අපගේ දෑස් ඉදිරිපිට ගී ගැයූ ‘ශිරාස් රූඩ්බ්වෝයි’ ජීවන ගැයුමට සමුදුන් බව අසන්න ලැබුණේ අප එතැනින් පිට වුණාට පස්සේ. ශිරාස් ගැයූ මේ පුංචි වේදිකාව ඉතාම ආදරණීය සහ සංවේදී තැනක්. ඉතාම අසීරුවෙන් සහ සහයෝගයෙන් ගොඩනැගුණු වේදිකාවක්. ශිරාස්ගේ ඒ අවසන් ගැයුමට පසුබිම සැකසූ හැටි කෙටියෙන් කියන්නම්.
ඇත්තටම මේ වේදිකාවට ශිරාස් ආවේත් අහම්බයෙන්. ඒ ආපු හැටිත් හරිම විශේෂයි, හැඟුම්බරයි.
ශිරාස්ගේ ජීවිතය තුල ඔහු වාණිජමය සංගීතය පස්සේ නොගිය කෙනෙක්. සමහරුන් කියන විදියට ඔහු ලංකාවේ පළවැනි රැප් ගායකයාලු. එය සත්‍ය වුණත්, නැතත් අද වාගේ රැප් සංගීතය ප්‍රසිද්ධ නැති කාලේ ඔහු ලංකාවේ වැඩ කළා. ඒත්, කවදාවත් ලොකු ස්ටුඩියෝ, රූපවාහිනී නාළිකා සහ වෙළඳ ආයතන පස්සේ සීමාව ඉක්මවලා ගියේ නැහැ. ( ඒ යන අය නරක අය කියලා නෙවෙයි මේ කියන්නේ. ශිරාස්ගේ කලා භාවිතය ඒ අයට වඩා වෙනස්. එච්චරයි.)
ශිරාස්ට වෙන ක්‍රවුඩ් එකක් හිටියා. ප්‍රකට සේනක පෙරේරා වගේම ඔහුත් සිංදු ප්‍රසිද්ධ කරන්න දැඟලූ කෙනෙක් නෙවෙයි.
අපි යොමු වෙමු ඔහු ගැයූ වේදිකාවේ කතාවට. මේ ඔක්කොම කියන්නේ මේ විරෝධතාවල කෑම්බීම්වල සිට මේ වගේ ප්‍රසංග දක්වා දේවල් සූදානම් වෙන ස්වභාවය එළියේ ඉඳං කට ඇරං බලං ඉන්න අයට පැහැදිලි කරන්නත්, අනෙක් පැත්තෙන් මේ විදියට දිගට ඇදෙන විරෝධයට කෑම විතරක් නෙවෙයි, සංගීතය සහ අනෙකුත් සංස්කෘතිකාංග වැදගත් කියා හිතන නිසාත්.
ශිරාස්ට ආචාර පිණිස මේ විරෝධතා බිමේ තවත් සංගීත වේදිකා තැනෙන්න ඕනෑ. අරගලකරුවන් එක්ක සංගීතය මුහු වෙන්න ඕනෑ. අරගලයට ගායනය එක්වෙන්න ඕනෑ. මේ අරගලබිමට ආහාර වගේම ශිරාස්ලාගේ ගැයුම් ඕනෑ. සාමූහිකව ගයන්න ඕනෑ. අරගලයට ගැළපෙන ගීත ඕනෑ. මේ වැඩ සංවිධානය කරන්න අසීරු නෑ. හිතුවොත් ඉබේම වගේ සිද්ධ වෙනවා.
මේ සංගීත වේදිකාව හැදුවේ එක් අයෙක් නෙවෙයි. ඒක හැදුණේ ලෙහෙසියෙනුත් නෙවෙයි. මා හිතන විදියට මේ වගේම මෙතැන ගී ගැයූ බොහෝ අය ඒවා සූදානම් කර ගන්න ඇත්තේ ලෙහෙසි පහසු විදියට නෙවෙයි.
ඔබ දන්නවා ඇති. මෙලෙස පිරිසකට සංගීතය සපයන්න නම්, වියදම් අධික භාණ්ඩ ගොඩක් අවැසි වෙනවා. ස්පීකර්, මික්සර් ආදී නොයෙකුත් අඩුම කුඩුම ඕනෑ. ඒවා කුලියට ගන්නට වියදමක් යනවා. මේ වගේ තැනකට නම් විදුලි බලයත් ලබා ගන්න වෙන්නේ ජෙනරේටරයකින්. වැස්සට හට් එකක් ඕනෑ.
මේ කිසිවක් නැතත් අජිත් කුමාරසිරි, නාමිණී පංචලා ඇතුළු ගී ගයන්නන්ට ඕනෑකමක් තිබුණා අරගල බිමේ ගයන්න. මුලින්ම තිබුණේ ඒ සාධකය. අජිත් කුමාරිසිරි ඇතුළු මෙතැන ගී ගයන්න සූදානම් වූ අයත් ශිරාස් වගේම ජනප්‍රියත්වය පස්සේ නොගිය, ලොකු දර්ශනයක් එක්ක මියුසික් කරපු අය.
