වැඩ බැරි රනිල්, වරද වහගන්න IMF ගැන පල් බොරුවක් ඇදබායි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අගෝස්තු 01 වැනිදා ගිවිසුම්ගතවීමට නියමිතව තිබුණු බවත්, රටේ තිබුණ නොසන්සුන්තා නිසා එය සැප්තැම්බර් දක්වා කල්ගිය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබුණා.

ඒ 30 වැනිදා පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් සහභාගී වූ රැස්වීමකදී. ඔව්, දැන් දෙගොල්ල සෙට් වෙලා. එයාලා යාළුවෝ.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉතාම වැරදි, නොමඟ යවනසුළු ප්‍රකාශයක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා පැහැදිලිව නිවේදන ගණනාවකදී පෙන්වා දී ඇති ආකාරයට මෙන්ම විෂය දත් විශේෂඥයන් පෙන්වාදෙන අන්දමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට එන්නට පුළුවන් වෙන්නේ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ අනෙකුත් ආර්ථික ප්‍රතිසංස්කරණ කිහිපයක් අවසන් කළාට පසුව.

ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ අතර පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සහ රාජ්‍ය සේවය සීමා කිරීම මගින් රජයේ වියදම් කප්පාදු කිරීම, දූෂණ වංචා සහ නාස්තිය අවම කිරීමට නීතිමය ප්‍රතිසංස්කරණ, රජයේ ආදායම වැඩි කර ගැනීමට බදු ප්‍රතිසංස්කරණ, (ගෙවල්වලට වී ඉන්න ශ්‍රී ලංකා ආර්ථිකයේ සුපර්පවර් එක වන) කාන්තා ශ්‍රම බලකාය කාර්යක්ෂම ලෙස ආර්ථිකයට දායක කරගැනීම ආදී යෝජනා ගණනාවක් තිබෙනවා.

ශ්‍රී ලංකාව හා අයිඑම්එෆ් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එන්නට ඊට පෙර හැකියාව ලැබේවි. ඒත්, අයිඑම්එෆ් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සමඟ නිල ගනුදෙනු ඇරඹෙන්නේ ප්‍රතිසංස්කරණ නිම කළාට පසු.

හැබැයි මෙහෙම එකක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහලාගේ ආණ්ඩු-පාණ්ඩු පසුගිය කාලය ගත කළේත්, දැන් කාලය ගත කරමින් ඉන්නේත් ජනතාවගේ විරෝධතා මර්දනයට. එයාලාගේ දවස වැයවෙන්නේ මිනිසුන්ට කෙළින්න. ඒ නිසා එයාලාට නම් රටේ ආර්ථිකය  ගැන අවධානය යොමු කරන්නට වෙලාවක් නැතිව ඇති. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන සාකච්ඡා ප්‍රමාද වෙන්නත් ඇති. ඒකට වගකියන්න ඕනෑ ජනතාව නෙවෙයි, ජනතාව මර්දනය කරන එක රට හදන වැඩේටත් වඩා ලොකුයි කියා හිතාගෙන ඉන්න ජනාධිපති රනිල්ම තමයි.

ඉතින්, රනිල්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. ‘වැඩ බැරි නං යන්න. මිනිස්සුන්ගෙ පිට ඒක දාන්න එපා. මේ රටට කෙළවුණේ පාරට බැස්ස මිනිස්සු නිසා නෙවෙයි. මිනිස්සු පාරට බැස්සේ උඹලගෙ පැළැන්තිය රටට කෙළවපු නිසයි.‘