිංගික අපරාධවලින් සීයට 5ක් පමණ ගැන පමණක් පැමිණිලි කරන පසුබිමක, ලංකාව වගේ ස්ත්‍රීන්ව පහළටම දාලා තියෙන රටක සිදුවීම්වලින් කීයෙන් කීයක් වාර්තා වෙනවා ඇතිද කියලා.
ඇත්තටම සීයට පහක්වත් වාර්තා වෙන්නේ නැතිව ඇති. අතිවිශාල ප්‍රමාණයක් සිදුවීම් සිදුවෙලා යටයනවා ඇති. විදේශිකයන්ගේම අත්දැකීම මෙහෙම නම්, දේශීය කාන්තාවන් කෙහොම අත්දැකීම්වලට මුහුණදෙනවාද කියන ප්‍රශ්නය කේලි අහනවා.
පැමිණිල්ලක් දාන්න ගියාට පස්සේ කේලි වගේ විදේශික කාන්තාවක් මුහුණදුන්න අත්දැකිම මේක නම්, ලංකාවේ කාන්තාවකට මොනවා වෙනවා ඇතිද කියන ප්‍රශ්නය ඇය අහනවා.
‘මෙය මේ රටේ නීතියේ පාලනය පිළිබඳ කාරණයක්. යුක්තිය ගැන කාරණයක්. මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා නැගිටින්න. ඇස් අරින්න. ඔබේ අම්මලා, සහෝදරියන්, දියණියන් වෙනුවෙන් නැගී ඉන්න. මේ රටේ කාන්තාවන් පහත් කරලා, අගෞරව කරමින් සලකනවා. ඒක වෙනස් වෙන්න ඕනෑ. මම අන්තිමේදී ඉල්ලනවා ඔබට ව්‍යවස්ථාවෙන් හිමි වූ ආරක්ෂාව ලබන්නට නැගී සිටින්න.‘
කේලි ෆ්‍රේසර්ට ලංකාවෙන් 15 වැනිදා වෙද්දී පිටවෙන්න කියලා ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා. ඒ ඇයට ලැබී තිබුණ වීසා අවලංගු කරන බව දන්වමින්. ඒ කියන්නේ ආණ්ඩුව අකමැති විදියට හැසිරෙන සංචාරක කාන්තාවකට පිටවෙන්න කියා බලකිරීමක්. කොටින්ම කීවොත්, තමන් කැමති අදහස් ප්‍රකාශ කරමින් ලංකාවේ ජීවත් වෙන්නත් ඒ අයට ඉඩක් නැහැ.
මේ සිදුවීම ගැන අහද්දී ඇඟ කිළිපොළා යනවා. මෙච්චර බිහිසුණු රාජ්‍යයක කට පියාගෙන ජීවත්වෙන්න අපේ රටේ මිනිස්සු ලෑස්තිද? මිනිස්සුන්ට තිබුණ එකම ප්‍රශ්නය ගෑස් පෝළිමයි, තෙල් පෝළිමයි විතරද? සමාජ මාධ්‍යවල ලියන කියන, විවේකයක් තියෙන මධ්‍යම පාන්තික මිනිස්සු රටේ පීඩිත මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන සංවේදී නැද්ද? එච්චර ත්‍රාඩ සමාජයක් නම් මේ රට තව තවත් වළපල්ලට යන එක, දූෂිත දේශපාලුවන් මේ රටේ මිනිස්සුන්ගේ ලේ උරාබීලා මිනිස්සුන්ව හප කරලා දාන එක පුදුමයක්ද?