ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සහ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සම්බන්ධව මානව හිමිකම් සංවිධාන වෙත ලිපියක්

වෙත –

1) එක්සත් ජාතීන්ගේ සංවිධානය

2) යුරෝපා සංගමය

3) ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය

4) ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය

5) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

6) හියුමන් රයිට්ස් වොච් සංවිධානය

7) වෙනත් මානව හිමිකම් සංවිධාන සහ ආයතන

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සහ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සම්බන්ධවයි

1) ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා රට තුල ආර්ථික සහ සමාජීය ගැටලු රැසක් මතුවන්නට විය. ඒ සමඟ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පුරවැසියෝ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සාමකාමී විරෝධතා කළහ. 

2) මෙම විරෝධතා මාලාවේ දී මාර්තු 31 වැනිදා ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස අසලද සාමකාමී විරෝධතාවක් පැවැත්විණි. එම සාමකාමී විරෝධයට පොලිසිය කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් පොලු ප්‍රහාර සහ වෙඩි ප්‍රහාර එල්ල කරමින් මර්දනය කිරීමට උත්සාහ කළේය. යම් සංවිධානාත්මක පිරිසක් (මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.) උද්ඝෝෂකයන් අතරට යොමු කර කඩාකප්පල් කාරී ක්‍රියා සිදු කිරීමට උත්සාහ කළේය. හමුදා බස් රථයකට ගිනි තැබීම එවැනි සැලසුම් සහගත ක්‍රියාවකි.

3) මිරිහානේ විරෝධතාවයෙන් පසු ජනමාධ්‍යවේදීන් ඇතුළු 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසියේ රඳවා ගනිමින් පහර දුන්හ. පහරදීම ආරම්භ වූ මොහොතේම (අප්‍රේල් 01 අලුයම 3ට පමණ) ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මේ ගැන මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිට දැනුම් දුන්නද පහරදීම දිගටම සිදුකරගෙන ගියේය. මානව හිමිකම් කොමිෂන් සභාව මෙය නතර කිරීමට ඒ මොහොතේම මිරිහාන පොලිසියේ නිලධාරීන් සම්බන්ධ කරගෙන දැනුම් දුන්නද ඔවුන් මානව හිමිකම් කොමිසමට යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. පසුදින දහවල් 11ට පමණ කොමිසමේ නිලධාරීන් යන තුරු උද්ඝෝෂකයනට පහර දී රඳවා තබාගෙන සිටියේය. උද්ඝෝෂකයන්ට ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන චන්දන වික්‍රමරත්න මහතා මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කළේ නැත. උද්ඝෝෂකයන්ට පහර දෙන ආකාරය සජීවීව පෙන්වූ සිරස රූපවාහිනියට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙස දන්වමින් ඔහු ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට සහාය දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කළේය.

4) හමුදාව සහ පොලිසියේ කණ්ඩායමක් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු කණ්ඩායමක් ද ප්‍රදේශයේ නිවාසවලට ඇතුළුවී නිවැසියන්ට පවා පහර දුන්හ. 

5) පසුදින උදෑසන ජනමාධ්‍යකටයුතු සඳහා මිරිහානට ගිය ජනමාධ්‍යවේදීන්ට ජනාධිපති මාධ්‍ය අංශයේ දැඩි ලෙස බාධා සහ තර්ජන එල්ල විය. ඒ සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කළද තවම සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත. පොලිස්පතිවරයාට ද පැමිණිලි කර ඇතත් මේ සම්බන්ධයෙත් තවමත් ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

6) ඉන් පසු දිවයින පුරා විරෝධතා මාලාවක් සූදානම් කර තිබියදී හදිසියේ ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය සහ ඇඳිරිනීතිය පනවනු ලැබ පුරවැසියන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය.

7) දුරකතන සේවා සමාගම්වලට නීති විරෝධී නියෝග ලබා දෙමින් සමාජ මාධ්‍ය අවහිර කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. 

8) දිගින් දිගටම ආණ්ඩුවෙන් ගෙන ආ මර්දනකාරී ක්‍රියාකාරකම්වලට එරෙහිව පුරවැසියෝ දේශපාලන පක්ෂ බේදයකින් තොරව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලු මුවදොර ප්‍රදේශයේ නොනවතින විරෝධතා මාලාවක් ආරම්භ කළ අතර අදට එම විරෝධතාවට දින 08කි. ලක්ෂ ගණනක් පුරවැසියෝ විවිධ ප්‍රදේශවල සිට කොළඹට පැමිණ විරෝධතා පවත්වති. 

9) මෙම විරෝධතා කඩාකප්පල් කිරීම සඳහා ආණ්ඩුව ජාතිවාදය පැතිරවීමට උත්සාහ කළ ද උද්ඝෝෂකයෝ ජාතිවාදය ප්‍රතික්ෂේප කළහ.

10) දැන් ආණ්ඩුව විරෝධතා මැඩැපැවැත්වීම සඳහා නීත්‍යනුකූල නොවන විවිධ ක්‍රම අත්හදා බලමින් සිටින බවට දැනටන්නට තිබේ. 

11) මීට දින දෙකකට පෙර ගනේමුල්ලේ යුද හමුදා කඳවුරේදී හමුදාවේ පිරිසකට උද්ඝෝෂණ සටන් පාඨ කියමින් පුහුණු කරන වීඩියෝ පඨයක් සමාජමාධ්‍යවල සංසරණය විය. හමුදාවේ හෝ වෙනත් කණ්ඩායමක් උද්ඝෝෂකයන් ලෙස පැමිණ ආණ්ඩුවට එරෙහිව සටන් පාඨ කියමින් පසුව ආරක්ෂක අංශයේ සාමාජිකයන් සමඟ බරපතල ගැටලුවක් නිර්මාණය කර ඒ ඔස්සේ ආරක්ෂක අංශ නීත්‍යනුකූල රාමුවකින් උද්ඝෝෂකයන් පලවා හැරීමට සැලසුමක් ඇතිබවටද ප්‍රචාර කිහිපයක්ම පසුගිය දිනවල පැතිර ගියේය.

12) ආණ්ඩුව මගින් යෙදවූ එවැනි පිරිසක් ප්‍රචණ්ඩ කාරී ලෙස හැසිරීමට උත්සාහ කර ගැටුමක් ඇතිවී උද්ඝෝෂණය මර්දනය කළහොත් රටපුරා පුරවැසියන් උද්ඝෝෂණ දියත් කර විශාල ලේ වැගිරීම් සිදුවීමේ අවධානමක් තිබේ.

13) ඊට අමතරව උද්ඝෝෂණ විසිරුවා හැරීම සඳහා ආරක්ෂක අංශය බලය භාවිත කිරීමටත් අධිකරණ නියෝගයක් ගැනීමටත් යන බව තවත් තොරතුරක් තිබේ. මෙවැනි කටයුතු නිසා පුරවැසියන්ගේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස අහිමිවනවා පමණක් නොවන පුරවැසියන්ගේ පීඩනය තවදුරටත් වර්ධනය වීමට ඉඩ තිබේ.

14) මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කෙරෙන උද්ඝෝෂණ සහ සත්‍යග්‍රහ ආරම්භ වී තිබේ. ගාල්ලේදී පෙරේදා ආරම්භ වූ සත්‍යග්‍රහයේ අට්ටාලය අද උදෑසන පොලිසියේ පිරිසක් විසින් කඩා ඉවත් කරනු ලැබීය. 

15) වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් ලෙස සිටියදී ගම්පහ වැලිවේරිය රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට හමුදාව ලවා පහරදී වෙඩි තැබීය. ඉන් තිදෙනෙක් මිය ගියහ. ඊට අමතරව මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්ට චෝදනා එල්ල කළ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේය. එම ඝාතනය එල්ටීටීඊට බැර කිරීමට තවත් ඝාතන කිහිපයක් කළ බව විමර්ශනවලින්   හෙළිදරව් විය. ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් අතුරුදන් කරනු ලැබීය. එහි සාක්කිකරුවකු දුන් ප්‍රකාශයක මෙය ‘ලේකම්ගේ’ නියෝගයක්යැයි කියැවී තිබිණි. කීත් නොයාර් මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් වධහිංසා කළ අතර එය හමුදාවේ කණ්ඩායමක් විසින් සිදු කරන ලද්දක් බව විමර්ශකයෝ හඳුනා ගත්හ. දුරකතන විශ්ලේෂණ වාර්තා පරීක්ෂා කරද්දී එවකට ආරක්ෂක ලේකම්වරයාගේ සම්බන්ධතාවය ගැන සැක මතුවී තිබිණි. මෙවැනි සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබේ. මේවා ගැන විමර්ශන කළ ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වූ විගසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වැඩ තහනම් කළේය. පසුව ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත්තේය. 

16) එසේම වර්තමාන ආණ්ඩුවෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ද බරපතල චෝදනා තිබේ. මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් වධහිංසා කිරීමේ සිද්ධියේ සාක්කි වසන් කිරීම යටතේ ඔහු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය විමර්ශන සිදුකරමින් සිටි අතර වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු එය නතර විය. පාස්කු ප්‍රහාරය ගැන කලින් තොරතුරු ලැබී තිබියදීත් අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා පත්‍ර නිර්දේශ වුවද ඒවා නතර කර තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදියකුට සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු තර්ජනය කළේය. ඊට එරෙහිව පොලිස්පතිට පැමිණිලි කළද තවම විමර්ශනයක් සිදු කර නැත. ඔහු සම්බන්ධයෙන් ද දැඩි මතබේදාත්මක තත්ත්වයක් තිබේ. ආණ්ඩුවේ නීති විරෝධී නියෝග ඔහු පොලිසිය ලවා ක්‍රියාත්මක කරතියි පොලිසියේ පිරිස්ම චෝදනා කරන පසුබිමක ඔහු වැනි නිලධාරියකු මේ මොහොතේ බස්නාහිර පළාත භාරව කටයුතු කිරීම බරපතල තත්ත්වයකි.

17) මෙවැනි තත්ත්වයක් හමුවේ ආණ්ඩුවට හිතවත් පොලිසියේ සහ හමුදාවේ පිරිස් යොදා ගනිමින් උද්ඝෝෂණ මර්දනය කිරීමට සහ උද්ඝෝෂකයන්ට සහයෝගය දක්වන්නන් මර්දනය කිරීමේ සැලසුම් ගැන වාර්තාවෙමින් තිබෙන අතර එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඇතැම්විට ශ්‍රී ලංකාවේ ලේ වැගිරීම් වීමට පවා කඩකඩ තිබේ.

18) එබැවින් මේ තත්ත්වය ගැන සලකා බලා එවැනි කටයුතු නොකරන ලෙස ආණ්ඩුවට බල කරන ලෙසත්, පුරවැසි අයිතිවාසිකම් මර්දනය කරන දේශබන්දු තෙන්නකෝන් වැනි නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුවට බල කරන ලෙසත්, ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන්දෙන ලෙස ජනාධිපතිවරයාට බලකරන ලෙසත්, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මයට විශ්වාසී,

ශ්‍රී ලංකා තරුණ ජනමාද්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන්