රන්ජන් අයියේ! එළියට ඇවිත් පාඩුවෙ ඉන්න! නිදහස ඔයාට අයිතියි

රන්ජන් රාමනායක සහෝරයාට, ජනප්‍රියම රංගන ශිල්පියාට, කතා කිරීමේ නිදහස වෙනුවෙන් මහා වන්දියක් ගෙවපු ඒ මනුස්සයාට නිදහස ලැබෙන මොහොත ඇවිත්. රන්ජන්ට ‘ජනාධිපති සමාව‘ දීම සඳහා අවශ්‍ය ලිපිලේඛන කටයුතු සියල්ල සම්පූර්ණ වෙමින් තියෙනවා. යම්කිසි විදියකට මේක අනවශ්‍ය පරිපාලන කටයුතු එක්ක පරක්කු කරන බවත් පේනවා. ඒ වගේම රන්ජන් රාමනායක කණගාටුව ප්‍රකාශ කරලා, සමාව ඉල්ලලා දේවල් අත්සන් කරන්නත් ඕනෑලු. රන්ජන් ඒවා අත්සන් කළාලු. මේ වෙද්දී නීතිඥ රොමේෂ් විදානපතිරණ ඒවා අවශ්‍ය තැන්වලට ඉදිරිපත් කරලා තියෙනවාලු.

ප්‍රොසීඩියර්වල ඒවා ඇති. ඒත්, ඒ සියල්ල ප්‍රොසීඩියර්වලට පමණයි. රන්ජන් සමාව ඉල්ලන්න දේකුත් නෑ. කරපු වරදකුත් නෑ. ඔහු කියපු කිසිදෙයක් වැරදියි කියල අපි කවුරුත් විශ්වාස කරන්නෙත් නෑ.

මේක අපි අනුමාන කරන විදියට මයින්ඩ් ගේම් එකක්. ඒ කතාව පස්සට දාමුකො.

කොහොම නමුත් ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති. අවුරුදු දෙකකට වැඩි කාලයක් සිරගත වෙලා හිටපු, ඒ කාලය ඇතුළෙ රන්ජන් සිතූ තරම් සහයෝගයක්, ජනතා නැගිටීමක් තියා තමන්ගෙම පක්ෂයෙ උංගෙ නැගිටීමක් ඒ අසාධාරණ සිරගත කිරීමට විරුද්ධව මතු නොවූ පසුබිමක රනිල් වගේ බිහිසුණු අපරාධකාර පාලකයෙකුගෙ ජනාධිපති සමාවෙන් එළියට එන රන්ජන් කොහොම කෙනෙක් වේවිද කියන එක තමයි ඒ ප්‍රශ්නය.

එළියට එන්නේ ඇතුළට ගිය රන්ජන්මද? නිර්භයව ඕනෑ එකක් කියපු, බ්‍රේක් නැති, සැප සම්පත් හෙව්වේ නැති රන්ජන්මද?

අපි කතා කරන්නේ ඒ ගැන.

‘හිරේ හිටියේ නැත්නම් අනිවාර්යයෙන්ම මාත් අරගලයට එනවා මල්ලි.හරිම දුකයි.මං එන විත්තිය දැනගන තමයි මුං ඉස්සල්ලාම මාව හිරෙට දැම්මේ.‘ කියලා රන්ජන් රාමනායකගෙ ෆේස්බුක් පිටුවේ ජුලි 9 දාලා තිබුණා.

ඒක ඇත්ත. මේ ගෝල්ෆේස් එකට ආපු දේශපාලනඥයන්ට මිනිස්සුන්ගෙ විරෝධය එල්ල වුණා. සමහරුන්ට පොඩි පොඩි පහරදීම් පවා එල්ල වුණා. ඒත්, ගෝල්ෆේස් ඇතුළෙ ඇවිත්, මිනිස්සුන්ගෙ සපෝට් එක මත මුල ඉඳන් ඉන්න පුළුවන් කෙනෙක් හිටියනං ඒ රන්ජන් රාමනායක. ඇත්තටම රන්ජන් රාමනායකට තමයි ගෝල්ෆේස් එකේ හට් එකකට වෙලා ඉන්න පුළුවන්කම තිබුණෙත්. කාලය එක්ක රන්ජන්ගේ මිතුරිය හිරුණිකා ඒ වගේ ගෞරවයක් අත්පත් කරගත්ත බවත් කියන්න ඕනෑ.

