නාමල් නීතිය නොදැන මාධ්‍ය මර්දනයට ලෑස්තියි! පොලිස් ඇමතිගේ පත්තරයට විරුද්ධව පැමිණිල්ලක්!

නාමල් රාජපක්ෂ මව්බිම පත්තරයට විරුද්ධව පොලිස් පැමිණිල්ලක් දාලා. ඒ නෙත්මි අහිංසාව තමන්ව හමුවෙන්න ගෙන්වගන්න කුමන්ත්‍රණය කළා කියපු එකට. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනඥයෙක් විදියට කරපු ඉතාම දුෂ්ඨ වැඩක්. වැරදි වැඩක්.

ඔහු කියන විදියට තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂඛට ලියුමක් ලියමින් කියා තියෙනවා අගෝස්තු 13 වැනිදා මව්බිම පත්තරේ ගිය ප්‍රවෘත්තියකින් තමන්ට අපහාසයක් වෙච්ච බව. ඒ කියන්නේ මබ්විමේ ගියපු, නෙත්මි අහිංසාව නාමල්ව හමුවෙන්නට ඇයව රවට්ටලා බලෙන් වගේ ගෙනිච්ච බව තිබුණ ප්‍රවෘත්තියක් නාමල්ට අපහාසයක් වූ බව තමයි ඒකෙ තියෙන්නේ.

ඒකේ තියෙන භයානක, දුෂ්ඨ කෑල්ල තමයි මව්බිම පත්තරේ ප්‍රවෘත්තිය ලියපු කතෘ සහ රචකයා ගැන නීතිමය පියවර ගන්න කියන ඉල්ලීම. ඊට අමතරව ‘සමාජ මාධ්‍යවල මඩ ප්‍රචාර‘ කරපු අය හොයල ඒකටත් නීතිමය පියවර ගන්නලු. ඒ කියන්නෙ සෝෂල් මීඩියා පෝස්ට් දාපු අයට විරුද්ධව.

ඇත්තටම මේවා ප්‍රජාතන්ත්‍රවිරෝධී දේශපාලනඥයන්ගෙ දුෂ්ඨ වැඩ.

සාමාන්‍යයෙන් යම් ප්‍රවෘත්තියකින් කාටහරි අපහාසයක් වුණා නම්, පිළිතුරු දීමේ අයිතිය තියෙනවා. ඒ වගේම එවැනි ප්‍රවෘත්ති ගැන විභාග කරන්නට පුවත්පත් පැමිණිලි කොමිසම වගේ ආයතන තියෙනවා. සමහරවිට යම් මා්‍ය වේදියෙකුට ලැබෙන වැරදි තොරතුරක් මත, නැත්නම් වැරදි කාරණ්‍යක් මත යම් කෙනෙක් වැරදි පුවතක් ලියන්නත් ඉඩ තියෙනවා. මතකනේ නාමල් රාජපක්ෂ පවුලෙ අයත් එක්ක විදේශගත වුණා කියල වතාවක් අපිත් මාධ්‍ය වාර්තාවක් දැම්ම. ඇත්තටම නාමල් ගියේ නෑ, පවුලෙ අය විතරනේ ගියේ. ඒත්, නාමල්ගෙ පවුල රට ගියා කිව්ව එක වැරදියට වටහාගෙන තමයි අපි ඒ ප්‍රවෘත්තිය දැම්මෙ. අපි ඒ ගැන සමාව ඉල්ලුවා ප්‍රසිද්ධියේ. රටම ඒක දැක්ක.

ඉතින්, මව්බිමේ ගිය ප්‍රවෘත්තිය වැරදි නම් නාමල්ට පිළිතුරු දෙන්න පුළුවන්. අදහස් ප්‍රකාශනයකට උත්තර දෙන්න ඕනෑ අදහස් ප්‍රකාශනයකින්. නැත්නම් නීතියෙන්, දඬුවම්වලින් සහ සිර කිරීම්වලින් නෙවෙයි.

ඒත්, මේ රටේ දුෂ්ඨ පාලනය තාම ඒක තේරුම් අරන් නෑ. අදහස් ප්‍රකාශනයකට රන්ජන් හිරේ දැම්ම. පහුගිය කාලයක් තිස්සේ ලොකු පිරිසක් සීඅයිඩී ගෙනිච්ච. ඒ විතරක් නෙවෙයි, දැන් ආරක්ෂක කවුන්සිලය සමාජ මාධ්‍ය නියාමන පනත් හදන හැටිත් කතා කරනවලු. එහෙම පුවතක් අරුණ පත්තරේ තිබුණ. ඒ කියන්නේ තමන්ට විරුද්ධව අදහස් පළකරන උංව හිරකරන්න, දඬුවම් දෙන්න මේ ආණ්ඩුව උපරිමයෙන් කටයුතු කරමින් ඉන්නවා.

