වෙල්ගම, සමාවෙන්න! ඒත් මේ ගැනත් හිතන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගෙන් අපි සමාව ඉල්ලනවා. ඒ මැයි 9 වැනිදා ඔහුට විඳින්න වුණ අත්දැකීම ගැන. ඒ සිදුවීමට සම්පූර්ණයෙන් අපි වගකියන්න ඕනෑ නැතිව ඇති. ඒත්, මේ සිදුවීමේ එක එක භූමිකාවල හිටපු අය විදියට අපටත් යම් වගකීමක් ඇති. හිතාමතා නොවුණත්, අපිත් මේකේ එක් පාර්ශ්වයක ඉන්න ඇති.

මැයි 09 වැනිදා උදේ ගෝල්ෆේස් පිටියේ අපි හිටියේ මරණ බයින්.

මැයි 09 හිංසනය ඇවිස්සූ මහින්ද රාජපක්ෂලා, ජොන්ස්ටන් ප්‍රනාන්දුලා, සනත් නිශාන්තලා ඇතුළු බොහෝ අය මේ සිදුවීමට මූලිකව වගකියන්න ඕනෑ ඇති. ඒත්, ඒ හිංසනය ක්‍රියාත්මක වුණේ රට පුරා. දේපළවලට කඩාවැදීම් සහ ගිනිතැබීම් ගැන ලොකු සංවේදීකමක් අපි කාටවත් ඇති නොවුණාට කුමාර වෙල්ගම වගේ කෙනෙකු මුහුණදුන්න අත්දැකීමක් ගැන සංවේදීකමක් ඇති වෙන්නම ඕනෑ. විශේෂයෙන් ඔහු පාර්ලිමේන්තුවේදී 27 වැනිදා ඒ අත්දැකීම කීවා. ඒක ඇහුවාම සංවේදීකමක් ඇති වෙන්නම ඕනෑ.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා හදිසි නීතිය ගැන විවාදයේදී තමන්ගේ අත්දැකීම විස්තර කළා.

‘මම ගෙදර යන්න ගිහිල්ලා කොට්ටාව එන්ට්‍රන්ස් එක ගාවදී මාව නවත්තලා, තුන්හාරසීයක් වට කරගෙන මට ගහන්න පටන් ගත්තා. රියදුරාට ගැහුවා. මට පොලුවලින් හොඳටම අල්ලලා ගහලා, එතැන හිටියා අවුරුදු තිස්පහක විතර දරුවෝ දෙතුන්දෙනෙක්. ඒ අය කිව්වා ගහන්න එපා. මෙයා තමයි ගෝඨාභයට විරුද්ධව කතා කරපු පළවැනි මිනිහා. තරුණයන් කීවේ මූත් දෙසිය විසිපහෙන් එකෙක්, මූව මරන්න ඕනෑ කියලා. වාහනේ ගිනිතිබ්බා. තරුණයන් කීවා වාහනේ ගිනිතියනවා, පැනගන්න කියලා. මම කිව්වා පැනගන්න විදියක් නෑ. දොරවල් ලොක් වෙලා. මම කිව්වා පුලුවන් නම් මාව ඇදලා ගන්න කියලා. මාව ඇදලා ගන්නකොට කාර් එක ගිනිගන්නවා. මාව ඇදලා ගන්නකොට තවම ගහනවා. සරමත් ගැලවිලා විසිවුණා. යටට ඇඳලා තිබුණ නිසා යට ඇඳුමෙන් පාරට ඇදලා දැම්මා.

තව විනාඩි දෙකක් හිටියා නම් වාහනේ ඇතුළේ ගිනි අරගෙන මැරෙනවා. කවුරුහරි මාව කකුලෙන් ඇදගෙන ගිහිල්ලා පේමන්ට් එකේ තිබ්බාට පස්සේ කළුතර ආසනයේ තරුණයෙක් ත්‍රීවීල් එකක ඉස්පිරිතාලෙට අරගෙන ගියා.‘ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම හදිසි නීතිය පිළිබඳ විවාදයේදී පාර්ලිමේන්තුවේදී කීවා.

