කොවිඩ් වසංගතයෙන් රටේ ජනතාව බේරාගන්න හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ ජාතිය අමතමින් ප්‍රකාශයක් කළේය. ඔහු තම ‘ජාතිය ඇමතීම’ ආරම්භ කළේ වසංගතයෙන් ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ආණ්ඩුව සමත්වූ බව කියමිනි. මේ, වසංගතයෙන් ඇත්තටම ජනතාවගේ ජීවිත බේරා ගැනීමට රජය සමත්වීද යන්න ගැනයි.
කොවින් 19 ආසාදිතයකු ශ්‍රී ලංකාවෙන් මුලින්ම හමුවූයේ 2020 ජනවාරි මාසයේ අන්තිමදීය. චීන ජාතික කාන්තාවක වූ ඇගෙන් කිසිම ශ්‍රී ලාංකිකයකුට කොවිඩ් ආසාදනය වූ බවක් වාර්තා නොවූ අතර ජනවාරි 30 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. විදේශගතව සිට පැමිණෙන ලාංකිකයන්ගෙන් සහ සංචාරකයන් ලෙස පැමිණෙන විදේශිකයන්ගෙන් කොවිඩ් වෛරසය ලංකාවේ පැතිරිය හැකි බවට වූ සැකය නිසා ලංකාවේ සෞඛ්‍ය අංශ සහ ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය මෙන්ම සංචාරක මඟපෙන්වන්නන්ද මෙම තත්ත්වය වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළද ඊට ආණ්ඩුවේ සහයෝගය නොලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස 2020 මාර්තු මස 11 වැනිදා දෙවැනි කොවින් ආසාදිතයා ද ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අතර ඔහු ශ්‍රී ලාංකික සංචාරක මඟ පෙන්වන්නෙකි.
ඒ වන විට රට වසා දමා කොවිඩ් බෝවීම වැලැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විවිධ කණ්ඩායම් ඉල්ලීම් කළත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළේය. එලෙස රට වසා දැමීමේ අවශ්‍යතාවක් නැතැයි ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ අවධාරණය කළේය.
මාර්තු 20 වැනිදා වන විට කොවිඩ් ආසාදිතයන් ගණන 271 දක්වා වාර්ධනය විය. දිගින් දිගටම සමාජයෙන් ආ බලපෑම් හමුවේ රට වසා දමනවා වෙනුවට නීති විරෝධී ලෙස ඇඳිරිනීතිය පනවමින් සංචරණය සීමා කිරීමට ආණ්ඩුව උත්සාහ කළ ද එය සාර්ථක නොවීය.
‘මං තමයි හොඳටම කළේ.’ කියමින් ජනාධිපතිවරයා පුරාජේරු දෙඩවූ අතර කොවිඩ් පාලන කටයුතු විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛත්නය දරණ කණ්ඩායමකට දෙනවා වෙනුවට යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇති ජනාධිපති කාර්ය සාධක බලකායකට පැවරීය. වසංගත රෝග විශේෂඥයන්ගේ උපදෙස් පිළිපැද්දේ නැත. සෞඛ්‍ය අංශවලට කංනොදී හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායකට කොවිඩ් පාලනය බාර දුන්නද ඔවුනට තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි විය. 2020 අප්‍රේල් 30 වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 649ක් දක්වා වාර්ධනය විය.
මේ තත්ත්වයත් සමඟ කොවිඩ් දත්ත වෙනස් කර ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේය. ප්‍රාදේශීය වශයෙන් ලැබෙන දත්ත මහජනයා අතරට යෑමට ඉඩ නොදී ඊඩ වඩා දහස් ගණනක් අඩු අගයක් කොවිඩ් රෝගීන් ලෙස වාර්තා කළේය.
2020 දෙසැම්බර් 31 වන විට ශ්‍රී ලංකාවෙන් තහවුරු කළැයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රකාශයට පත් කළ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 42702 දක්වා ඉහළ ගියේය. මෙය නිල ගණන වුවද නොනිල ගණන ඊට වඩා දහස් ගණනක වැඩි අගයක් ගත්තේය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂිත තත්ත්වය කෙතරම් දුර්වලද කියතොත් ලෝකයේ තිබෙන බයානක කොවිඩ් ප්‍රබේද රැසක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විය. 2021 දෙසැම්බර් 31 වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළ රෝගීන් ගණන 586746 දක්වා වාර්ධනය වූ අතර අද වන විට එම සංඛ්‍යාව 662592කි. කොවිඩ් ආසාදනය වීම නිසා මිය ගියැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන ගණන 16489කි. සැබෑ ගණන ඊට බොහෝ සෙයින් වැඩි විය හැකිය.
ආණ්ඩුව කොවිඩ් දත්ත කෙතරම් අඩු කරන්නේදැයි කියතොත් කෑගල්ල දිස්ත්‍රික්කයේ 2022 මාර්තු 16 වන විට කොවිඩ් ආසාදිත මුළු සංඛ්‍යාව 48397ක් වන අතර සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රසිද්ධ කරන දත්ත අනුව 2022 මාර්තු 16 වන විට කොවිඩ් අසාදිත මුළු ගණන 13355කි. වෙනස 35042කි. මහනුවර සැබෑ ආසාදිතයන් ගණන 38575ක් වුවද රජය පෙන්වන ගණන 21984කි. මොණරාගල දිස්ත්‍රික්කයේ තහවුරු කළ රෝගීන් ගණන 26583ක් වුවද සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රසිද්ධ කරන ගණන 15017කි. මේ උදාහරණ කිහිපයක් පමණි. කොවිඩ් රෝගීන් දහස් ගණනින් අඩුකර සංඛ්‍යා පෙන්වා කොවිඩ් පාලනය කළ බව පෙන්වීමට රජය උත්සාහ කළේය.
ආණ්ඩුවට කොවිඩ් මතකයට ආවේ ආණ්ඩුවට එරෙහි මහජන උද්ඝෝෂණවලදී පමණි. ඇතැම් විට මේ ඇතිවෙමින් තිබෙන තත්ත්වය සමඟ යළිත් වරක් කොවිඩ් හිස ඔසවන බවට ප්‍රචාරය කිරීමට බැරි නැත.
ඉහත සියලුම කරුණු කාරනාවල සාරාංශයට ‘මම තමයි හොඳටම කළේ’ යැයි ජනාධිපතිවරයා කීවද ආණ්ඩුව කොවිඩ් තත්ත්වය පාලනය නොකළ බවයි. ශ්‍රී ලංකාවේ දහස් ගණනක් කොවිඩ් ආසාදිතයන් බවට පත් වීමට ඉඩ හැර නිසි තීන්දු තීරණය අවශ්‍ය අවස්ථාවන්හිදී නොගෙන සහ වැරදි තීන්දු තීරණ ගනිමින් ආණ්ඩුව කටයුතු කළ බවයි. කොවිඩ් ආසාදිතව දහස් ගණනක් මියයන තෙක් ආණ්ඩුව බලා සිටි බවයි. කොවිඩ් ආසාදනයෙන් මිය ගිය සෑම රෝගියකුගේම මරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ වර්තමාන ආණ්ඩුව වග කිව යුතුය.
තරිඳු ජයවර්ධන