මීට කලින් ඉතිහාසයේ දේශපාලුවෝ තමන්ට විරුද්ධව ලියන මාධ්‍යවේදීන්ගෙන් පළිගන්නට පාවිච්චි කරපු සාපරාධී අපහාස නීතිය කියල එකක් තිබුණා. තව එකක් තමයි පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ වු නීතිරීති. ආ, තව එකක් තමයි පුවත්පත් මණ්ඩල පනතේ නීති.

ඉතින්, ඔය නීති පාවිච්චි කරලා තමන්ට විරුද්ධ ප්‍රවෘත්ති පළ කරන අයගෙන් පළිගන්න උත්සාහ කළා. ඒත්, කාලයක් තිස්සේ රට ඇතුළේත් එළියේත් ලංකාවෙ මාධ්‍ය වේදීන් කරපු සටන්වල ප්‍රතිඵලයක් විදියට මාධ්‍ය මර්දනයට යොදාගත්ත ඔය සමහර නීති අහෝසි කරවගත්තා. තව නීති ක්‍රියාත්මක නොවෙන තැන්වලට පත් කරවගත්තා. ඒ නිසා තමයි මාධ්‍ය වේදීන්ට දඬුවම් කරන්නත් බලය තියෙන පුවත්පත් මණ්ඩලය අද මහින්ද පතිරණ වගේ ආණ්ඩුවට කඩේ යන උදවියට ජොබ් දෙන හිස් ආයතනයක් බවට පත් වෙලා තියෙන්නේ.

ඒ විදියට එදා, අදහස් ප්‍රකාශනය සහ පුවත් පළකිරීම නිසා මිනිස්සු දඬුවම් නොලබන තැනට නීතිරීති වෙනස් කරගත්ත රටක ආයෙත් ඒ අඳුරු යුගයම ගේන්න යන නාමල්ලා කොච්චර දුෂ්ඨද? එහෙම අය දේශපාලනයෙන් තුරන් කරල දාන්න එපායැ.

නාමල් ගැන මව්බිමේ ගිය ප්‍රවෘත්තිය

ශ්‍රී ලංකාව ‍ දොම්නසින් සිටි වකවානුව රටම අමන්දානන්දයට පත් කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය  ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා දුන් ගිරිඋල්ලේ නෙත්මි අහිංසා දැරිය වෙනුවෙන් උපහාර උත්සවයක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබිණ. උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය. උත්සවය සඳහා පැමිණෙන්නට නෙත්මිට ප්‍රවාහන පහසුකම් තිබුණේ නැත.

ප්‍රදේශයේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් වාහනයක් සපයා දෙන්නට පොරොන්දු විය. නෙත්මි අහිංසා ඇගේ පුහුණුකරු සමඟ කොළඹ එමින් සිටියාය.  ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මඟහරවා නෙත්මිව  නාමල් රාජපක්ෂ හමුවට ගෙනයෑම සඳහා සිදුවෙමින් තිබූ කුමන්ත්‍රණය ගැන ඇය දැනුවත්ව සිටියේ නැත.

ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා විසින් රියදුරුට දී තිබූ රහසිගත උපදෙස් අනුව ඔහු ක්‍රීඩා ඇමැතිගේ නිවෙසට යන ලෙස දන්වා ඇති බව පවසමින් නෙත්මි දැරිය නාමල් රාජපක්ෂ සිටි නිවෙසට ගෙන ගියේය. ක්‍රීඩා ඇමැති වෙනුවට නාමල් සිටිනු දුටු නෙත්මිත්, පුහුණුකරුත් විමතියට පත්විය. එහෙත් ඔවුන්ට කළ හැක්කක් නොවීය. නාමල්ගේ ආරක්ෂකයෝ දුරකථන ක්‍රියා විරහිත කරන්නට උපදෙස්  දුන් බැවින් ඔවුන් වඩාත් අසරණ විය.

දුරකථන නිහඬ බැවින් පදනම් ආයතනයේ උත්සව සංවිධායකයෝ කලබල වූහ. නාමල්ගේ මිතුරෝ ඒ වන විටත් නෙත්මි, නාමල් හමුවූ පුවත සමාජ මාධ්‍යයට ලබා දෙමින් ප්‍රචාරක වාසිය අත්කර ගෙන තිබිණි. පදනම් ආයතනයට පැමිණි නෙත්මි ඔවුන්ට සිදු වූ අකරතැබ්බය ක්‍රීඩා බලධාරීන්ට පැවැසූ විට සියල්ලෝම කණගාටුවටත් කලකිරීමටත් පත්වූහ.