‘මං මැරුණා නම් ශෝක ප්‍රකාශ කරයි. එතැනින් ඉවරයි. මේ වගේ දේවල්වලට අපට ඉඩ දෙන්න බැහැ.‘ යනුවෙනුත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කීවා.

හැඟීම් විරහිත යක්ෂයන් වෙන්න බැහැ අපට. විශේෂයෙන් මේ කතාව ඉතාම සංවේදී විදියට දැනෙන්න ඕනෑ. මැයි 09 වැනිදා රට පුරා මිනිස්සු ආවේගශීලී විදියට පාරට බැස්සා. එදා දවස පටන් ගත්තේ ඉතා අනුකම්පා විරහිත විදියට අනුරංග, විශ්ව වගේ ගෝල්ෆේස් හිටපු අයට ඝාතනය කරන්න වගේ පොලු ප්‍රහාර දෙමින්. දවස ඉවර වුණේ අනෙක් පැත්තට මහජනතාව දරුණු හිංසනයක් දියත් කරමින්.

මැයි 9 හිංසනයෙන් අපි හැමෝම ෂොක් වුණා. මැයි 10 වෙද්දී ඒ හිංසනය නවත්වාගන්න ඕනෑ වුණා. ‘හිංසනය එපා. නිවෙමු.‘ වගේ කැම්පේන් සමාජගත කරන්නට අපට සිද්ධ වුණා. රටපුරා පාලක පැළැන්තියයි, සාමාන්‍ය ජනතාවයි අතර හිංසාකාරී සිවිල් කෝලාහලයක් දක්වා මේක වර්ධනය වෙන්න තිබුණ ඉඩ නැවතුණා.

ඇත්තටම මේ අරගලයේ ආත්මයේත් කොටසක් අහිමි වුණා ඒ දවසේ. ඒත් එතැනට රට පත් කළේ සාමකාමීව, නිහඬව, අවිහිංසාවාදීව බෝඩ් අල්ලාගෙන හිටපු අයට ඇහුම්කන් නොදුන්න නිසා. බහුතරයක් මිනිස්සු හිතන විදිය හොඳටම දැන දැන, ඒක බාරගන්න රාජපක්ෂලා සූදානම් නොවූ නිසා. ඒක අවසන් වුණේ ජුලි 9න්.

ගෝල්ෆේස් එකේ හිටපු තරුණ ක්‍රියාකාරීන් මාධ්‍ය සාකච්ඡා පවත්වලා හිංසනය ඇති කියා කතා කළා. අපේ චැනල් එකේම ඉතිහාසයට ගියොත් එහෙම ඒවාට විරුද්ධ අදහස් දකින්න ලැබේවි.

ඒත්, ඔහු මේ කතාව ගේන්නේ අද සිද්ධවෙන මර්දනයට පක්ෂ අදහසකින්. ඉවර කරන්නේ වෙනම නෝට් එකකින්.

‘මට අවුරුදු විස්සක් තිබුණා නම්, අවුරුදු දහයක් ඉඳලා මම මැරිලා යයි. ඒත් මම කියනවා අර තරුණයන්ට හිරිහැර කරන්න එපා. ඔවුන්ගේ පිටිපස්සේ ඉන්නේ ත්‍රස්තවාදී නායකයෝ.‘ වෙල්ගම මහතා එහෙම කීවා.

වෙල්ගම මහතාගේ කතාව, ඔහු කතා කරපු ස්වරය මීට කලින් ඔහුගේ ස්වරයට සම්පූර්ණයෙන් වෙනස්. වෙල්ගම මන්ත්‍රීවරයා මේ පාර්ලිමේන්තුවේ කරපු කතා බොහෝ විට සැහැල්ලුවෙන් කරපු ඒවා. ඊට වඩා අඳුරු, වේදනාබර පෙනුමක් මේ කතාවේ තියෙනවා. මේ රට පත්වෙලා තියෙන තත්වයත් සංකේතවත් වෙනවා අන්න ඒ ස්වරය තුළින්.

කොහොමහරි මට අවශ්‍ය ඒ සිදුවීමට කණගාටුව ප්‍රකාශ කරන්න. ඇත්තටම මේ විරෝධතා ව්‍යාපාරය තුළ සිදුනොවිය යුතු දේවල් බොහොමයක් තිබුණා. ඒක ඉන් එකක්.

ඒත්, වෙල්ගම මහතාගේ ජීවිතයත්, ගෝල්ෆේස් හිටපු අනුරංගගේ සහ විශ්වගේ ජීවිතත් බේරුණා. මේ වෙද්දී ශ්‍රී ලංකාවේ අර්බුදය නිසා නැතිවෙච්ච ජීවිත ගාණ බොහොමයි.  

මේ තමයි වෙල්ගම මහත්තයෝ මේ රටේ පාලකයන් හදපු රට. මේ ජනතාව පවා අපි දපු ජනතාවක් නෙවෙයි. මේ ජනතාව වෙනස් කරන්න අපිත් දඟලනවා. මේ ඉන්නේ ඔබ නියෝජනය කරපු පාලක පැලැන්තිය හදපු ජනතාව මහත්තයෝ. අපි මේ රටත්, ජනතාවත් ක්‍රමානුකූලව වෙනස් කරන්න ඕනෑ.

වෙල්ගම මහතා ප්‍රශ්නයට විසඳුම විදියට හිතන්නේ හදිසි නීතිය. මර්දනය තව තවත් තද කිරීම. ඒත්, නැවතත් සිද්ධ වෙන්නේ රටේ මිනිස්සු බහුතරයක් හිතන විදිය හොඳින්ම දැන දැන ඒක ගණං නොගෙන පාලකයන් කටයුතු කරන එක. ඇත්තටම වත්මන් දේශපාලන අර්බුදය විසඳුම තමයි පාලකයන් ජනතාවට ටිකක් හිස නමන එක. තමන්ගේ උද්දච්ඡකම අඩු කරගන්න එක. ‘අරගල කළොත් ගුටි දෙනවා‘ වගේ කතා නොකියා ඉන්න එක. ඒ වෙනුවට තමන් සුළුතරය බවත්, ජනතාව කියන්නේ බහුතරය බවත් තේරුම් ගන්න එක.

ඒ නිහතමානීකම, බලලෝභී වැඩ නොකර බලය අත්හරින්නට සහ මහජන හඬට ඉඩ සලසන්නට පාලකයන් යොමු කරන එක කුමාර වෙල්ගම වගේ කෙළින් කතා කරන්න පුළුවන් අත්දැකීම් වැඩි අයගේ වගකීමක්.

කුමාර වෙල්ගම කියන දේශපාලනඥයාට මේ අර්බුදය නිසා ජීවිතයෙන් කොටසක් අහිමි වුණා. මේ රටේ මිනිස්සු අතර ඉන්න බොහෝ දෙනෙකුටම පහුගිය අවුරුදු කිහිපයේදී බොහෝ දේ නැතිවුණා. පාලකයන්ගෙ අසමර්ථකම නිසා රටපුරා පැතිරුණ කොවිඩ් වසංගතයෙන්ම ජීවිත කීයක් නැති වුණාද? පෝළිම්වල කී දෙනෙක් මියගියාද? දැන් කොච්චර ජීවිත විනාශ වෙනවාද? හොඳ හෘදය සාක්ෂියක් සහ රට ගැන හැඟීමක් තියෙන තරුණයන් කී දෙනෙක් මේ වෙද්දී තමන්ව අත්අඩංගුවට ගනීවිදැයි කල්පනා කරමින් මානසික පීඩනයක ඇතිද? ඒ සියල්ල මේ රටේ දියුණුවට ෆෝකස් කරන්න තිබුණු දේවල්. අපතේ නොයා යුතු දේවල්.

ඒ නිසා ගෝඨාභයට අවශ්‍ය මොහොතේදී එරෙහි වුණා වගේ, මේ බල වියරුවටත් අවශ්‍ය මොහොතේ එරෙහි වෙන්න කියා වෙල්ගම මහතාගෙන් ඉල්ලනවා.