පසුගිය ‘යහපාලන‘ ආණ්ඩු සමයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හිටපු කාලෙ සිද්ධවෙච්ච දූෂණ, වංචා, අපරාධ විමර්ශනවලින් දේශපාලන පළිගැනීම් සිද්ධවුණා කියලා රාජ්‍ය නිලධාරීන් 27 දෙනෙකුට වන්දි වශයෙන් රුපියල් කෝටි 12ක් ගෙවීම සඳහා සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් සහ මව්රට පුවත්පත් වාර්තා කරලා තියෙනවා.
මැයි 09දා ඉල්ලා අස් වූ අගමැති මහින්ද රාජපක්ෂ නමින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මේ කැබිනට් පත්‍රිකාව දැන් දිනේෂ් ගුණවර්ධන දාන්න ඉන්නවාලු. හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක නිර්දේශ අනුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව සකස් කරලා තිබුණා.
ඒ කමිටුවට කලින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවකුත් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා තිබුණා. ලොකුම විහිළුවක් තමයි මේ කැබිනට් එකේ නායක රනිල් වික්‍රමසිංහ මේ අවුරුද්දේ මුල ඒ කොමිසමට විරුද්ධව රිට් ආඥාවක් ඉල්ලලා අධිකරණයට යෑම. ඒ රිට් ආඥාවේදී දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ බලරහිත කරන්න කියා ඉල්ලුවා.
හොරා කාපු සල්ලි දියව් කියන සටන්පාඨය, ඉල්ලීම පහුගිය කාලයක් පුරා මහජන උද්ඝෝෂණවලදී මතු වුණා. විශේෂයෙන්ම මේ රට ආපහු හදනවා නම් ඒ හොරාකාපු සල්ලි නැවත අය කරගැනීම මූලිකම අවශ්‍යතාවක්. හොරා කාලා මෙතැනට රට ඇදලා දාපු අයට දඬුවම් කිරීම වගේම අයථා ලෙස උපයාගත් දේපළ හැකි තරම් නැවත උපයාගැනීම කොච්චර වැදගත්ද? ඉදිරියේදී දේශපාලනයට එන සහ දේශපාලනයේ යෙදෙන අයට ඒ පාඩම උගන්වන්නේ නැතිව කොහොම ආර්ථිකය ගොඩදාන්නද?
ඒත්, ඇත්තටම රට හදන වගකීම බාරගත්ත රනිල් වික්‍රමසිංහ යටතේ වෙන්නේ හොරුන් ආරක්ෂා කිරීම. ඒ විතරක් නෙවෙයි, මේ වගේ කැබිනට් පත්‍රිකා දාලා හොරුන්ට උඩගෙඩි දුන් නිලධාරීන් හට සල්ලිත් දෙනවා. ඇත්තටම මේකේ ලොකුම විහිළුව තමයි ඔය කියන දේශපාලන පළිගැනීම් කොමිෂන් වාර්තාවලදී පළිගැනීමේ යෙදුණා කියලා චෝදනාවට ලක් වුණ දේශපාලන නායකයෙක් තමයි රනිල්. දැන් පළිගත්ත උනුයි, පළිගැනීමට ලක් වුණ එවුනුයි එකතුවෙලා ආණ්ඩු කරනවා. උං එකතුවෙලා සල්ලිත් උංගෙම අයට දෙනවා.
එක් නිලධාරියෙකුට රුපියල් ලක්ෂ 7 සිට ලක්ෂ 250 දක්වා මුදලක් හිමි වීමට නියමිතයිලු. ඇත්තටම ලංකාවේ නිලධාරීන් මහජනතාව වෙනුවෙන් වැඩ කරනවා නම්, අගය කරන්න ඕනෑ දේශපාලුවන් ළඟ කොන්ද නවාගෙන උංට කඩේ ගිහින්, වංචා සහගත ක්‍රියාවන්ට උඩගෙඩි නොදී ඉන්න අයව. කඩේ ගිය උංට මෙහෙම සල්ලිත් පිදුවාම දැන් සේවයේ යෙදෙන සහ අලුතින් එන රාජ්‍ය සේවකයන්ට දෙන පණිවිඩය මොකක්ද? මිනිස්සු ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක මේකද?
