ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධයේ සිටින එක් ජනප්‍රිය පුද්ගලයෙකු පමණක් වන උපුල් ශාන්ත සන්නස්ගල සහ තවත් ප්‍රකට චරිත කිහිපදෙනෙකුට ඩෑන් ප්‍රියසාද් ප්‍රසිද්ධියේ මරණ තර්ජන කරලා. ඒ බෞද්ධ හිමිවරුන් කිහිපදෙනෙක් ළඟ තබාගෙන.
මරණ තර්ජනය කර ඇත්තේ කැළණිය විහාරය අසලදී සන්නස්ගල මහතාගේ හදවත නතර කොට, කැලණි ගඟේ පා කරන බව කියමින්. බෞද්ධ පුදබිමකදී මනුස්සයෙකු මරා ගඟේ පා කරන බව තර්ජනය කිරීම ඉතාම බිහිසුණු බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.
ඒ වගේම දැන් ‘රැල්ල නතර වෙන බවත්’ ඉන් පසු ‘වැල්ල දිගේ දුවන්න දෙන බවත්’ කියමින් ගෝල්ෆේස් පිටිය අසල සිටින ප්‍රසිද්ධ අයට ඉතා භයානක තර්ජනයක් ඔහු කර තිබෙනවා.
‘වටලප්පන් අරගෙන සංවිධානවල ඔටුවෝ එනවා. සිංහල බෞද්ධයන් එකතුවෙලා හදපු ආණ්ඩුව. සිංහල බෞද්ධ ආණ්ඩුව පන්නන්න නානලා එනවා වටලප්පන් අරගෙන හිඟන්නන්ට කන්න දෙන්න.’ යනුවෙන් ඩෑන් ප්‍රකාශ කළා.
මෙම ගෝල්ෆේස් පිටියේ සිටින මෝටිවේෂන් අප්පච්චි, රැට්ටා හෝ උපුල් ශාන්ත සන්නස්ගල වැනි කිසිවෙක් මෙහි නායකත්වය ගත් අය නෙවෙයි. ඔවුන්ට මෙවැනි තැන්වල ඇති බලයත් සීමිතයි. ඔවුන් තමන් සතු ජනප්‍රියත්වය පාවිච්චි කරමින් මෙම අරගලයට ධනාත්මක දායකත්වයක් දෙන අය නෙවෙයි. ඇත්තටම එතැන සිටින අයට කිසිදු නායකයෙකු නැහැ.
උපුල් ශාන්ත සන්නස්ගල දීර්ඝ කාලයක් තිස්සේ මෙතැන සිටින අයගේ අදහස් පෝෂණයට දායක වූ බව ඇත්ත. එහෙත් රැට්ටා හෝ මෝටිවේෂන් අප්පච්චි දැන් පාරට බැස්සාට ඔවුන් අපේ රටේ මිනිසුන්ට රාජපක්ෂලා ගැන සැබෑව පෙන්වාදෙන්න දායක වූ අය නෙවෙයි. ඔවුන් කාලයක් තිස්සේ ඒවා කතා කරපු අයත් නෙවෙයි. ඇත්තටම ඉන් එහා ගිය විශාල පිරිසක් මාධ්‍යවලින්, සමාජ මාධ්‍යවලින් රාජපක්ෂලා ගැන කරුණු කීවා. රාජපක්ෂලාට විතරක් නෙවෙයි, ජාතිවාදයට එරෙහිව කතා කළා.
ආගම, ජාතිය ගැන හැඟීම් අවුස්සලා, මිනිසුන් අන්දලා බලය ගන්න කැස කැවූ උත්සාහයන් ගැන කීවා. එසේ කී අය අතර රැට්ටාලා හෝ මෝටිවේෂන් අප්පච්චිලා නැහැ.
අපි ඒ ටික කීවේ ඔය කිසිවෙකුට අපහාස පිණිස නෙවෙයි. මේ අරගලයේ ලස්සන ඒක තමයි. මෙතෙක් දේශපාලනය කතා නොකර නිහඬව සිටි අය පවා කතා කිරීමේ වැදගත්කම තේරුම් අරන් තියෙනවා.