ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4ක් ඉල්ලන්න යයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක් ඉල්ලීමට සූදානම් වේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අලි සබ්‍රි ඇතුළු කණ්ඩායමක්  යයි

අප්‍රේල් 18 වැනිදා සාකච්ඡා ආරම්භ වේ 

සාකච්ඡා ආරම්භ වීමෙන් සතියකින් පසු හදිසි ආධාරය ලැබේ 

වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3ත් 4ත් අතර මුදලක් අවශ්‍ය යැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා බ්ලූම්බර්ග් පුවත් සේවයට පවසා ඇත. 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ඉල්ලීමට අපේක්ෂාවෙන් සිටින අතර එම සාකච්ඡා අප්‍රේල් 18 වැනිදා ආරම්භ වීමට නියමිත ය. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවරදී මෙම සාකච්ඡා ආරම්භ වීමට නියමිත ය. 

එම සාකච්ඡාවලින් සතියකට පසු හදිසි ආධාර මුදල් ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යවරයා මෙහිදි පැවැසීය. 

“අපේ ඉල්ලීම හැකි ඉක්මනින් දෙන්න කියලා” මුදල් අමාත්‍යවරයා කීය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අමතරව ශ්‍රී ලංකාව අනෙකුත් මූල්‍ය ආයතන, ණය දෙන ආයතන සහ රටවලින් ද සහාය ඉල්ලා ඇති බව මුදල් අමාත්‍යවරයා කී නමුත් ඒවායේ ඉලක්කම් හෝ ප්‍රමාණ හෝ සම්බන්ධයෙන් හෙතෙම කිසිවක් සඳහන් නොකළේ ය. 

මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද වොෂින්ටන් නුවර බලා යෑමට නියමිත ය. 

මෙහෙිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත. 

මුදල් අමාත්‍යවරයා මෙම කරුණු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව ඉකුත් සතියේ දී ණය සහ පොලී ගෙවීම් අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ ය. 

ශ්‍රී ලංකාව ණය ගෙවන බවට සහතිකයක් දෙන බව ද අලි සබ්‍රි මහතා මෙහිදි ආයෝජකයන්ට පැවැසීය. 

“අපි පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා. අපි ණය ගෙවනවා” මුදල් අමාත්‍යවරයා කීය. 

“අපි පොරොන්දු වගකීම් ඒ ආකාරයෙන් ඉටු කරනවා. ඒ ණය මුදල් ගෙවනවා. ඒ වුවමනාව තිබෙනවා. ඒ කැපවීම තිබෙනවා. එහෙත් අපට මේ හදිසියේ ගෙවන්න මුදල් නැහැ” යැයි ඔහු කීවේ ය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමත් සමඟ බැඳුම්කර හිමියන් ආදී පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවට යම් සහායක් ලැබෙනවා යැයි ගෝලීය වෙළෙඳපොළ විශ්ලේෂණ සමාගමක් වන සිටිගෲප් සමාගම සඳහන් කළේ ය.  

ශ්‍රී ලංකාව මේ අවස්ථාවෙන් ගොඩ ඒම සඳහා මූල්‍ය සහාය අපේක්ෂා කරමින් සිටින අතර චීනය සහ ශ්‍රී ලංකාව ආදී රටවලින් ද සහාය ලබාගැනීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය. 

මෙම සහාය ලබාගනිමින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ කරමින් වියදම් අඩු කර ආදායම් වැඩි කිරීම ට පියවර ගන්නා බව ද ඔහු කීය. 

බ්ලූම්බර්ග් ඇසුරිනි