මේ විදියට වන්දි දෙන්න හිටපු සමහර රාජ්‍ය නිලධාරීන් එකොළොස් දෙනෙකු සදහා වන්දි ලබා දීම මේ වටයේ දී ප්‍රතික්ෂේප වෙලා. ඒ එඔවුන්ට එරෙහිව පවතින නඩු අවසන්ව නොමැති නිසා හෝ සමහර නඩු යළි පැවරීමට අධිකරණය උපදෙස් දී ඇති නිසා. ඒත්, මේ වටයේ ප්‍රතික්ෂේප වුණාට ඒ නඩු විසිවෙලා, ඉල්ලා අස් කරගෙන, නීතිපති දෙපාර්තමේන්තුව හරියට ඉදිරියට ගෙන නොහිගිහින් ඉඳලා අන්තිමේදී තව කැබිනට් පත්‍රිකාවකින් එයාලාටත් වන්දි ගෙවයි.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දැරූ යහපාලන ආණ්ඩු සමයේ දේශපාලන පළිගැනීමට ලක්වූවා යයි කියා වන්දි ලබා ගැනීමට සැරසෙන නිලධාරීන් අතර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් පවා ඉන්නවා.
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග (රුපියල් ලක්ෂ 150) – සිල් රෙදි නඩුවේදී එල්ල වූ චෝදනාව වන්නේ මැතිවරණයක් අභියසදී මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල්වලින් සිල්රෙදි බෙදීම ගැන. පසුව ඔහු අධිකරණය ඉදිරියේ වරදින් නිදහස් වුණා. ඒත්, සිල්රෙදි බෙදීමක් සිද්ධවුණේ නෑ, ඒ චෝදනාව බොරුවක් කියල නඩුවෙදී ඔප්පු වුණේ නෑ. මොන නීතියෙන් රිංගලා ගියත්, විදුලි සංදේශ නියාමන කොමිසමේ සල්ලිවලින් ජනාධිපතිවරණයක් අතළඟ තියාගෙන සිල්රෙදි බෙදපු එක වරදක් බව සමාජය දන්නවා. ඊට අමතරව ලලිත් වීරතුංග මහතාට තවත් චෝදනා තිබුණා.
හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් (රුපියල් ලක්ෂ 240) ගාමිණී සෙනරත්ට තියෙන සමහර චෝදනාවලට නඩු වැටුණේ නැහැ. විශේෂයෙන් ඔහුගේ මූලිකත්වයෙන් හයට්, සිනෝලංකා ආදී නොයෙකුත් හෝටල් සහ අනෙකුත් ඉදිකිරීම් වෙනුවෙන් ආණ්ඩුවේ කම්පැණි හැදුවා. කෝටි ගණං සල්ලි ඒ ‘ආණ්ඩුවේ කම්පැණි‘වලට දැම්මේ රක්ෂණ සංස්ථාව හරහා.
හැබැයි ආණ්ඩුවේ කිව්වට ඒ කම්පැණිවල වැඩ සිද්ධවුණේ ආණ්ඩුවේ හෝ කැබිනට් මණ්ඩල අනුමැතියක් යටතේ, නිසි ක්‍රමවේදවලට අනුගත විදියටත් නෙවෙයි. අන්ත දූෂිත ව්‍යාපෘති කළා. ඒවා ගැන විස්තර කලින් කතා කරලා තියෙන නිසා මෙතැන වැඩි කරුණු දිගහරින්නේ නැහැ. කෙසේ වෙතත් ඔහුට නඩු වැටුණේ ලිට්‍රෝ සමාගමේ මුදල් සාවද්‍ය පරිහරණය පිළිබඳ සහ රක්ෂණ සංස්ථාවේ මුදල් සාවද්‍ය පරිහරණය ගැන. මේ චෝදනාවලින් විශේෂ මහාධිකරණයේදී නිදහස් වෙන්න ගාමිණී සෙනරත් සමත් වුණා. ඒත්, ඔහු කරපු ගනුදෙනු බොහොමයක් අදටත් වතුර වගේ පැහැදිලිව පේන්න තියෙනවා.
හිටපු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ (රුපියල් ලක්ෂ 24) පියදාස කුඩාබාලගේ කියන්නෙත් ඒ කාලෙ රාජපක්ෂලා හදපු ආණ්ඩුවේ සල්ලි ගත්ත නමුත් ආණ්ඩුවේ නොවන කම්පැණිවල කෙනෙක්. එයා ගැනත් කළ යුතු විමර්ශන බොහොමයි. ඒත්, ලිට්‍රෝ නඩුව තමයි කුඩාබාලගේටත් අධිකරණ දක්වා ගිය චෝදනාව.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට (රුපියල් ලක්ෂ 140) අනූෂ පැල්පිටට එල්ල වූ චෝදනාවත් සිල්රෙදි බෙදීම. ඔහුත් නඩුවෙන් නිදහස් වුණාට සිල්රෙදි බෙදූ බව පැහැදිලියි.
