විපක්ෂයේ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කරයි

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ කිහිපයක් මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීන්දු කරලා තියෙනවා. මේ ගැන පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කීවේ විපක්ෂයේ ‘සියලුදෙනා‘ පාර්ලිමේන්තුව වර්ජනය කරන බව.

කෙසේ වෙතත් විපක්ෂයට ගියායැයි ප්‍රකාශ කරන විමල් වීරවංශ ඇතුළු පිරිස පාර්ලිමේන්තුව වර්ජනය නොකරන බව කීවා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ජුනි 21 වැනිදා පාර්ලිමේන්තුවේදී තමන්ගේ තීන්දුවට කරුණු පැහැදිලි කළා.

ආණ්ඩුවේ නායකයන් ගිරා පෝතකයන් පමණක් වී ඇති බවත්, රටේ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර නොසොයන බවත්, අර්බුදය මැද ගෑස්වලින් පවා හොරාකන බවත් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ විකාරරූපී බල කඳවුරු දෙකක් ආණ්ඩුවේ නිර්මාණය වී තිබෙන බව. මේ පාලනය තවදුරටත් වලංගු නැති බව අනුර කුමාර දිසානායක මහතා කීවා. ආණ්ඩු රටේ ප්‍රශ්න විසඳීමට අදාල කෙටිකාලීන සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඔහු කීවා. ප්‍රශ්න විසඳන යෝජනාවලියක් ඉදිරිපත් කිරීමෙන් තොරව පාර්ලිමේන්තුව රැස් වී පලක් නැති බව ඔහු කීවා.

ඉන්පසු අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර කීවේ පාර්ලිමේන්තුව කතා සාප්පුවක් බවට පත්වෙලා කියලා. එක්කෝ පාර්ලිමේන්තුව රැස් නොවී, විසඳුමක් හොයලා රැස්වෙන්න ඕනෑ බවත්, නැත්නම් වහලා දාලා නිකන් ඉන්න ඕනෑ බවත් ඔහු කීවා. මේ වෙද්දී 225ම බැණුම් අහන බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා තියෙනවා. ගෑස් මිලට ගැනීමේදී ඩීල් දැම්මේ 225ම බව චෝදනා එල්ලවෙන බවත්, විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් ටෙන්ඩර් මගඩිවලට සම්බන්ධ වෙලා නැති බවත් ඩොලර් 95ට ගන්න ඕනෑ ගෑස් එක ඩොලර් 129ට ගත්තේ ඇයිද කියා ආණ්ඩුව පැහැදිලි කළ යුතු බවත් කීවා.