ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ගාලුමුවදොර කෙරෙන උද්ඝෝෂණවල නිරත පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත්, ඔවුන්ගේ සුබසාධන කටයුතු ගැන රජයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කර තිබේ.
එම පැමිණිල්ල පහත දැක්වේ.
විනිසුරු (විශ්‍රාමික) රෝහිණී මාරසිංහ මහත්මිය,
සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
කොළඹ.
සභාපතිතුමියනි,
ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන ලෙස ඉල්ලා සිටීම
ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයේ යෙදී සිටින පුවැසියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් උද්ගතවී තිබේ. එම කරුණු පහත කෙටියෙන් ඉදිරිපත් කරමු.
1) ගණේමුල්ලේ හමුදා කඳවුරකදී හමුදාවේ පිරිසක් උද්ඝෝෂණය කරන බව කියැවෙන වීඩියෝවන් සමාජ මාධ්‍යවල සංසරණය විය. එම වීඩියෝපටය සංසරණය වූයේ හමුදාවේ හෝ වෙනත් අංශයක පිරිසක් උද්ඝෝෂකයන් ලෙස ගාලු මුවදොරට යොදවා ඔවුන් ලවා ගැටුමක් ඇති කර ඒ ඔස්සේ උද්ඝෝෂණය විසිරුවාහැරීමට ආරක්ෂක අංශ මැදිහත්වීමක් සිදු කිරීමේ සැලසුමක් ගැන ප්‍රචාර පැතිර යද්දීය.
2) අප්‍රේල් 24 වැනිදාට පෙර උද්ඝෝෂකයන් පලවා හැරීමට ආණ්ඩුව යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරමින් සිටින බවටද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නට විය.
3) මීට පෙර රතුපස්වල සහ මිරිහානේ අත්දැකීම් සමඟ මේ ප්‍රචාර අසත්‍යයැයි බැහැර කරීමට නොහැකිය. මේ ආකාරයට උද්ඝෝෂණ කඩාකප්පල් කළ ඉතිහාසයක් වර්තමාන ජනාධිපතිවරයාට තිබෙන බැවින් මෙම ප්‍රචාරය ඉතාම සැලකිල්ලෙන් අවධානයට ලක් කළ යුතුය.
4) ‘ගෝඨාගෝගම’ පිහිටා ඇත්තේ ආණ්ඩුව විසින් උද්ඝෝෂණ පැවැත්වීම සඳහා වෙන් කළ භූමි ප්‍රදේශයේය. මෙම ප්‍රදේශයට දිනකට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විරෝධතා සඳහා පැමිණෙති. මෙම පිරිස සඳහා ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් සැපයීම රජයේ වගකීමකි. එම ස්ථානයේ තාවකාලික වැසිකිලි පද්ධතියක් ඉදි කර ඇත්තේද උද්ඝෝෂණයට සහාය දක්වන පිරිසකගේ මූල්‍ය පරිත්‍යාගයෙනි. සාමකාමීව විරෝධතා පැවැත්වීම මූලික අයිතියක් බැවින් විරෝධතාකරුවන්ට අවශ්‍ය වැසිකිලි පහසුකම් සහ ජල පහසුකම් සැපයීම රජයේ යුතුකමක් සහ වගකීමකි.
5) එමෙන්ම උද්ඝෝෂණ ස්ථානයේ දුරකතන සබඳතා සීමා වී ඇති අතර හදිසියකට දුරකතන ඇමතුමක් හෝ ගැනීමට අසීරු තත්ත්වයක් ඇත.
ඉහත කාරණා සැලකිල්ලට ගෙන උද්ඝෝෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් ද අවශ්‍ය සහන ලබා දීමට රජයට සහ රජයේ ආයතනවලට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.
ස්තුතියි.
මෙයට,
විශ්වාසී,
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
0710 66 14 17