ඒ ඕනෑකම එක්ක මමත්, රේඛාත් කිව්වා බය නැතිව සිංදු කියන්න කිහිපදෙනෙක් ලෑස්ති කර ගන්න, සෙටප් එකකුත් ලෑස්ති කරගන්න, වියදම් අපි හොයා ගන්නම් කියලා. ඒත් පොදුවේ සල්ලි ඉල්ලන්න බැරි නිසා, අපි හිතවතුන්ට විතරක් වියදම ගැන පණිවිඩේ දුන්නා. හෂිත අබේවර්ධන සහෝදරයා ඒකට යන වියදමෙන් කොටසක් දුන්නා.
ඒත් ජෙනරේටරයක් තිබුණේ නෑ. මුලින්ම ඒකට බේකරියේ විරාජ් ලියනආරච්චි සහ අජන්තා අක්කා ඇතුළු පිරිස ජෙනරේටරයක් ගේන්න පොරොන්දු වුණා. ඒත් ඒකට ඉන්ධන ඕනෑ වුණා.
ආරංචිය ආවේ ඒක ඩීසල් ජෙනරේටරයක් කියා. ඉතින් මා පෝස්ට් එකක් දැම්මා ඩීසල් ටිකක් ඕනෑ කියලා. ඩීසල් හොයා දුන්නේ ජනක ඉණිමංකඩ සහ ෆේස්බුක් එකේ පෝස්ට් එක දැකලා කතා කරපු සහෝදරයෙක්.
ඒත්, ඩීසල් මග එද්දී තමයි දැනගත්තේ ජෙනිය පෙට්‍රල් එකක් විත්තිය. වාහනේකින් හරි පෙට්‍රල් ටිකක් ඇදගමු කියලා හිතුවා. ඩීසල් ටිකත් ගෙන්නාගත්තා ඊළඟ ෂෝ එක ප්ලේ කරන්නට.
ඒත් යම්කිසි අප්සෙට් එකක් නිසා බේකරියේ ජෙනියෙන් විදුලිය ගන්න බැරි වුණා. ඔය අස්සේ මහා වරුසාවක් කඩා වැටෙන්නත් ගත්තා.
‘දැං ප්ලේ කරන්න බෑ වගේ නේද? ‘ කියලාත් හිතුණා. ඒත් මේ අරගලයට ප්‍රාණවායුව පිඹින්න සිංදුවකුත් ඕනෑ බව හිතට වධ දුන්නා.
කොහොමහරි වැස්ස අස්සේ, ජෙනියත් වැඩ නැති තැන හතට කරන්න හිටපු ෂෝ එක රෑ දහය විතර වෙනතුරුම කල් ගියා. කට්ටිය වයර් උස්සං ගිහින් එහාපැත්තේ වෙන කාගේදෝ ජෙනියකින් පවර් එක ගන්නත් බැලුවා. ඒත්, පවර් මදි.
දැං සිංදු කියන්න අජිත් අයියලා ඇතුලු පිරිස ලෑස්තියි. ඒත්, පවර් එක නෑ. වැඩේ අත්හරින තැනට සියලු පසුබිම් සැකසුණා. ‘ජෙනියකුත් හොයාගෙන හෙට කරමු’. කට්ටිය කතා වුණා. හිටපු අය මැළවිලා.
ඒත්, ඒ අස්සේ ගෙදර යන්න ලෑස්ති වෙච්ච ජීප් එකක ආපු කොල්ලෙක් කීවා, ‘මචං මගේ යාළුවගෙ ජීප් එකේ ජෙනිය තියෙනවා. හැබැයි අපි මෙතැනින් යන්න ලෑස්ති. උඹල වෙන ජෙනියක් ගෙන්නපං. එතකං පැයක් මේකෙන් ගහමු’ කියලා. රෑ 12 වෙනතුරු. හැබැයි ඔවුන්ට ඊට වඩා වෙලා ඉන්න බෑ. ‘මචං පොඩි ළමයි අරන් ආවෙ. ගෙදරට අරන් යන්න වෙනවා.’ කියලා ඒ වෙලාවේ හඳුනාගත්, නම නොදත් මිත්‍රයා කීවා.
ඒ විදියට ජීප් එකකින් විදුලිය ආවා. ඔය විදියට වේදිකාව සූදානම් වුණා. සවුන්ඩ් සෙටප් එක ලෑස්තියි.
අජිත් අයියා පටන් ගත්තා. ‘පාර්ලිමේන්තුව ඇතුළට සඳ පායනවා- සඳ එළියට පිස්සු හැදිල බල්ලො බුරනවා.’ ‘මං ඔයාට කැමති නෑ. දේශපාලන පකයෝ.’, ‘මේ රට මගෙ නෙවෙයි, මගෙ අම්මගෙත් නෙවෙයි.’ අජිත් අයියා වැස්සේ ගහද්දී, ටෙන්ට් එක ළඟට කොල්ලෝ කෙල්ලෝ වට වුණා. සමහරු මේ සමහර සිංදු අහන්නෙත් මුල්ම වතාවට.
අජිත් අයියා ඒ වෙලාවේම ලියපු සිංදුවකුත් කිව්වා. හැබැයි ඒ වෙලාවේම අහපු වචන ටික අල්ලාගෙන, සිංදුවේ අන්තිම හරිය යද්දී වට වෙච්ච කොල්ලෝ කෙල්ලෝ සෙට් එකම සාමූහිකව ඒ ගීය ගැයුවා.
අජිත්ගේ සිංදුවලින් පස්සේ ගායකයන් එකිනෙකා ගී ගැයුවා. සමහරුන්ගේ අලුත්ම සිංදු. ඒ අස්සට ආපු ‘හර්ෂ අරවින්ද’ත් ගී ගැයුවා. හර්ෂ කියන්නේ හරි දක්ෂයෙක්. ‘ගේමක් ගහමුද?’ කියල සිංදුවක් ඒ වෙලාවේම ගොතලා, අනෙක් වාදකයන් එක්ක මුහුවෙමින් ගැයුවා.
ඇත්තටම කීවොත් එතැනදීම හැදුණ සිංදු තුනක් විතර තිබුණා.
අන්න ඒ විදියට ගී ගැයෙද්දී තමයි ‘ශිරාස්’ අයියා සන්නස්ගල සර්ලා සිංදු කියන වේදිකාව හෙයාගෙන යමින් හිටියෙ. ඒක නිර්මාණය වෙමින් තිබුණේ ටිකක් දුරින්. ශිරාස් එද්දී 12 පහුවෙච්ච ගමන්.
අපි කලින් කීවා වගේ මේ අරගල බිමේ හැදුණ එකම සංගීත වේදිකාව මේක නෙවෙයි. රෑ 12ට සන්නස්ගල සර් වැඩක් ලෑස්ති කරමින් හිටියා.
ඊට කලින් සුනිල් විජේසිරිවර්ධන ඇතුළු සැලකිය යුතු පිරිසක් එහාපැත්තේ ගී ගැයුවා. දැක්කේ නැතත් සංගීත විජේසූරියලා පවා එතැන ගී ගැයුවාලු.
ශිරාස් සන්නස්ගල සර් හොයාගෙන ගියත්, මේකත් ගීත වේදිකාවක්නේ. ඔහු ඉතින්, මෙතැන ගයන්න ඉටා ගත්තා. ඔහු එද්දී කවුරුහරි ගායකයෙක් දියවන්නා කුමාරියේ, සිහින මවන්නැති අහස උසට වගේ ගී ගයනවා. එයා එක්කම වටේ ඉන්න හැමෝම ගී ගයනවා. මහ රෑ මැද මේවා සිද්ධ වෙන්නේ.
ඒත්, ඔය වෙද්දී නිර්නාමිකවම සංගීත වේදිකාවට විදුලිය සැපයූ ජීප් රියේ හිමිකරුවන් ඇවිත් හිටියේ. ඔවුන් දැන් යන්න ඕනෑ. ඉතින්, අපි මේක අවසන් කරන්න කියන එක ගීත ගයමින් හිටපු අයට දැනුම් දුන්නා. අන්තිම සිංදුව හෝ දෙක.
අන්න එතකොට තමයි ශිරාස් මයික්‍රෆෝනය අරගෙන, ‘ගෙට් අප් – ස්ටැන්ඩ් අප්’ ගීය ගයන්න පටන් ගත්තේ. ගීය දන්න අයත් ඔහු එක්ක සාමූහිකව ගැයුවා.
ඔහු දිවියෙන් සමුගැනීම කිසිසේත් කාව්‍යාත්මක දෙයක් නෙවෙයි. ඒකේ සුන්දරත්වයක් නෑ. ඒ ගැන මහා කණගාටුවක් මිස මට නම් ඒකේ සුන්දරත්වයක් පෙනෙන්නේ නෑ. එහෙත්, ඔහුගේ ජීවිතය ගැන කියන කෙනෙක් ‘ශිරාස් අන්තිමට අරගල භූමියකට ගිහින් ඒ අරගලකරුවන්ට නැගිටින්න, හිටගන්න, ඔබේ අයිතිය වෙනුවෙන් හිටගන්න, සටන අත්හරින්න එපා’ කියා ගීයක් ගැයුවා කියලා කියාවි. ඒක ඔහුගේ ජීවිතය තුළ කිසිදා නොමැකේවි.
ඒ වගේම මේ ‘අපේර්ල් අරගලය’ ගැන අනාගතේ දවසක ලියන උදවියත් මේ අරගල භූමියේදී අරගලකාරී ගීයක් ගැයූ ඒ මිනිසා ගැන කතා කරාවි.
දැන් අපි ශිරාස් වෙනුවෙන් යමක් කරමු. තව තවත් මේ අවකාශයේ ගී ගයමු. සාමූහිකව ගයමු. බොබ් මාලේගේ සිංදුව ගයමු. තවත් සිංදු ගයමු. මේ අරගලයට සංගීතය මුසු කරමු.
ඒ තමයි ශිරාස්ට දිය හැකි ආචාරය..