අයිඑම්එෆ් යනවාට විරුද්ධ අයගෙ විකල්ප යෝජනා දෙන්න! – බන්දුල

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (IMF) මූල්‍ය ඇපයක් ලබා ගැනීමට ගත් තීරණයට විරුද්ධ වන පාර්ශ්වවල විකල්ප යෝජනා සඳහා ආණ්ඩුව ඇහුම්කන් දෙන්න ලෑස්තියි කියා කැබිනට් සම ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඊයේ කියා තිබුණා.

ඇත්තටම ආණ්ඩුව ඇහුම්කන් දෙන්න හෝ සලකා බලන්න ලෑස්ති නැතිව ඇති. එහෙත්, එය විවෘත අදහසක්. මේ වෙද්දී විශාල ආර්ථික විශේෂඥයන් ප්‍රමාණයක් වගේම සාමාන්‍ය ජනතාවත් අයිඑම්එෆ් හැර වෙනත් විකල්පයක් නැති බව විශ්වාස කරමින් සිටිනවා. එවැනි පසුබිමක තමයි බන්දුල ගුණවර්ධනගේ මෙම යෝජනාව ඉදිරිපත් වෙලා තියෙන්නේ.

“අයිඑම්එෆ් සහය ලබා ගැනීමට ගත් තීරණය විවේචනය කරන්නන් විරුද්ධ වීම වෙනුවට විකල්ප ඉදිරිපත් කළ යුතුයි” කියලා කැබිනට් සම ප්‍රකාශක සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්නවලට උත්තර දෙන අතරේ කියා තිබුණා.

මේ වෙද්දී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අයිඑම්එෆ් යනවාට විරුද්ධව අදහස් දක්වලා තියෙනවා. මීට කලිනුත් ඔහු අයිඑම්එෆ් යනවාට එරෙහිව කතා කර තිබුණා. කෙළින් නොකීවාට විමල් වීරවංශ වැනි අයත් අයිඑම්එෆ් විරෝධී වන්නේ සිංහල ජාතිකවාදී පදනමක ඉඳගෙන.

කෙසේ වෙතත් එවැනි සිංහල ජාතිකවාදීන්ට අමතරව මෙරට වාමාංශිකයන්ද අයිඑම්එෆ් යනවාට විරුද්ධ මතයක ඉන්නවා. එහෙත්, එවැනි අයිඑම්එෆ් විරෝධී අය එකඟ වෙලා හදපු පුළුල් ආර්ථික සැලැස්මක් තවම ඉදිරිපත් කර නැහැ.

“ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට විදේශ ණය ආපසු ගෙවීම පැහැර හරින ලද අතර ආපසු ගෙවීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව රටට එරෙහිව නඩු පවරා ඇත. යථාර්ථය මෙයයි. කවුරුහරි හිතනවා නම් ජාත්‍යන්තර සහයෝගය පයින් ගහලා අර්බුදය විසඳන්න පුළුවන් කියලා, ඒක ප්‍රායෝගික නැහැ,” බන්දුල ගුණවර්ධන අවධාරණය කරලා තිබුණා.

ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා 16කදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුල්‍ය ආධාර ඉල්ලා සිටි නමුත් නිර්දේශිත ආර්ථික ප්‍රතිසංස්කරණවලට අනුකූල නොවීම හේතුවෙන් රට අද තත්ත්වයට පත්ව ඇති බවද අමාත්‍යවරයා කියා තිබුණා.

අයිඑම්එෆ් යෝජනාවේ ප්‍රධාන අරමුණ සාර්ව ආර්ථික මූලධර්ම අනුව අපේ ආර්ථිකය ‘යථා තත්වයට‘ පත් කිරීම. අපේ මතය අනුව මේ වෙද්දී අපේ රටේ බිඳී ගිය ආර්ථිකයට ජාත්‍යන්තර වෙළඳාම අත්හැරලා කටයුතු කරන්න බැහැ. අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර සහයෝගය, විශ්වාසය අවශ්‍යයයි. ඒ අනුව දැන් පිළිගත් ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් මත ගන්න පියවර ගන්නට සිදු වෙනවා.

හැබැයි අපට ඇති අදහස තමයි එයින් පමණක් සියල්ල විසඳෙන්නේ නැහැ. සාර්ව ආර්ථික දර්ශකවලින් අපි ගොඩගියාට මදි. මොකද, මේ ආර්ථික අර්බුදය එන්න කලින් ඉඳලාම දුක් විඳපු මිනිස්සු හිටියා. පවතින සිස්ටම් එක විෂමයි. ඒ වගේම ආර්ථිකය ගොඩගැනීමට සහ රජයේ වියදම් කප්පාදු කරන්න කියලා ගන්න සමහර පියවර නිසා සාමාන්‍ය මිනිස්සු ලබපු සේවාවන් ගොඩක් දුප්පත් මිනිහෙක්ට ළංවෙන්න අසීරු තත්වයට පෞද්ගලිකකරණය සහ ලාභ මුල් වෙච්ච සේවාවන් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. දැනටමත් විදුලි බිල වැඩි වීම තුළ ඒවා පේන්න තියෙනවා.

ඒ වගේම සමහර අයගේ රස්සා නැතිවීමේ සිට නොයෙකුත් දේවල් සිද්ධවෙන්න පුළුවන්. ඉතින්, සාමාන්‍ය දුප්පත් මිනිස්සුන්ගෙ ජීවන තත්වයන් වඩාත් අසීරු වෙන්නට ඉඩ තියෙනවා. ඒ තත්වයට මුහුණදීමා සඳහාත් සැබෑ මානව හිතවාදී සැලසුම් තියෙන්න ඕනෑ.

නැත්නම් ඉතින් මිනිස්සුන්ට දුක් දීලා අපේ ආර්ථික දර්ශකවලින් රට බේරගන්න පුළුවන්. ඒක මහලොකු වැඩක් නෙවෙයි.

අන්තිමේ අපේ යෝජනාව අයිඑම්එෆ් නොගිහින් කළ හැකි විකල්ප යෝජනා දැන් පේන්නට නැති තරම්. ඒත්, අයිඑම්එෆ් යන තත්වක් තුළ, ඒ ක්‍රියාවලියෙන් පොඩි මිනිහාට සිදු වන හානිය නිරීක්ෂණය කරලා, තක්සේරු කරලා අන්න ඒ අවම කරගන්න යෝජනා ඉදිරිපත් කරනවා නම් ගොඩක් හොඳයි.