කොල්ලො, කෙල්ලො අරගල කරද්දී, උතුරෙන් බෝම්බත් හම්බවෙලා කියා ප්‍රවෘත්ති යනවා! අනේ අප්පේ………!

සිලාවතුර, කොක්කුපඩයාන් ප්‍රදේශයෙන් එල්ටීටීඊ කාලෙ බෝම්බ වගයක් අප්‍රියෙල් 12 වැනිදා හම්බවුණාලු.

මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා අප්‍රියෙල් 11 වැනිදා ත්‍රස්තවාදය ගැනයි, ඒ කාලෙ වෙච්ච දේවල් ගැනයි සිහිපත් කරන්න කතාවක් කළාට පසු, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන පොලීසිය මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ දිනයේ, ඉරාජ් වීරරාත්නලා ඉත්තෑකන්දේ සාදුයි, මාගල්කන්දේ සාදුයි, අර සාදුයි, මේ සාදුයි, ඩෑන් ප්‍රියසාදුයි, බලෙං ඇදං ආපු පොඩි සාදුලයි දාලා ‘දේශප්පෙරේමය’ අවුස්සන්න පාගමනක් ලෑස්ති කරපු වෙලාවේ මේ බෝම්බත් හම්බවෙලා තියෙනවා.

මෙය සැලසුම් සහගතව බෝම්බ බියක් ඇවිස්සීමක් යැයි බැලූ බැල්මට හැඟෙනවා. කෙසේ වෙතත්

මේ බෝම්බ හම්බවුණේ අත්හැරලා දාලා තිබුණ ඉඩමක් හිමිකාරයා සුද්ධ කරද්දී, බැරලයක දාලා ආරක්ෂිත විදියට වළදාපු අත්බෝම්බ සහ යුද උපකරණ හම්බවුණාලු. ඊට අමතරව පතොරම් දෙකක් හම්බවුණාලු.

මේ විදියට වළදාපු යුද සමයේ අවිආයුධ වරින් වර හමුවීම සාමාන්‍ය කරුණක්. ඒ වගේම ඇතැම් අවස්ථාවල කතා පතුරුවන්නත් මේවා මතුවෙන බව සැකයක් තියෙනවා.

කෙසේ වෙතත් ප්‍රදේශයේ තොරතුරු දන්න කෙනෙකු අනුමාන කළා, මෙය එලෙස සැලසුම් සහගත එකක් නොවෙන්නට ඉඩ තිබෙන බව. ඒ කියන්නේ මෙය ඇත්තටම ඉඩම් හිමිකරුවෙක්ට අහම්බෙන් හමු වූ එකක් විය හැකි බව.

ඒත්, ඉතින් මේ වෙලාවේ ආණ්ඩුව ගන්න නින්දිත උත්සාහයන්වල හැටියට, මේකත් ගෙතූ කතාවක් වුණොත් පුදුම වෙන්න දෙයක් නෑ.