මන්ත්‍රී චාමර සම්පත්, පොලිසිය ලවා ගුරුවරයෙකගේ වැඩ තහනම් කරලා! නීති විරෝධීයි

හාලිඇල පොලිස් ස්ථානාධිපතිවරයාගේ පොලිස් පණිවිඩයක් මත කියමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගේ පැමිණිල්ලකට සම්බන්ධ සිදුවීමක් පදනම් කරගෙන හාලිහැල ප්‍ර දේශයේ ගුරුවරයෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇති බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

මෙය ආයතන සංග්‍රහයට පටහැනිව ගත් තීන්දුවක් බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඌව පළාත් අධ්‍යාපන ලේකම්ගේ අත්සනින් යුතු 2022 ජුලි 24 දිනැති, 9/පා/1/1 අංකයෙන් යුතු ලිපිය මගින් බ/ ගලඋඩ මහා විද්‍යාලයේ සේවය කළ ඒ.එම්. කුමාර අන්දරගේ  නම් ගුරුවරයාගේ වැඩ තහනම් කිරීම සිදුකරලා තියෙනවා. එහෙත් වැඩ තහනමට ලක් කිරීමට හේතු ලෙස පෙන්වාදී ඇත්තේ ජුනි 04 වැනිදා ලබා දුන් පොලිස් පණිවිඩයක්. එම පොලිස් පණිවිඩයට පදනම් වී තිබෙන්නේ ඌව පළාත් මහඇමති චාමර සම්පත් පොලීසියට කරන ලද පැමිණිල්ලක්.

අන්දරගේ මහතා සමාජ මාධ්‍යවල පළ කරන ලද අදහස් දැක්වීමක් පදනම් කරගනිමින් ඔහුව අත්අඩංගුවට ගෙන, බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එහිදී එම ගුරුවරයා බන්ධනාගාරගත කරන ලෙස පොලීසිය කරන ලද ඉල්ලීම ඉවත දමමින් ඇප ලබා දී තිබුණා.

කෙසේ වෙතත් ඌව පළාත් කාර්ය පටිපාටි සංග්‍රහයත් උපුටා දක්වා, පොලිස් පණිවිඩය මූලික කරගනිමින් ගුරුවරයාගේ වැඩ තහනම් කිරීමට ඉන් පසු පියවර ගෙන ඇත්තේ ආයතන සංග්‍රහයත් උල්ලංඝනය කරමින්.

මෙය ඉතාම පැහැදිලිව ඌව පළාත් මහඇමතිවරයාගේ වුවමනාව මත ආයතන සංග්‍රහය උල්ලංඝනය කිරීමක්.