විරෝධතා පවත්වන හැම මොහොතකම රටට ඩොලර් ඒම නැතිවෙන බව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය. ‘රට වසා තැබීමත් එක්ක විදේශ විනිමය එන මාර්ග ඇහිරුණු හැටි, විදෙස් සංචිත හිඳී ගිය හැටි මම අමුතුවෙන් කියන්න ඔ්න නෑ. තෙල් නැව මුහුදේ පෙනි පෙනී තියෙද්දි ඒ්ක බාගන්න ඩොලර් නැති නිසා ජනතාවට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තියනවා.’ යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය නිසා රටේ අර්ථිකය කඩා වැටී ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වීමට උත්සාහ කළද රටේ ආර්ථික තත්ත්වය කඩා වැටීම හේතුව කොවිඩ් තත්ත්වය නොවේ. කොවිඩ් නිසා රටේ සංචරණ සීමා පනවා තිබුණද එය බොහෝ ක්ෂේත්‍රයන් උදෙසා අදාල නොවීය. අපනයන කටයුතු ආශ්‍රිතව ද එය අදාල නොවීය.
ශ්‍රී ලංකාවේ අපනයන කටයුතු බිඳ වැටීමට ප්‍රධාන හේතුව වූයේ ඒ සඳහා රාජ්‍ය පාර්ශ්වයෙන් අවශ්‍ය පහසුකම් නොලැබීම හා වැරදි තීන්දු තීරණ ගැනීමයි. ආර්ථිකය කඩා වැටීමට හේතුව රටට දරාගත නොහැකි ලෙස ණය ගෙන, ඒවායින් කිසිම පලක් නැති ව්‍යාපෘති කිරීමය.
උදාහරණයක් ලෙස කිරි නිශ්පාදන ගතහොත් පැහැදිලිවම පසුගිය අවුරුදු කිහිපයේ අපනයනය අඩුවී ආනයනය වැඩිවී තිබේ.
‘ශ්‍රී ලංකාවේ වාර්ෂිකව කිරි නිෂ්පාදනය කරනු ලබන්නේ සියයට 40කට වඩා අඩු ප්‍රමාණයකි. ඒ නිසා පෝෂදායක නැවුම් දියර කිරි පානය සඳහා අපට ඇති අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ අනුව ඉදිරි දශකය තුළ රටට අවශ්‍ය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගනු ලැබේ.’ යනුවෙන් ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්මේ 43 වැනි පිටුවේ සඳහන් වුවද ප්‍රායෝගිකව ආණ්ඩුව කටයුතු කළේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයකටය.
ඒ කිරි ගවයන්ට ආහාර පිණිස තිබූ බිම් විශාල ප්‍රමාණයක් බහුජාතික සමාගම්වලට සොච්චම් මුදලකට බදු දෙමින් කිරි ගොවියාට යන එන මං නැති කිරීමට රජය පියවර ගත්තේය. මහඔය ගල්වල යායේ පමණක් රජය සමාගම්වලට බදු දෙන කිරි ගොවීන්ගේ ඉඩම් ප්‍රමාණයක් අක්කර 5400කි.
පොල්ලේබැද්ද කිරි සමිතියේ දිනක කිරි ප්‍රමාණය 2020 දී ලීටර 350ක් වෙද්දී 2021 අවසන් වෙද්දී එය ලීටර 125 දක්වා පහත බැස්සේය. ඒ කිරිගොවීන්ට උන්හිටිතැන් නැති කරන ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසාය.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ජාතික වශයෙන් ගත් කළ 2019 වසරේ දී කිරි හෝ කිරි නිෂ්පාදන අපනයනය කිලෝ ග්‍රෑම්1,366,712 වූ අතර 2020 අවසන් වන විට එය කිලෝ 1,057,079 දක්වා පහත වැටිණි. 2021 දී ඊටත් වඩා පහත වැටිනි. කිරි නිෂ්පාදන ආනයනය කිරීම සඳහා 2019 වසරේ දී රුපියල් 55,646,632,137 වැය වූ අතර 2020 අවසන් වන විට එම වියදම රුපියල් රුපියල් 61,933,104,709 වැඩි විය. වියදම අඩුකරගනිමින් ආදායම වැඩි කර ගැනීමට හොඳම ක්‍රමය කිරි නිශ්පාදන වැඩි කර ඒවා අපනයනය කිරීමය. නමුත් ආණ්ඩුව කළේ අනෙකකි.