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ (රුපියල් ලක්ෂ 60) සම්බන්ධ කතාව ටිකක් සංකීර්ණයි. අපි ඔහුගේ වත්මන් අධිකරණ කටයුතු විවේචනය කරනවා නෙවෙයි. ඒත්, ඔහුගේ අලි නඩුවේදී පවා චෝදනාවලින් ඔහු නිදහස් වුණාට අලි චෝනාව ඔහුට එල්ල වූ පැහැදිලිව පේන්න තියෙන කාරණාවක්.
කෙසේ වෙතත් මෙතැන නම් ප්‍රශ්නය ඔහුට තියෙන චෝදනා ඇත්තද? නැත්තද? කියන ප්‍රශ්නය නෙවෙයි. ඊට වඩා භයානක කාරණාව තමයි මේ වෙද්දී විරෝධතා ව්‍යාපාරවල යෙදී සිටපු තරුණ තරුණියන්ට එරෙහි නඩු බොහොමයක් තිලිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාග වීම.
එතකොට කැබිනට් අනුමැතියෙන් මිලියන ගාණක් ඔහුට ලබා දීම ආණ්ඩුවෙන් ඔහුට අල්ලස් දීමට උත්සාහ කිරීමක් වෙනවා. ඒක තිලිණ ගමගේ විනිසුරුවරයාගේ වරදක් නෙවෙයි. ආණ්ඩුවේ සහ කැබිනට් එකේ වරදක්.
එතකොට ඒ කැබිනට් පේපර් එක ගැන ප්‍රවෘත්තිය මේ විදියට සමාජගත වෙලා, ඒ පේපර් එක හදන මොහොතේ ඉඳන්, සම්මත වෙලා ඒ වන්දිය අතට දෙන මොහොත දක්වා සමහරවිට මාස ගාණක ටයිම් පීරියඩ් එකක් ‘ආණ්ඩුව රකින්න තිලිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාට ඕනෑ වේවිද?‘ කියන උපකල්පිත ප්‍රශ්නය එනවා. ඒ කියන්නේ ඇත්තටම තිලිණ ගමගේ මහතා අවංක වුණත්, මිනිස්සු ඔහුගේ තීන්දු දිහා හොරැහින් බලන්න ඉඩ තියෙනවා. ඒකට කියන්නෙ කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට් කියලා.
කෙසේ නමුත් විනිසුරුවරයෙක් විදියට තමන්ගේ සාධාරණ, යුක්තිගරුක බව පෙන්වීමේ අවස්ථාව තිලිණ ගමගේ මහතාට තියෙනවා. අලි පැටියෙක් ළඟ තබාගැනීමේ චෝදනාව මත පදනම් වෙලා ඔහු කරන හැමදේම වැරදියි කියල කියන එක අසාධාරණ ඇති. ඒ නිසා මේක ඔහුගේ ස්වාධීනත්වය පිළිබඳ සංවාදයක් නෙවෙයි. මම ඍජුව රජය විවේචනය කළා කියලා මට එරෙහි චෝදනා ටිකකුත් කොටුව මහේස්ත්‍රත් උසාවිය ඉස්සරහ සීඅයිඩීය ගොනු කර ඇති නිසා, ඔහුට එහෙම චෝදනා කරන එකත් අසාධාරණ, වගකීම් විරහිත වැඩක්.
ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් නීල් බණ්ඩාර හපුහින්න (රුපියල් ලක්ෂ 59) නීල් බණ්ඩාර හපුහින්නට එල්ල වූ චෝදනාත් ගාමිණී සෙනරත් සහ කුඩාබාලගේ එක්ක යනවා. රක්ෂණ සංස්ථාවේ මුදල් හයට් හෝටල් ව්‍යාපෘතියටත්, ඒකෙන් පස්සෙ නිසි අනුමැතියක් නැතිව හම්බන්තොට ව්‍යාපෘතියකටත් යෙදවීම ගැන තමයි ඒ කතාව.
දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක (රුපියල් ලක්ෂ 48) කිත්සිරි රණවකට එල්ල වුණේ දැන් සමෘද්ධි බවට නැවත පත් වූ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතය ගැන චෝදනා. ඔය බැසිල්ගේ ලිත් නඩුව ගගා සමහරු කතාබහ කරපු නඩුවල තමයි කිත්සිරි රණවකත් හිටියේ. බැසිල් ඒ නඩුවලින් ගැලවුණා. ඒත්, ඒ වෙලාතේ ලිත්, ජීඅයි පයිප්ප, මහින්ද දින්නොත් විවිධ අයට සහන දෙනවා කියල බොරුවට හදපු පත්‍රිකා ප්‍රමුඛ සිදුවීම් අටක් හරහා රාජ්‍ය මුදල් මහින්දගේ කැමිපේන් එකකට අවභාවිතා කළා. ඊට අමතරව දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වගේම නිලධාරීන්වත් ඡන්ද කැම්පේන්වල සිට නොයෙකුත් දේවල්වලට අවභාවිත කරන්න කිස්තිරි රණවක මහතා සහයෝගය දුන්නා.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ (රුපියල් ලක්ෂ 42) ඔහු ප්‍රධාන වශයෙන් තරුණයන් 11 දෙනෙකු පැහැරගැනීමේ නඩුවට අධිචෝදනා ලැබූ අයගෙන් කෙනෙක්. කරන්නාගොඩ කෙළින්ම ඒ පැහැරගත් කල්ලියට සම්බන්ධ නැතත්, ඔහු වක්‍රව ඒ චෝදනාවට වගකියන්න ඕනෑ.
ඉතින් ඔය වගේ පිරිසකට තමයි වන්දි ලැබෙන්නේ. මතක තියාගන්න, මේ අයට එරෙහි ඔය කියන චෝදනා බොහොමයකින් ඔවුන් ගැලවුණා. ඒත්, අපේ අදහස ඒ නඩු බොහොමයකින් ගැලවුණේ විමර්ශනවල අඩුපාඩු, විමර්ශන නිලධාරීන්ට එල්ල වූ බලපෑම් සහ නීතිවල දුර්වලතා නිසා. ඇත්තටම යහපාලන ආණ්ඩුව කාලයේ ඔය නඩු බොහොමයක් දුර්වල කරමින්, කල් පහු කරමින්, අන්තිමේ යුක්තියක් නැති තැනට පත් කරවන්න රනිල් වික්‍රමසිංහලාත් මැදිහත් වුණා.
අශෝක ද සිල්වා හැරුණාම මේ නිර්දේශ ඉදිරිපත් කරපු කමිටුවේ අනෙක් සාමාජිකයන් තමයි හිටපු අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි, හිටපු විගණකාධිපති එස්. ස්වර්ණජෝති (2021 නොවැම්බර් 11 වැනි දින ඉල්ලා අස් වුණ නිසා ඒ වෙනුවට වරලත් ගණකාධිකාරී කේ.එස්. චන්ද්‍රපාල ද සිල්වා ආවා.), සහ විශ්‍රාමලත් ගණකාධිකාරී එච්.ඩී. වීරසිරි කියන අය.
ප්‍රධාන වශයෙන්ම මේ කැබිනට් පත්‍රිකාවේ අරමුණ, රාජ්‍ය සේවකයන්ගේ කොන්ද රැකගන්නේ නැතිව දේශපාලනඥයන්ට උඩගෙඩි දුන් අතීතයක් ඇති බව රටම දන්න පුද්ගලයන්ට සහ මේ වෙද්දී රාජකාරියේ යෙදෙමින් තමන්ගේ පාඩුවේ ඉන්න මහේස්ත්‍රාත්වරයෙක්ට සන්තෝසම්, වන්දි ලබාදෙන එක. ඒ කරන්නේ අනවශ්‍ය දෙයක්. ඒක විහිළුවක් වෙනවා, මේ කියන බොහොමයක් චෝදනා දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිකම දරපු කාලේ එල්ල වුණ ඒවා.
අනෙක් අතට මේකෙන් රටට ලැබෙන පණිවිඩය ඉතාම බරපතල එකක්. මිනිස්සු පාරට බැහැපු අරගලයක අරමුණ තේරුම් නොගත්ත එකක්. රට විනාශයට පත්වෙච්ච දූෂණයෙන් පිරුණු සිස්ටම් එකක ගැඹුර තේරුම් නොගත් වැඩක්.