වෙරංග බලන්න මානව හිමිකම් කොමිසමටත් ඉඩ නොදෙයි

පොලිසිය විසින් පැහැරගෙන ගොස් පසුව අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ් කර සිටින නිදහස් මාධ්‍යවේදී සහ සමාජ ක්‍රියාකාරිකයකු වන වෙරංග පුෂ්පික බැලීමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට ඒ සඳහා අවස්ථාව ලබා දී නැතැයි බන්ධනාගාර ආරංචිමාර්ගවලින් පැවසේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු සහ විමර්ශන නිලධාරියකු ඊයේ (3) වෙරංග සම්බන්ධයෙන් සොයා බැලීමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් ඇති අතර ඔහුට පොලිසියෙන් වූ වධ හිංසා ගැන තොරතුරු ලබා ගැනීම අරමුණ වී තිබේ. කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඔහු හමුවීමට අවස්ථාව දිය නොහැකි බවයි.

කොළඹ කොටුවේ පැවැති විරෝධතාවකින් පසු ගුරු මැදුර ශාලාවට යෑම සඳහා වෙරංග පුෂ්පික බස් රථයට නැග සිටියදී සාමාන්‍ය ඇඳුමෙන් පැමිණි පොලිසියේ යැයි කියාගන්නා පිරිසක් වෙරංග පැහැරගෙන ගොස් තිබිණි. නීතිඥයන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඔහු ගැන සොයා බැලීමට පොලිසිය කිහිපයකට ගියද තොරතුරක් නොලැබිණි. පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැදිහත්වී පොලිසියෙන් විමසද්දී ප්‍රකාශ කර තිබුණේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බවයි. කෙසේ වෙතත් එම කොට්ඨාසයට මානව හිමිකම් නිලධාරීන් සහ නීතිඥවරුන් යද්දී වෙරංග එහි සිටියේ නැත.

වෙරංග පොලිසි කිහිපයකට රැගෙන ගොස් පසුදින නීතිඥ නියෝජනයද අවහිර කර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය.