අරගල මර්දන අස්සේ, ඇමති ටිරාන් පෞද්ගලික හතුරන්වත් හිරේ දමා පළිගනී

මේ වෙද්දී අරගලය මර්දනය සඳහා රනිල් වික්‍රමසිංහලාගෙන් ලැබුණ ලයිසන් එක ඔස්සේ ගිහින් පෞද්ගලික තරහකාරයන්ගෙන් පළිගන්නට පොලිසිය භාර ඇමති ටිරාන් අලස් කටයුතු කරමින් ඉන්නවා.

ටිරාන් අලස්ලාගේ වංචාවක් ගැන ලිපි ලියමින්, සාකච්ඡා කරමින් ගේම ඉල්ලූ වෘත්තිය සමිති නායකයන්ව අරගල මර්දන රැල්ල එක්කම ගිහින් අත්අඩංගුවට අරන්.

ලංකාවේ ලොකුම වෘත්තිය සමිතියක් වන ‘ලංකා බැංකු සේවක සංගමයේ‘ ලංකා බැංකු ශාඛාවේ, එහෙම නැත්නම් ‘බීඕසී එකේ යුනියන් එකේ‘ ලේකම් ධනංජය සිරිවර්ධන සහ හිටපු සභාපති පාලිත ඇටම්පාවල පොලීසියෙන් අත්අඩංගුවට අරන් තියෙන්නේ ඒ පෞද්ගලික පළිගැනීමක් විදියට.

අප සැක කරන විදියට මේ අත්අඩංගුවට ගැනීම්වලට අධිකරණයට කුමන කරුණු ඉදිරිපත් කළත්, දේශපාලනිකව මෙයට බලපෑ ප්‍රධානම හේතුව තමයි ඔවුන් කාලයක් තිස්සේ ලංකා බැංකුවේ සිදු වූ වංචා දූෂණ ගැන හෙළිදරව් කිරීම. ඒවාට විරුද්ධව අදහස් දැක්වීම.

ඒ අතර දැන් පොලිසිය භාර ඇමතිවරයා වගේම මව්බිම පුවත්පත අයත් වන සිලෝන් නිව්ස්පේපර් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ ලොක්කා සම්බන්ධ විශාල වංචා චෝදනාවකුත් අයත්. ඒ චෝදනාවේ සඳහන් වන්නේ රුපියල් මිලියන 2370ක් හෙවත් කෝටි 237ක් වගකීමකින් තොරව දුන්න එකක් ගැන.

ණය අරන් අවස්ථා ගණනකදී පැහැරහැරපු ටිරාන් අලස්ට දේශපාලන සම්බන්ධතා මත තමයි ණය ලබා දී තිබුණේ. ලංකා බැංකුවේ වත්මන් සභාපති කාංචන රත්වත්තේ ඇතුළු ඉහළ නිලධාරීන් ගොඩක් මේ වංචාවලට සම්බන්ධ බව පෙන්වාදෙමින් ධනංජය සිරිවර්ධනලා, පාලිත ඇටම්පාවලලා අයත් වන වෘත්තිය සමිතිය හඬ නැගුවා. ඊට අමතරව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා පත් කිරීමේ ක්‍රියාවලිය සහ අවිධිමත් ලෙස ණය ලබාදෙමින් කටයුතු කළ ආකාරය පිළිබඳ ජුනි 26 වැනිදා පැමිණිල්ලක්ද කරනු ලැබුවා.

ඔබට මතක ඇති රාජපක්ෂ ආණ්ඩුව සිගරට් බදු වැඩි කරන්නට ලෑස්ති වෙද්දී ඒ බව කලින් දැනගෙන කලින්ම සිගරට් තොග ගොඩගසා බද්දේ වාසිය අරන් වැඩි මිලට විකුණා ලාභ හොයන්නට ඩීඑස් ගුණසේකර සමාගමට ලංකා බැංකුවෙන් ණයක් දුන්න හැටි.

ඒ ප්‍රසිද්ධ සිදුවීම්වලට අමතරව ප්‍රසිද්ධ නොවන පුද්ගලයන්ට අනීතික විදියට ණය ලබා දෙමින් අකාර්යක්ෂම පරිපාලනයක් එක්ක බැංකු වැට්ටූ හැටි මේ වෘත්තිය සමිති නායකයන් පෙන්නුවා. සටහන් යූටියුබ් නාළිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් ධනංජය සිරිවර්ධන කීවේ මේ බැංකු ලොක්කන් දූෂිත විදියට වැඩ කරන නිලධාරීන්ට උසස්වීම් දෙමින්, ස්ථීර කරමින් ඉතා දූෂිත පරිපාලනයක් බැංකුවේ හැදූ හැටි කතා කළා. බැංකු සභාපතිවරයා සහ ටිරාන් අලස්ලාට ණය දෙමින් හිතවත්කම් පවත්වාගෙන යන කාංචන රත්වත්තේට තිබුණ චෝදනා ගැනත් පෙන්වුවා.