අපි මේ අදහස ඉදිරිපත් කරන්නේ හුදෙක් මනුස්සයෙක් විදියට රන්ජන් රාමනායක ගැන තියෙන ආදරයෙන්. එහෙම නැතිව, දේශපාලන මතයක් ඉදිරිපත් කිරීමක් විදියට නෙවෙයි. රන්ජන් රාමනායක සිරගත කරපු දවසෙ ඉඳන් බොහෝ අවස්ථාවල ඔහු ගැන වේදනාවක්, ඔහුට අත් වූ ඉරණම ගැන දුකක් දිගටම අපට තිබුණා. කිහිප වතාවක් ඔහුව මුණගැහෙන්න යන්නත් උත්සාහ කළා. ඒත් ඒ කාලෙ ඒක හරි සීමිතයි. ඒ නිසා රන්ජන් වෙනුවෙන් කරපු වීඩියෝ, දාපු ෆේස්බුක් පෝස්ට් සහ තැපැල් කරන්න හිතාගෙන ලියපු ලියුම් තමයි රන්ජන් වෙනුවෙන් අපට තියෙන්නේ.

තමන්ගේ අදහස් ප්‍රකාශ කරපු, විරෝධතා පැවැත්වූ තරුණ ජීවිත විශාල පිරිසක් සිරගත කරමින් විනාශ කරන දරුණු මර්දනකාරී ආණ්ඩුවක් ඒ පව් හෝදගන්න රන්ජන් අයියාට ජනාධිපති සමාව දෙන බව ඇත්ත. සමහරවිට ඒ අය රන්ජන් තමන්ගෙ ආණ්ඩුවේ පව් වැඩවලට පක්ෂව කතා කරාවි කියල බලාපොරොත්තු වෙනවාත් ඇති. සමහරවිට රන්ජන් රාමනායක කන්ට්‍රෝල් කරන්නත් එයාලා හිතනව ඇති. ඒකට සාකච්ඡාත් යනව ඇති.

ඒත් ඉතින්, අපි දන්න හඳුනන රන්ජන් රාමනායකව කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියල හිතන එක අමුම මොට්ට වැඩක්. ගොබ්බ වැඩක්. මොකද, අපි නම් විශ්වාස කරනවා හිරගෙදර ඇතුළට ගිය රන්ජන්ම තමයි එළියට එන්නෙත්. ඒ එජ් එකම, ඒ නිර්භීතිකමම, ඒ මානව ප්‍රේමයම රන්ජන් තුළ තියෙනවා.

රන්ජන්ලා වගේ අයට මේ රටේ මිනිස්සුන්ගෙ ගැලවුම්කාර භූමිකාවක් තියෙනවා. හඬ නගන්න, ඇත්ත කියන්න ඔවුන්ට භූමිකාවක් තියෙනවා. ඒ භූමිකාව රන්ජන් රාමනායක ඉදිරියෙත් කරනු ඇති. ඉතා ඉක්මනින් මේ තියෙන දේශපාලන තත්වය ඇතුළේ මහජනතාව එක්ක මහජන වීරයෙක් විදියට රන්ජන් හිටගනීවි.

හැබැයි ඒකම තමයි අපට තියෙන බය.

ඔය රනිල් වික්‍රමසිංහම රන්ජන්ව කන්ට්‍රෝල් කරන්න හිතාගෙන තමයි යූඇන්පීයෙන් රන්ජන්ට දේශපාලන දොරටු විවෘත කළෙත්. ඒත්, රන්ජන් කවදාවත් රනිල්ට ඕන විදියට ජීවත් වුණෙත් නෑ, කතා කළෙත් නෑ, වැඩ කළෙත් නෑ, අඩු තරමෙ ඇන්දෙ පැළැන්දෙවත් නෑ.

රන්ජන්ව නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු ඉතා කෙටි කාලසීමාවක් ඇතුලෙ කරන්න තිබුණා. ඉමීඩියට්ලි රන්ජන් අයියාව නිදහස් කරන්න තිබුණා. ඒත්, ඔවුන් අනවශ්‍ය විදියට කාලය අදින බවක් පෙනුණා. ‘ඕනෑ නම් අපට නිදහස් නොකර ඉන්නත් පුළුවන්‘ වගේ වක්‍ර තර්ජනයක් ඒ ප්‍රමාදයේ අපට පෙනුණා.

‘ඕකව එකපාර දාන්න එපා. පොඩ්ඩක් රස්තියාදු කරලා දාන්න.‘ කියල රන්ජන්ව කන්ට්‍රෝල් කරන්න හිතන උං හිතනවා ඇති.

හැබැයි රන්ජන් නැවත එළියට ඇවිත් තමන්ගෙ හඬ නගද්දී, මහජනතාව ළඟ හිටගනිද්දී නැවත රන්ජන් කවුද කියන එක ඔවුන්ටත් වැටහේවි.

අපි ජනාධිපති සමාවට විරුද්ධයි. රන්ජනුත් ඒකට විරුද්ධයි. මට මතකයි මහින්ද රාජපක්ෂලා, මෛත්‍රීපාල සිරිසේනලා සහ ගෝඨාභයලා ජනාධිපති සමාව දුන්න විදිය ගැන කෙළින්ම රන්ජන් අයියා අපේ ඉන්ටවීව්වල කතා කළා. ඒවා විවේචනය කළා.

මේ රටේ බලය තියෙන උං එකතුවෙලා රන්ජන් රාමනායකට කරපු ලොකු අපහාසයක් තමයි අසාධාරණ විදියට හිරේ යන තැනට නඩු ගොතලා, අන්තිමේ ජනාධිපති සමාව දෙන තැනට පත් කරපු එක. ඇත්තටම රන්ජන් කාගෙන්වත් සමාව ඉල්ලන්නත් ඕනෑ නෑ. රන්ජන් කිසිම වැරැද්දක් කරලාත් නෑ. අද ඔහුව පත් කරලා තියෙන තැන ඇත්තටම මේ රාජ්‍යය, නීතිරීති කොච්චර දුෂ්ඨ, අධම තැනකට පත්වෙලාද කියා පෙන්වන තැනක්.

ඒත්, ජනාධිපති සමාව කියන නීතිමය විධානය මේ රටේ ප්‍රගතිශීලී දේකට පාවිච්චි කරනවා නම්, ඒ එකම අවස්ථාව විදියට රන්ජන්ව එළියට ගැනීම අපට සලකන්න පුළුවන්. ඔය සමාව ඉල්ලන කිසි මගුලක්, රන්ජන් අත්සන් කරන කිසි මගුලක් ගැන අපට ප්‍රශ්නයක් නැහැ. කුකුසක් නෑ. ඔය ඕනෑ කොන්දේසියකට එකඟ වෙලා එළියට එන්න රන්ජන්ට අයිතිය තියෙනව. මොකද, නිදහස කියන එක රන්ජන්ට උරුමයි. එළියට ඇවිත් ජීවත් වෙනවා කියන එක රන්ජන්ට උරුමයි.

ඒ වගේම අපි රන්ජන් අයියාගෙන් ඉල්ලන්නේ, මුං කල් මරලා කල් මරලා එළියට දැම්මාට පස්සේ ටික දවසක් නිදහසේ ඉන්න කියලයි. ඒ කාලෙ ඉඳන් අපි රන්ජන්ගේ කට නිසා යමක් වේවි කියල බයෙන්, මිතුරුකමට පරෙස්සමට කතා කරන්න කියල ඉල්ලපු අය. ඒ ඉල්ලීමම තමයි තියෙන්නේ. කාලය එක්ක රන්ජන්ට නැවත සුපුරුදු භූමිකාවට පිවිසෙන්න පුළුවන් වේවි. ඒත්, එතෙක් මේ නිදහස රන්ජන් රාමනාකට අයිතියි. ලබපු දඬුවම කිසිසේත්ම ඔහුට අයිති නෑ.

උසාවියට අපහාස හරි මොන බයිලා කිව්වත්, රන්ජන්ට කිසිසේත්ම මේ දඬුවම උරුම නෑ. මේක අසාධාරණයි. ඒ නිසා රන්ජන්ට ජනාධිපති සමාව කියන වචන ටික කොච්චර රිපීට් කළත්, කොච්චර නිව්ස් ගහලා නිව්ස් ගහලා කල් මරලා ඔය ටික කළත්, අපි රන්ජන්ට සමාවක් ලැබුණා කියල හිතන්නෙ නෑ. වරදක් කළා කියල හිතන්නෙ නෑ.

ඒ නිසා රන්ජන්ට සමාව ලබන්න දෙයක් නෑ. කිසි වරදක් නොකරපු මනුස්සයෙක් විදියට රන්ජන් අවුරුදු දෙකක් සිරගත වෙලා ලොකු දුකක් වින්දා. ඒ දුක වින්ද කෙනෙකුට සහ ඒ ගැන දැනුමක් තියෙන කෙනෙකුට තමයි ඔහු වින්ද දුක කොච්චර දුකක්ද කියලා තේරෙන්නෙ. මේ මනුස්සයා තමන්ගේ හිතේ තියෙන ඇත්ත කතා කරලා මහා අපරාධයක වින්දිතයෙක් වුණා.

ඒ නිසා, සමාවක් කියල එකක් තියෙනවා නම් සමාව ඉල්ලන්න ඕනෑ රන්ජන් රාමනායක කියන මනුස්සයාගෙන්. සමාව ඉල්ලන්න ඕනෑ මේ රාජ්‍යයම ඔහුගෙන්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ රන්ජන්ගෙන් සමාව ඉල්ලන්න ඕනෑ රාජ්‍යය වෙනුවෙන්. පාර්ලිමේන්තුව රන්ජන්ගෙන් සමාව ඉල්ලන්න ඕනෑ. ඒ වගේම රටේ ජනතාව රන්ජන්ගෙන් සමාව ඉල්ලන්න ඕනෑ ඔහුගෙ නිදහස වෙනුවෙන් දස දහස් ගණන් පාරට නොබැස්සාට. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමාව ඉල්ලන්න ඕනෑ රන්ජන්ව නිදහස් කරවාගන්න මීට වඩා සටන් නොකළාට. ඔහුගේ නිදහස වෙනුවෙන් දිගින් දිගටම සටන් කරලා මීට කලින් ඒ නිදහස දිනා නොදුන්නාට.