රටේ ආදායම අඩුවී වියදම වැඩිවීමට හේතුව කොවිඩ් නොව පාලකයන්ගේ වැරදි තීන්දු තීරණ බව එමගින් පැහැදිලිවම වටහා ගත හැකිය.
සහල් නිශ්පාදනය පහළ වැටීම ආර්ථික අර්බුදය උත්සන්න වීමට තවත් උදාහරණයකි. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ අත්තනෝමතික තීරණයක් අනුව හදිසියේ රසායන පොහොර නතර කර කාබනික පොහොර වෙත යොමුවන ලෙස ගොවීන්ට දැනුම් දුන්නේය. ඒ වන විට කාබනික පොහොර නිශ්පාදනයට හරි ජාතික වැඩපිළිවෙළක් සකස් කර හෝ නොතිබිණි. මෙම තීරණය නිසා ගොවීහු දැඩි අපහසුතාවට පත්වූහ. අවසානයේ වගාකටයුතු සැලකියයුතු ලෙස පහළ වැටුණු අතර ගොවීන්ගේ හඬට ආණ්ඩුව කන් දුන්නේ නැත.
සහල් වලින් ස්වයංපෝෂිත කිරීමට හැකි ශ්‍රී ලංකාවට විශාල මුදලක් වැය කර විදෙස් රටවලින් සහල් ආණයනය කිරීම තව තවත් වර්ධනය විය. රටතුල සහන් නිශ්පාදනය වැඩි වීමත් විදෙස් රටවලින් සහල් ආණයනය කිරීමට වීමත් නිසා සහල් මිලද දිනපතා ඉහළ නඟින්නට විය. ආණ්ඩුව කටයුතු කළේ එසේය.
රුපියල් කෝටි ගණනක ණය මුදල් ගෙන එම මුදල්වලින් ජනතාවට පළක් නැති විශාල ව්‍යාපෘති සිදු කළේය. මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරාය, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, නෙළුම් කුලුන ඉන් කිහිපයකි. මේවායේ පොලිය පමණක් රුපියල් මිලියන ගණනකි.
රටේ ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් නොවන බව පැහිදිලි කිරීමට ඇති තරම් උදාහරණ තිබේ. මේ සෑම උදාහරණයක් ගැනම පිටු ගණන් ලිපි ලිවීමට හැකි තොරතුරු තිබේ. එසේ තිබියදී, රටේ අග්‍රාමාත්‍යවරයා මහජන දේපොළ භාවිත කරමින් ‘ජාතිය අමතමින්’ බොරු බේගල් ඇදබෑම එක්තරා ආකාරයකට තවදුරටත් මහජන දේපොළ කොල්ලකෑමක් වනු ඇත.
යුද්ධය වකවානුවේ සෑම දෙයක්ම යුද්ධය පිටින් දැමුවා සේ දැන් ආණ්ඩුව සෑම ගැටලුවක්ම කොවිඩ් 19 පිටින් දමා අත පිසදා ගැනීමට උත්සාහ කරයි. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මොන බොරුවක් කීවත් ජනතාව විශ්වාස කළ කාලයක් තිබිණි. දැන් ඒ කාලය අවසන්වී ගොස් තිබේ. දැන් පැමිණ ඇත්තේ ජනතාව තාර්කිකව ප්‍රශ්න කරන කාලයයි. තවදුරටත් ජනතාව ‘ගොනාට’ ඇන්දවීමේ කලාවේ වලංගු බවක් නැත.
තරිඳු ජයවර්ධන