සටහන් වෙත ලබාදුන් සාකච්ඡාව

එතැනිනුත් එහාට මෑත කාලයේ ඩොලර් අර්බුදය තිබියදී හිතවතුන්ට විදේශ විනිමය පැත්තෙන් විශේෂ සහන දුන් හැටි ඔහු කතා කළා.

දැන් පවතින ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් එය නිසියාකාරව කළමණාකරණය කර ගැනීමට ලංකා බැංකුවේ පරිපාලනය අසමත් බවත්, ඒකට හේතුව ගජමිතුරන්ට සහන ලබාදෙන දූෂිත සිස්ටම් එක් නිසා බවත් ඔවුන් පෙන්වා දුන්නා.

ලංකා බැංකුවේ මේ දූෂිත සිස්ටම් එකෙන් වාසි ලැබූ, ඉදිරියටත් ණය ලබාගෙන වාසි ලබන්නට බලාපොරොත්තු වන ටිරාන් අලස් වැනි ව්‍යාපාරිකයන් රටේ නීතිය පාලනය කරන බලය අතට අරන් මේ කරමින් ඉන්නේ තමන්ගේ පෞද්ගලික හතුරන් මර්දනය බව අපි සැක කරනවා.

ජුලි 10 වැනිදා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ධනංජය සිරිවර්ධන සහෝදරයා මෙසේ ලියා තබුණා.

‘ලංකා බැංකු සේවක සංගමයේ ලංකා බැංකුව ශාඛාවේ ලේකම් ලෙස වැඩ බාරගත්තෙ 2021.11.26.නැකත හදල දුන්නෙත් සංගමයේම දිස්ත්‍රික් නායක සහෝදරයෙක්.හදල කිව්වෙ බය වෙන්න එපා අයියා මේක හොඳම නැකතක් කියල.

සංගමයට දරුණුම අභියෝග තිබුනු කාලය.රටේ අර්බුධ ටිකෙන් ටික මතුවෙමින් තිබුණු කාලය.

වෘතීය සමිති නායකයකුගේ වගකීම ඉටු කිරීම සඳහා සහෝදර සගයනුත් සමඟ දැඩි අධිෂ්ඨානයක් හිතේ ඇතිවුනා.

එතැන් පටන් ලංකා බැංකුවේ ආදරණීය සහෝදරත්වය දැනුවත් කරමින් රටේ ජනතාව දැනුවත් කරමින් ආණ්ඩුවේ සහ ආණ්ඩුවේ හෙංචයිලගේ අක්‍රමිකතා වංචා දූෂණ රටට හෙලිකරමින් දූෂිත පාලකයිනට එරෙහිව සමාජය තුල මතයක් ගොඩ නගන්නටත් ඉන් නොනැවතී අරගලය තුල දිවා රෑ නොබලමින් අඛණ්ඩව අවසන් මොහොත දක්වාත් සක්‍රීයව රැඳී සිටීම තුල ලබාගත් ජයග්‍රහණයේ සාඩම්බර කොටස් කරුවකු වීම පිළිඹඳ නිහතමානී සහ වචනයෙන් කියන්න බැරි හිතේ සතුටක් තියනවා

ඒ සතුට රටේ ජනතාවට සදාකාලිකවම විඳින්න පුලුවන් වෙන විදිහට මේ රටේ දේශපාලන ක්‍රමවේදය නිවැරදි වනතාක් තව තවත් ඒ සඳහා උපරිම කැප වීමෙන් කටයුතු කිරීම සඳහා මෙම ජයග්‍රහණය ලොකු උත්තේජනයක්.

ශ්‍රී ලංකා මාතාව රැක ගැනීමේ සටන බොහෝ දුරට ජයගෙන තිබෙනවා.

මගේ ලංකා බැංකු මාතාව රැක ගැනීමේ සටනත් ඉක්මනින්ම අවසන් කිරීම තමා එකම පරමාර්ථය.

බැංකුව විනාශ කල දූෂිතයින්ටත් නිසි දඬුවම් ලැබෙනකන් සටන අවසන් වෙන්නෙ නෑ

ශ්‍රී ලංකා මාතාව රැක ගැනීමට රටක් එක මිටට ගොනු වුනා.

ලංකා බැංකු මාතාව රැක ගැන්මට බැංකුවේ අපි එක මිටට ගොනු වෙමු.

කිසිඳු දූෂිතයෙකුට වංචනිකයෙකුට රාජ්‍ය දේපල අවභාවිතා කල අයෙකුට කිසිඳු සමාවක් හිමි නොවිය යුතුයි.

ඔවුන් නීතිය හමුවේ නිසි දඬුවම් ලැබිය යුතුමය.

එයයි අපේ අවසන් ජයග්‍රහණය

එදාට මගේ යුතුකම හා වගකීම සම්පූර්ණ බව මම විශ්වාස කරමි.‘