විදුලිය බෙදන විදිය දන්නෙත් නෑ, අදානිලාට බලාගාර හදන්න අවසරය දීලා!

මන්නාරමේ මෙගාවොට් 286ක සහ පුනරීන් ප්‍රදේශයේ මෙගාවොට් 234ක සුළං ව්‍යාපෘති දෙකක් සඳහා ඇ.ඩො.මිලියන 500කට වැඩි ආයෝජනයක් සඳහා ‘අදානි ග්‍රීන් එනර්ජි‘ සමාගමට තාවකාලික අනුමැතිය ලබාදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා තියෙනවා.

විදුලිය බෙදාහරින විදුලි ජාලවලට අදාල ක්ලියරන්ස් එක වගේම, විදුලිය බෙදාහරින සැලසුම් නැතිව තමයි මේ අනුමැතිය දීලා තියෙන්නේ.

ඒ කියන්නෙ විදුලිය දෙන්නෙ කාටද, කොහොමද ආදී බොහෝ කාරණා ගැන කිසිම සැලසුමක් නැතිව, ගහපල්ලා බාලාගාරේ කියල තමයි දීලා තියෙන්නේ.

මීට කලින් අදානිලාට ව්‍යාපෘති අනුමත කිරීම ගැන භයානක කාරණයක් විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩු ජුනි මාසයේදී හෙළිදරව් කළා. ඒ, අදානිට විදුලි ව්‍යාපෘතිය දෙන්න කියා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි බලපෑම් කළාය කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට කී බව. ඒ ප්‍රකාශය කරලා පැය 24ක් යන්න කලින් ප්‍රකාශය ඉල්ලා අස් කරගත් ෆර්ඩිනෑන්ඩු මහතා තමන්ගෙ තනතුරෙනුත් ඉල්ලා අස් වුණා. මේ ව්‍යාපෘති දීලා තිබුණේ ලංකාවේ ජාතික විදුලිබල සැලැස්ම යටතේ, මෙච්චර සුළං විදුලි බලාගාර අවශ්‍යයි කියලා කලින් ප්ලෑන් කරලා ඒ අවශ්‍ය වෙන බලාගාර හදන්නට කැමති සමාගම් කැඳවමින් ටෙන්ඩර් කැඳවලා ඒ අතරින් සුදුස්සා තෝරාගැනීමේ ක්‍රමවේදයක් අනුව නෙවෙයි. ඒ වෙනුවට ටෙන්ඩර් පටිපාටිවලින් බැහැරව, සැලසුමක් නැතිව තමයි තෝරගත්තේ. දැන් අනුමැතිය ලැබිලා තියෙන්නෙත් ඔය විදියටයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැටුණු පසුබිමක ඉන්ධනවල සිට තව බොහෝ දේ ආනයනයටඅදාලව පහුගිය කාලසීමාව තිස්සේ ඩොලර් බිලියන ගණනක් වටිනා ක්‍රෙඩිට් ලයින් සහ මූල්‍ය හුවමාරු ගිවිසුම්වලින් ඉන්දියාව ආධාර කළා.

ඉන්දියානු අගමැතිවරයා මුල්වරට අගමැති වෙද්දී මැතිවරණ ව්‍යාපාරයට තමන්ගේ පෞද්ගලික හෙළිකොප්ටරයෙන් පවා ආධාර අනුබල දුන්, ගෞතම් අදානි නරේන්ද්‍ර මෝඩිගේ ධුර කාලය තුළ ඉන්දියානු ආණ්ඩුව එක්ක ගනුදෙනු කරමින් තමන්ගේ ධනය කිහිප ගුණයකින් වැඩි කරගත්තා.

2021 ඔක්තෝබර් 26 වැනිදා ගෞතම් අදානි ලංකාවට ඇවිත් ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මුණගැහුණා. මන්නාරමේ සංචාරයකත් නිරත වුණා. මේ විදුලි ව්‍යාපෘතිවලට එකඟතාව ආවේ ඔය කාලේ.

ඇමති කංචන විජේසේකර කියා තිබුණු විදියට ලංවිම පනත් සංශෝධන හේතුවෙන් ප්‍රමාද වූ ව්‍යාපෘති 46න් 21ක් ලබන සතියේ පෞද්ගලික හවුල්කාරිත්ව ගිවිසුම්වලට එළඹෙනවාලු.