පොලිසිය භාර ඇමැති – දේශබන්දු ගැන පොලිසියෙන්ම විමර්ශන

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයෙන් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ පන් ලක්ෂයකට ආසන්න මුදලක් ඇමැති ටිරාන් අලස් මහතාට ලබා දෙන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනුම් දී ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය.

ජනාධිපති මන්දිරයෙන් හමුවූ මුදල් ගණන් කර පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා කොටුව පොලිස් ස්ථානාධිපතිට බාර දුන් තරුණයන් හතර දෙනා පොලිසිය පසුගිය සතියේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර එම තරුණයන් එදිනම ඇප මත මුදා හැරිණි. ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ ශිරාස් නූර්දින් සහ නීතිඥ නුවන් බෝපගේ ඇතුළු නීතිඥවරුන් පිරිසක් කරුණු දක්වමින් එම මුදල් සති කිහිපයක් තිස්සේ අධිකරණයට ඉදිරිපත් කර නැත්තේ යම් යටි අරමුණක් ඇති විය හැකි බව ප්‍රකාශ කළේය.

ඒ අනුව මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රමාධවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කළ නියෝගයක් අනුව මෙම විමර්ශනය පැවැත්වේ. අද නඩුව කැඳවූ අවස්ථාවේදී පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් දැනුම් දුන්නේ එම මුදල් දේශබන්දු තෙන්නකෝන් විසින් ටිරාන් අලස්ට බාර දෙනට ලෙසට කළ දැනුම්දීම මත කොටුව ස්ථානාධිපතිවරයා මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීම ප්‍රමාධ කර ඇති බවයි.
එම මුදල් ටිරාන් අලස්ට බාරදීමට කී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව ද විශේෂ විමර්ශන ඒකකය සඳහන් කළේය.

අරගලයට එරෙහිව මාධ්‍ය නිවේදන නිකුත් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම විමර්ශනය ගැන නිවේදන නිකුත් කර නැත.

විමර්ශනය යන පොලිස් දෙපාර්තමේන්තුව බාරව සිටින්නේ ද ටිරාන් අලස් අමාත්‍යවරයාම ය. විමර්ශනයේ ප්‍රධාන සාක්කිකරුවකු වන කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා සිටින්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේය.